සැඟවීමට කිසිවක්‌ නෑ
ජිනීවා වාර්තාව ගැන දින දෙකක විවාදයක්‌
අගමැති මැතිසබයේදී කියයි

අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම 30 වැනිදා ජිනීවා වාර්තාව ඉදිරිපත් කළ පසු දෙදිනක පාර්ලිමේන්තු විවාදයක්‌ ලබාදීමට ආණ්‌ඩුව සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

යුද සමයේ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සොයා බැලීමට පසුගිය ආණ්‌ඩුව විසින් පත්කළ උදලාගම කොමිසමේ සහ පරණගම කොමිසමේ වාර්තා ද මෙම පාර්ලිමේන්තු විවාදයට පෙර සභාගත කිරීමට ආණ්‌ඩුව කටයුතු කරන බව අගමැතිවරයා කීවේය.

ජිනීවා වාර්තාව පිළිබඳව සැඟවීමට කිසිවක්‌ නැතැයි කී අගමැතිවරයා අතීතයේ සිදු වූ වැරදි නැවත ඇති නොවීම තහවුරු කිරීමට නම් පරිපාලනමය මෙන්ම අධිකරණමය ප්‍රතිසංස්‌කරණ හා නව ව්‍යවස්‌ථාවක්‌ සම්මත කර ගැනීම ඇතුළු පියවර ගණනාවක්‌ අනුගමනය කළ යුතු බව ද කීය.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌වරයා විසින් පසුගියදා නිකුත් කළ වාර්තාව පිළිබඳ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සත්‍ය ගවේෂණය, සාධාරණය, හානිපූරණය සඳහා පමණක්‌ නොව අතීතයේ වූ අප්‍රසන්න සිදුවීම් යළි ඇතිවීම වැළැක්‌වීම සඳහා වන ස්‌වාධීන විශ්වාසදායක හා බලාත්මක යාන්ත්‍රණයක්‌ දේශීය වශයෙන් ඇති කිරීමට රජය අදහස්‌ කරන බවය.

"දකුණු අප්‍රිකාවෙ නිසි බලධාරීන්ගේ උපදේශ යටතේ සත්‍යය, යුක්‌තිය, ප්‍රතිසංවිධානය හා අතීතයේ සිදු වූ වැරදි නැවත ඇති නොවීම සඳහා කොමිසමක්‌ ඇතිකරන බව ද අන්තර්ජාතික රතුකුරුස කමිටුවේ විශේෂඥ දැනුම යොදාගනිමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තත්ත්වයන්ට අනුකූලව පවුල්වල දැනගැනීමේ අයිතිය යන මූලධර්ම මත පදනම්ව අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කටයුතු කරන කාර්යාලයක්‌" පාර්ලිමේන්තුව මගින් ස්‌ථාපනය කරන බව ද අගමැතිවරයා කීවේය.
 

 
Powered By -


       උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
           223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.