සාක්‍ෂි කිසිවක්‌ ඉතිරි කර නැහැ
කොටකෙතන ඝාතකයා පළපුරුදු කෙනෙක්‌


හේමන්ත රන්දුණු

කහවත්ත කොටකෙතන ඕපාතවත්ත ප්‍රදේශයේදී හතළිස්‌ අට හැවිරිදි කාන්තාව කපා කොටා මරා දැමූ සාහසිකයා පළපුරුදු ඝාතකයකු බව පොලිසිය කළ පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

ඝාතනය සිදුකර පලාගිය සාමාජිකයා මිනීමැරුමට අදාළව කිසිදු සාක්‍ෂියක්‌ ඉතිරි කර නොමැති බව පොලිසිය පවසයි.

මෙම කාන්තාව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයන් සියයකට ආසන්න පිරිසකගෙන් මේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

කහවත්තේ මෙම කාන්තා ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වාගෙන යන අතර කහවත්ත පොලිසිය ඇතුළු තවත් පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ ද ඔවුන්ට සහාය වෙමින් සිටිති.

මෙම කාන්තාව කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක්‌ මේ වනතුරුත් හෙළි වී නොමැති අතර ඊට සම්බන්ධ බවට සැකකරන කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසයි.

මෙම ඝාතනයෙන් පසු කහවත්ත ප්‍රදේශයේ ජනතාව නැවතත් දැඩි භීතියට පත්ව සිටින අතර ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා දැඩි පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යොදවා ඇති බව ද පොලිසිය කියා සිටියි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.