ජපානය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික,
දේශපාලන, සංස්‌කෘතික සබඳතා ශක්‌තිමත් කිරීමට පියවර

අගමැති රනිල් වික්‍රමසිංහ හා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අතර එකඟතාවක්‌


ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, දේශපාලන, සමාජයීය සහ සංස්‌කෘතික ඇතුළු සියලුම ක්‍ෂේත්‍රයන්හි පරිපූර්ණ සබඳතා ශක්‌තිමත් කරලීමේ සැලැස්‌මක්‌ සැකසීම සඳහා දෙරටේ ඉහළ මට්‌ටමේ අමාත්‍යවරුන්ගෙන් හා නිලධාරීන්ගෙන් සමන්විත ක්‍රියාකාරී කමිටුවක්‌ පත් කර ගැනීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ මහතා තීරණය කළහ.

දෙපාර්ශ්වයේ අග්‍රාමාත්‍යවරුන් මේ තීරණයට එළැඹියේ ඊයේ (04) ජපානයේ කියෝතෝ නුවර ජාත්‍යන්තර සමුළු කේන්ද්‍රයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

රටක්‌ වශයෙන් ශ්‍රී ලංකාව ඉදිරියේ දී මුහුණ දෙන සෑම අභියෝගයක්‌ හමුවේදීම ජපානය සමීපතම මිතුරෙකු වශයෙන් ක්‍රියා කරමින්, ජපාන - ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය තව තවත් ශක්‌තිමත් කරලීම සඳහා කැපවන බව මෙහිදී ජපාන අගමැති ෂෙන්සෝ අබේ මහතා පැවසීය.

සාකච්ඡාව ආරම්භයේදීම රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුබ පැතුම් ජපාන අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීය.

ඡේ. ආර්. ජයවර්ධන මහතා විසින් ආරම්භ කරනු ලැබූ ජපාන - ශ්‍රී ලංකා සමීප සබඳතා මෛත්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ වත්මන් රජය ශක්‌තිමත්ව ඉදිරියට ගෙන යන බවට තමාට කිසිදු සැකයක්‌ නැතැයි ද ජපාන අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව ආසියාවේ ආර්ථික, වෙළෙඳ සහ තාක්‌ෂණ වර්ධන කේන්ද්‍රයක්‌ ලෙස ප්‍රබල දියුණුවක්‌ ලබනු ඇතැයි යන්න සිය බලවත් විශ්වාසය බව ද ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ තවදුරටත් සඳහන් කළේය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සඳහන් කර සිටියේ, වර්ෂ 1952 දී සැන් ප්‍රැන්සිස්‌කෝ සමුළුවේ දී ඡේ. ආර්. ජයවර්ධන මහතා ජපානය සම්බන්ධයෙන් කළ කතාවත් සමගම දෙරට අතර සබඳතාවයන් තහවුරු වීම ආරම්භ කෙරුණු බවය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආරම්භ කෙරුණු ශක්‌තිමත් සම්බන්ධතාවය මෛත්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ වත්මන් රජය යටතේ දැඩි සබැඳියාවකින් යුතුව ඉදිරියට ගෙන යන බවට තමාට කිසිදු සැකයක්‌ නැතැයි ද අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා වැඩිදුරටත් විශ්වාසය පළ කරනු ලැබීය.

මහ මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පැතීමට ද ඉහත සාකච්ඡාවේ දී ජපාන අග්‍රාමාත්‍යවරයා අමතක නොකළේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා මෙසේ ද සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදුණු මුල්ම අගමැතිවරයා මගේ සීයායි. ඒ උරුමය ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාව සමග විශේෂ සමීප සබඳතා පැවැත්වීමට මා බලාපොරොත්තු වෙනවා. දකුණු ආසියානු රටවල් සමග සසඳන විට ඉදිරියේ දී ශ්‍රී ලංකාව ආසියාවේ වර්ධන කෙන්ද්‍රයක්‌ වනු ඇතැයි මා අපේක්‌ෂා කරනවා. එහිදී තාක්‌ෂණ, ආර්ථික සහ ආරක්‌ෂක ක්‍ෂේත්‍ර පිළිබඳ වැඩි අවදානයක්‌ යොමු වේවි.

වර්ෂ 1952 දී ඡේ.ආර්. ජයවර්ධන මහතා ජපානය සම්බන්ධයෙන් දැක්‌වූ ආකල්පය මගේ ජනතාව කිසි දිනෙක අමතක කරන්නේ නැහැ. ඒ නිසාම ඉන්දියන් සාගර කලාපයේ සාමය ආරක්‌ෂා කර ගැනීම සඳහා ජපානය නිරතුරුවම බැඳී සිටිනවා.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අලුත් මංමාවත් සොයමින් ශ්‍රී ලංකාවට ඉදිරි ගමන යාමට ජපානය පූර්ණ සහයෝගය දෙන බව ද අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජපන් අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේ දී අදහස්‌ දැක්‌වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

ජපානයේ සංචාරය සඳහා ආරාධනා කිරීම පිළිබඳව රජය වෙනුවෙන් ස්‌තූතිය පළ කරනවා.

ශ්‍රී ලංකාව 1952 සිටම ජපන් රටේ භූමිකාව තේරුම් ගෙන කටයුතු කළා. මගේ පක්‌ෂයේ හිටපු නායකයකු වන ඡේ.ආර්. ජයවර්ධන මහතාගේ සැන් ප්‍රැන්සිස්‌කෝ කතාවෙන් ඒ බව මනාව තහවුරු වනවා.

එසේම ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්‌. සේනානායක මහතාගේ කාලයේ පටන්ම ජපන් රටේ ලෝක භූමිකාව පිළිබඳව පැහැදිලි හැඟීමකින් අප රට ක්‍රියා කළා.

ශ්‍රී ලංකාවේ අද තිබෙන්නේ ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙක එකතු වී හදනු ලැබූ ජාතික රජයක්‌ බව විශේෂයෙන් කිව යුතුයි. වත්මන් ජාතික රජයට ජාත්‍යන්තර මෙන්ම ජාතික අභියෝග හමුවේ දී ශක්‌තිමත්ව ක්‍රියා කිරීමට හැකියාව හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා රජය ඉදිරියේ දී මුහුණ දෙන අභියෝග හමුවේ ජපානය දක්‌වන අතිශය මිත්‍රශීලීS සහයෝගය සැම විටම මා ඉහළින්ම අගය කරනවා.

වත්මන් අග්‍රාමාත්‍යතුමාගේ සීයාගේ සිටම පරම්පරා කිහිපයක්‌ ජපානය දේශපාලන ක්‍ෂේත්‍රයේ ඉහළ තනතුරු හෙබවූවා. කලාපයේ සංවර්ධනය වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක්‌ ජපානය විසින් ඉටු කරනු ලබනවා.

ඉදිරි දශකයේ ගෝලීය සමබරතාවටත්, ආර්ථික, දේශපාලන, සමාජයීය සබඳතාවයන් සඳහාත් ජපානයේ කාර්යභාරය අතිශය තීරණාත්මක වන බව මගේ හැඟීමයි.

ඉන්දියන් සාගරයේ බෙංගාල බොක්‌ක කේන්ද්‍රස්‌ථානය වන වැදගත් ස්‌ථානයක ශ්‍රී ලංකාව පිහිටා තිබෙනවා. අතීතයේ සිටම මගේ රට විවෘත රටක්‌ වශයෙන් ක්‍රියා කරනු ලැබුවා.

මෑත කාලයේ දී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ තාක්‌ෂණ දැනුම වෙනුවෙන් ජපානය දක්‌වන දායකත්වය ප්‍රශංසනීයයි. එය දෙරටේ සබඳතා වර්ධනයට ද දැඩි රුකුලක්‌ වී තිබෙනවා.

රජය - රජය, රජය - පෞද්ගලික අංශය, පෞද්ගලික අංශය - පෞද්ගලික අංශය යන ක්‍ෂේත්‍ර ඔස්‌සේ දෙරටේ සබඳතා වර්ධනය විය යුතුයි. හැම ක්‍ෂේත්‍රයකම පරිපූර්ණ සබඳතා දෙරට අතර ඇති කර ගත යුතු බව මා තදින්ම විශ්වාස කරනවා.

ලෝකයේ හැම රටක්‌ සමගම සමගිව සහ මිත්‍රශීලීව කටයුතු කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තියයි.

තාක්‌ෂණ, තාක්‌ෂණ අධ්‍යාපන සහ රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්‌ටි, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය මොන්ටි කාසිම් යන මහත්වරු ඉහත හමුවට එක්‌ව සිටියහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.