මංගල සහ විජයදාස
මහින්දව බේරා ගනීවි යෑයි
සිතීම රනිල්ට වැරදීමක්‌

- උදය ගම්මන්පිල

අනුර බාලසූරිය

මහින්ද රාජපක්‍ෂ මහතා කොටි ත්‍රස්‌තවාදය පරාජය කරන අවස්‌ථාවේ කකුලෙන් ඇද්ද මංගල සමරවීර හා විජයදාස රාජපක්‍ෂ යන ඇමැතිවරුන් දෙදෙනා මහින්ද රාජපක්‍ෂ මහතා බේරා ගනියි කියා සිතාගෙන සිටිනවා නම් එය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවී ඇති වැරදීමක්‌ යෑයි ඊයේ (28 දා) පැවැති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ජිනීවා මානව හිමිකම් පිළිබඳ ලංකාව සම්බන්ධව යෝජනාව සකස්‌ කරන්න ලංකාවෙන් දායක වන්නේ මංගල සමරවීර හා විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරුන් දෙදෙනා බවත් මේ දෙදෙනා දකුණේ මිනිස්‌සු නිසා දකුණේ අය වන මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් අමාරුවේ දැමීමට ඉඩ නොදෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (27 දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්‌ථාවේදී කර තිබෙන ප්‍රකාශයට පිළිතුරු දෙමින් ගම්මන්පිල මහතා මේ බව පැවසීය.

2008 දී කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් දැවැන්ත යුද්ධයක නියෑලී සිටියදී කොටි පරදන ආණ්‌ඩුව අයවැයෙන් පරාජය කිරීමට ආණ්‌ඩුවේ සිට විපක්‍ෂයට ගිය තිදෙනාගෙන් දෙදෙනකු වූයේ මොවුන් බවත් හෙතෙම සිහිපත් කළේය.

තම වැඩපිළිවෙළ නිසා මහින්ද රාජපක්‍ෂ මහතා විදුලි පුටුවෙන් බේරාගන්න පුළුවන් වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය මගින් අනාවරණය කර තිබූ බව පැවසූ ගම්මන්පිල මහතා එදා විපක්‍ෂ නායක ධුරයේ සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා විදුලි පුටු කතාව බොරු බවත්, තමා රෝම සම්මුතිය අත්සන් නොකළ නිසා ලංකාවේ කවුරුත් විදුලි පුටුවට ගෙනයැමට නොහැකි යෑයි පැවසූ බවත් ගම්මන්පිල මහතා සිහිපත් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.