බෝම්බ පහරවල් මැද යළි ඉදිවුන
මඩකලපුව මංගලාරාමය


හමා එන සිහිල් මඳ සුළඟට මඩකලපුව බෝ සමිඳුන්ගේ බෝපත් සෙමින් සැලෙන්නට වුහ. දායකයන් නැති පංසලේ දායකයන්ගේ අඩුව පුරවමින් වන්දනාවේ පැමිණි බැතිමතුන් පිරිසක්‌ බෝ සමිඳුන් වැඳ පුදා ගනිමින් සිටින ලදී. පරිසරයේ නිහඬ බව බිඳිමින් සාධූ නාදය දසත පැතිරෙන්නට වුහ.

මහා දුක්‌ ගැහැට සමුදායක්‌ විඳගනිමින් එදා කොටින්ගේ පොරෝ පහරට සහ බෝම්බ පහරට නතුව විනාශ වු බෝ සමිඳුන් මෙදා මහා අභිමානයෙන් නැගී සිටින්නට වුහ. බෝම්බ පහරවල් නිසා මහා විනාශයක්‌ සිදුවූ බුද්ධ මන්දිරයද දුටුවන්ගේ නෙත් සිත් පහන් කරමින් නැවතත් නිමවී ඇත්තේ තව දුරටත් මඩකලපුවේ බෞද්ධ උරුමය සනිටුහන් කරළමිනි.

එදා සිත්පිත් නැති තිරිසන් කොටි ත්‍රස්‌තයෝ නැගෙනහිර මඩකලපුව පළාතේ වෙහෙර විහාර ඇතුළු ආගමික සිද්ධස්‌ථාන බෝම්බ ගසමින් ගිනි තියමින් විනාශ කරද්දී මඩකලපුව නගර මධ්‍යයේ පිහිටා තිබුණු එකම බෞද්ධ සිද්ධස්‌ථානය වන මංගලාරාමයේ බෝ සමිඳුන්ද කපා කොටා දැමුහ. බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ ආවාස ගෙය ඇතුළු මුළු විහාරස්‌ථානයම බෝම්බ ගසා විනාශ කර ගිනි තැබුහ. 1921 සිට දඹගස්‌ආරේ සුමේධාලංකාර හිමියන් ඇතුළු මහා ස`ගරුවන මෙම විහරස්‌ථානය ආරම්භ කරමින් ඇති කළ ශාසනික මෙහෙවර උන්වහන්සේගෙන් පසුවත් මෙම පින් බිමේ සිටි මහා ස`ගරුවන නොපිරිහෙලා ඉටු කරද්දී මේ ආකාරයෙන් මෙම පුදබිම කොටි විසින් මුළුමනින්ම විනාශ කර දමන්නට වුහ.

මඩකලපුවෙහි එදා තිස්‌ දහසකට අධික සිංහල ජනයා දමිළ, මුස්‌ලිම් ජනයා සමගින් සාමකාමි අයුරින් වාසය කළහ. මරණයට, ම`ගුලට සහභාගි වෙමින් එදා ජාති බේදයෙන් තොරව සහජීවනයෙන් ඔවුන් කටයුතු කරන්නට විය. නමුත් කොටි ඒ සියල්ල වෙනස්‌ කරන්නට විය.

එදා වෙනදා මෙන් මඩකලපුව රාත්‍රී අන්ධකාරයෙන් වැසී යන්නට වුහ. ගොදුරු සොයා පියමන් කරන ව්‍යාඝයෝ රැළක්‌ මෙන් අඳුර මැදින් මඩකලපුව නගරයට බට ත්‍රස්‌තයෝ සාහසික ප්‍රහාරයක්‌ මඩකලපුව නගරයෙන් අරඹන්නාහ. තැන් තැන්හි බෝම්බ පහරට වෙඩි උණ්‌ඩයට සහ කොටින්ගේ මුව හත් කඩු පහරට ලක්‌ව කෙසෙල් කඳන් මෙන් සිංහලයෝ ඇද වැටෙන්නට වුවෝය. නගරයෙන් ඇරඹි ප්‍රහාරය අළුයම වන විට ජයන්තිපුර, විජයපුර ආදී ගම්මාන දක්‌වා පැතිර ගොස්‌ මරණ භයින් ත්‍රස්‌තවූ සිංහලයන් සොය සොයා ඝාතනය කරන්නට වුහ. පසුදාට රැය පහන් වෙද්දී පෙති පෙති කැපී ගිය උණ්‌ඩයෙන් සිදුරුව ගිය සහ බෝම්බ පහරට නතුව මිය ගිය සියයකට අධික සිංහල පිරිසකගෙන් ගලා ගිය රුධිර ගං`ගාවෙන් මුළු මඩකලපුවම තෙත්වී රත් පැහැයට හැරී තිබුණි. අවසානයේ සියලු සිංහලයන් තමන් සන්තකයේ තිබු සබ්බ සකල මනාව අත් හැර දමා පණ බේරා මඩකලපුව අතහැර යන්නට වුහ. සිසුන් 2000 කට අධික පිරිසක්‌ අකුරු කළ මඩකලපුව සිංහල විද්‍යාලය එනිසා වැසී යන්නට විය.

මේ ආකාරයෙන් අතීතයේ රජ දවස සිට පැවැති මඩකලපුව සිහළ උරුමය ගිලිහී යන්නට වුහ. හතර වටින් නැගෙන බෝම්බ වෙඩි හඬ මැද මරණය පෙනි පෙනී රට වෙනුවෙන් අභීතව සටන් වදින රණවිරුවන් හට චිත්ත ශක්‌තිය ලබා ගන්නට මඩකලපුවේ මලක්‌ පුදන්නට බුදුන් වඳින්නට තැනක්‌ නොමැති වන්නට වුහ. එම නිසා රණවිරුවෝ තැන් තැන්හි කඳවුරු වල කුඩා බුදු පිළිම වහන්සේලා තැන්පත් කරමින් කුඩා බුදු මැදුරු සාදා වැඳුම් පිදුම් කරන්නට විය.

රණවිරුවන්ට ශක්‌තියක්‌ වීම සඳහා කොටින්ගේ බෝම්බ පහරින් විනාශව ගිය මඩකලපුව මංගලාරාමයට 94 වසරේ පැමිණෙන අම්පිටියේ සුමනරතන හිමියන් එතැන් පටන් මංගලාරාමය නැවත ගොඩනගන්නට උත්සාහ කරන්නට වුවේය. දන් වේලක්‌ දෙන්නට එකදු සිංහල බෞද්ධයෙක්‌ නැත. විහාරස්‌ථානය ගොඩනගන්නට දායක සභාවක්‌ නැත. නමුත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන්ගේ සහයෙන් නැවත ටිකෙන් ටික පංසල ගොඩ නංවන්නට වුහ. කන් බිහිරි කරවන වෙඩි හඬ මැද සැප විඳිනවා වෙනුවට දුකම විඳිමින් යළි මංගලාරාමය ගොඩනගන්නට ඇප කැප වෙන්නට වූවේය. වෙනත් කලබල නැති ප්‍රදේශයකට ගොස්‌ සැපසේ හිඳින්නට කොතෙකුත් අවස්‌ථාවක්‌ තිබුණද රණවිරුවන්ට ශක්‌තියක්‌ වීම සඳහා මඩකලපුව මංගලාරාමයේ වැඩවාසය කරන්නට විය.

යුද්ධයේ ගිනි දැල් මැද ඇතැම් රණවිරුවෝ උන්වහන්සේගේ දෑත මතම රට වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට වූයේ කොටි ත්‍රස්‌තවාදීන්ගේ ගොදුරක්‌ බවට පත් වෙමිනි. ඉන් නොනැවතුන කොටි ත්‍රස්‌තවාදීන්ගේ දැඩි තර්ජනයට ලක්‌වූ උන් වහන්සේ ඇතැම් අවස්‌ථාවල ත්‍රස්‌තවාදීන් විසින් පැහැර ගෙන යන්නට වූහ. දින ගණනාවක්‌ කොටින්ගේ අත් අඩංගුවේ පත් වන්නට වුහ. ඒත් සුමනරතන හිමි මඩකලපුව අත් නොහරින ලදී.

යුද්ධය නිමාවුන පසු මඩකලපුවට අයත් කෙවිලියාමඩුව, සිප්පිමඩුව කොස්‌ගොල්ල වැනි ගම්මානවල යළිත් ජනයා පදිංචි වන්නට වූහ. ඒත් එම ජනතාවට ගෙවන්න සිදුවූයේ කරුමයකි. කිසිම බළධාරියෙක්‌ එම ජනතාව ගැන සොයා බලන්නට නොවුණි. එම නිසා සමෘද්ධි සහනාධාරය, ඡන්ද දැමීමේ අයිතිය, ග්‍රාමසේවා වාර්තාවක්‌, ආදායම් සහතිකයක්‌ වත් ඔවුනට ලබා ගන්නට නොහැකි වුණි. ඒ සඳහා ඇතැම් විට උද්ඝෝෂණයන් පවා කරන්නට ඔවුනට සිදුවිය. ඒ සියල්ල වෙනුවෙන් පෙනී සිටියේ සුමනරතන හිමියන්ය. හෙළ බිම සංවිධානය ඇතුළු පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර මත කෙවිලියාමඩුව වැනි ගම්මාන වල අහිංසක වැසියන්ට නිවාස තනාදී ජීවිතය ගොඩ නගන්නට සුමනරතන හිමියන් කටයුතු කරන්නට වූවේය.

යුද්ධය නිමාවී ඊළාම් සිහිනය සැබෑ කරගන්නට වෙර දරන ද්‍රවිඩ සන්ධානයේ හිතවාදීන් ඇතුළු පිරිස්‌වල උද්ඝෝෂණවල ප්‍රතිපලයක්‌ ලෙස අධිකරණය මඩකලපුව පොලිස්‌ බල ප්‍රදේශයේ බුදු පිළිම තබන්නට තහනම් කළාපයක්‌ කරන්නට විය. තැන් තැන්හි තිබුණ බුදු පිළිම වහන්සේලාගේ සිරස්‌ කුඩුව යන්නට වූහ. ගැටලුව පොලිසිවලට යද්දී ඇ`ග බේරා ගැනීම සඳහා ඒවා අධිකරණය වෙතට පොලිසිය විසින් යොමු කරන ලදී. මේ සියල්ලට එරෙහි වීමේ ප්‍රතිපලයක්‌ ලෙස අවසානයේදී සුමනරතන හිමියන්ට මඩකලපුව දිස්‌ත්‍රික්‌කය පුරා අධිකරණවල නඩු 44 ක්‌ වැටෙන්නට විය. ඒ සියල්ලටම හේතුව සිංහලකම හා බුදුදහම වෙනුවෙන් පෙනී සිටින්නට සහ අහිංසක සිංහල ජනයා රැකගන්නට ගොසිනි. අහිංසකයින්ගේ බඩගින්නට අහරක්‌ දෙන්නට ගිය නිසාවෙනි. එම නිසා අන්තවාදී දෙමළ සහ මුස්‌ලිම් පිරිස්‌ගේ සහ ඒවාට ගැතිව කටයුතු කරන ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ කෙනහිලි කම්වලට උන්වහන්සේ නිරන්තරයෙන් ලක්‌වන ලදී.

1921 සෑදු බුද්ධ මන්දිරය ත්‍රස්‌තවාදී ප්‍රහාර මත විනාශවී යැම නිසා නිසි ප්‍රතිසංස්‌කරණයක්‌ කිරීම පසුගිය ජනවාරි මස අරඹන්නට විය. රුපියල් එක්‌ කෝටි විසි ලක්‌ෂයක වියදමක්‌ දරා දෙස්‌ විදෙස්‌ සිටින ලාංකීය බෞද්ධ ජනයාගේ ආධාර උපකාරයෙන් එය මේ වන විට නිමා වෙමින් පවතී. මඩකලපුව නගරයේ සිංහල පදිංචිකරුවන් නැත. එම නිසා පංසලට දායකයින්ද නැත. දායකයින් නැති පංසලක රටපුරා පැමිණෙන බොදු බැතිමතුන්ගේ වන්දනා මානයට ලක්‌ වන මඩකලපුව එකම බොදු පුදබිම මංගලාරාම විහරස්‌ථානයයි.

මේ මඩකලපුව සිංහල බොදු උරුමය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින අම්පිටියේ සුමනරතන හිමියන්ගේ අදහසයි.

එදා මඩකලපුව මරණයේ දේශයක්‌ වෙලා තිබුණේ. මෙහෙට අයෙක්‌ එනවා තබා එන්න හිතන්නත් බය යුගයක්‌ තිබුණේ. හිටපු ජනාධිපතිතුමාට පින් සිදු වන්නට මේ රටට නිදහස ලැබුනා. එහෙම උනේ නැත්නම් මොනවා වෙයිද කියලා හිතා ගන්නත් බැහැ. ප්‍රභාකරන් නොමැති වුවත් අදටද ද්‍රවිඩ සන්ධානය ඇතුළු කොටි හිතවාදීන් ඊළාම් සිහිනය ජය ගන්න කටයුතු කරමින් සිටිනවා. අපට පෙනෙන විදිහට මේ පෙඩරල් හරහා ඊළාම් රාජ්‍ය හරහා යන වැඩපිළිවෙලකුයි සකස්‌ වෙමින් තිබෙන්නේ. එක රටක්‌ ලෙස මේ රටේ සිංහල, දමිළ, මුස්‌ලිම් ජනයා සමගියෙන් ජීවත් වුනා. අනාගතයේදීත් මේ තත්වය මෙසේ පැවතිය යුතුයි. ඊළාම් රාජ්‍යයකටත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරනවාටත් අප විරුද්ධයි. අපි තමයි දෙමළ. මුස්‌ලිම් ජනයා සමග මෙහි වාසය කරන්නේ. සමගිය ඇතිවිය යුත්තේ කෙසේදැයි කියා අපට වැටහීමක්‌ තිබෙනවා. අවබෝධයක්‌ තිබෙනවා. නමුත් කිසිම බළධාරියෙක්‌ වගකිවයුත්තෙක්‌ ප්‍රායෝගික ලෙස ජාතික සමගිය සඳහා කළ යුත්තේ කුමක්‌දැයි ඒ පිළිබඳව අපෙන් එක වචනයක්‌ හෝ විමසා නැහැ.

මා වත්මන් නැගෙනහිර තත්වය පිළිsබඳව මාදුළුවාවේ සෝභිත හිමියන් ගෙන් හෝ ඒ වෙනුවෙන් කථා කරන ඕනෑම අයෙකුගෙන් කුමන හෝ මාධ්‍යකින් ඒ වෙනුවෙන් සංවාදයකට එන්නයි ඇරයුම් කරනවා. අපියි දන්නේ නැගෙනහිර තත්ත්වය පිළිබඳව, අද මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ වෙසෙන සිංහලයෙකුට මහා මැතිවරණයකට, පළාත් සභාවකට, එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවකට ඉදිරිපන් වන සිංහල අපේක්‌ෂකයෙකුට ඡන්දය දාන්න විදිහක්‌ නැහැ. ඒ සිංහල අපේක්‌ෂකයෙකු ඉදිරිපත් නොවීම නිසා. මේ ආකාරයෙන් මම දුක්‌ ගැහැට බොහොමයක්‌ විඳලා තමයි මඩකලපුව විහාරස්‌ථානය රැක ගත්තේ. මේ ආකාරයෙන් විනාශ කළ බුද්ධ මන්දිරය නැවත ප්‍රතිසංස්‌කරණය කරන්න මම පුදුමාකාර වෙහෙසක්‌ දැරුවා. ඒ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටම ස්‌තුතිය පුද කරනවා.

අද මංගලාරාමයට එන්න ලැබෙන්නේ යුද්ධය අවසන් කරලා නිදහස ලැබුණ නිසා. අසීමානයෙන් සැම දෙනාටම ජීවත් වෙන්න ලැබුණා නිදහස රැකගෙන අනාගතයේ දිගු කාලයක්‌ ඒ අභිමානය තියාගන්න, රැක ගන්න බුද්ධිමත්ව සහ වගකීමෙන් අප සැම දෙනා ක්‍රියා කළ යුතුයි. එසේ නොවුනහොත් එහි ප්‍රතිවිපාකය අප සැම දෙනාටම විඳින්නට සිදුවෙනවා. කෙසේ නමුත් අපේ රණ විරුවෝ ඇස්‌ ඉස්‌ මස්‌ ලේ පුජා කර ලබා ගත් නිදහස පෙඩරල් රාජ්‍යයකට පාවා දුන්නොත් අප එදා මෙන් අදත් රට වෙනුවෙන් ඊට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. යෑයිද සුමනරතන හිමියෝ පවසා සිටියහ.

මඩකලපුව ඇතුළු නැගෙනහිර සිද්ධස්‌ථානයන් රැසක්‌ වියරු කොටින් විනාශ කර ඇත. මඩකලපුවේ සිංහල ජනයා පන්නා දමා මංගලාරාමයත් මුළුමනින්ම වියරුකොටින් විනාශ කරන්නට වූහ. මෙලෙසින් නැවතත් සුමනරතන හිමියන් විසින් ගොඩ නැගුවේ ඒ අපේ උරුමයයි. එය එසේ නොවුනි නම් අදටද අභිමානයෙන් විරාජමාන වන මඩකලපුව දාගැබ් වහන්සේ ඇතුඵ මංගලාරාම පුද බිම බිමට සමතලා වී අහස උසට වෙනත් ගොඩනැඟිලිවලින් පිරී ගොස්‌ මංගලාරාමය තිබූ තැනක්‌ද සොයා ගත නොහැකි වනු ඇත.

සුසන්ත අමරබන්දු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.