අපේ වෙදැදුරු
වියපත් රෝගීන් සුවපත් කරන
බැලවානේ සිරි වෙද මැඳුර


වෛද්‍ය පැරකුම් සේනානායක

දේශීය වෛද්‍යවරයා යනු මේ රටේ ගසේ වැලේ මුලේ කොළේ පොත්තේ සාරය ගෙන සිය පාරම්පරික දැනුම හා මුසුකර නිපදවා ගන්නා ඖෂධවලින් සියලු රෝගීන්ගේ දුක්‌ ගින්දර උදුරාගන්නා ජීවකයෙකි.

මහා සංඝරත්නයට පමණක්‌ දෙවැනි වන හෙළ වෙදදුරු තුළින් විද්‍යමාන වන කරුණාව, දයාව, සත්පුරුෂබව හා ඉවසීම ආදී බොහෝ ගුණකදම්භයන් පෙරටුකර කෙරෙන මේ ප්‍රතිකාරයන්ට රාවණ යුගය දක්‌වා දිගු ඉතිහාසයක්‌ ඇත.

මාරයාට මිනිස්‌ ජීවිත බිලිගන්නට කාලයක්‌ වේලාවක්‌ නැතිවාක්‌ මෙන්ම ඔහුගේ ග්‍රහණයට වැටුණු රෝගියා ඉන් මුදවා ගැනීමටද දේශීය වෛද්‍යවරයකුට කාලසටහනක්‌ නැත.

රැයක්‌ දවාලක්‌ වැස්‌සක්‌ සුළඟක්‌ අව්වක්‌ පින්නක්‌ ආදී මේ කිසිවක්‌ ගැන තැකීමක්‌ නොකරන දේශීය වෙදදුරුවරයා කරන මෙහෙය වචනයෙන් විස්‌තර කළ නොහැකි තරමට වටිනාකමක්‌ ඇත්තේය.

මෙවන් වෙදදුරුවරු සොයා යන ගමනේ වියපත් රෝගීන් සුවපත් කරන බැලවානේ වෙදදුරු සොයා අප අවිස්‌සාවේල්ලේ බැලවානේ සිරි වෙදමැඳුරට ගියෙමු.

නෙක ඖෂධවලින් පුරවා තිබූ ඒ සිරි වෙදමැඳුරේ අධිපති පැරකුම් සේනානායක වෙදදුරු මුණගැසීමට තරමක කාලවේලාවක්‌ අපට ගතකිරීමට සිදුවූයේ ඒ වන විටත් බොහෝ රෝගීන් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ සිටි හෙයිනි.

අඩහෝරාවකට පසු ලද විවේකයෙන් වෙදදුරු හා සාකච්ඡාවකට එළැඹි මා වියපත් රෝගීන් සුවපත් කරනවා යන ශීර්ෂ පාඨය මුල්කරගැනීමේ අදහස කුමක්‌දැයි ඇසීමි.

වියපත්වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මූලිකත්වය ගන්න නිසා.

එතකොට වියපත් නොවූ රෝගීන්ට ප්‍රතිකාර කරන්නෙ නැද්ද?

ඒ අයට ප්‍රතිකාර නොකරනවා කියන එක නොවෙයි මම මෙතනින් අදහස්‌ කරන්නෙ. අපි දන්නව මේ මිනිස්‌ සිරුරට ලෙඩ රෝග වැඩිපුර වැළඳෙන්නෙ වයස අවුරුදු හතළිහ විතර පැන්නයින් පස්‌සෙ කියන එක. ඒ එන රෝග බොහෝදුරට ජීවිත අවදානමක්‌ ඇතිකරන රෝග. මෙන්න මේ නිසා ඒවා කෙරෙහි ඉතාමත් අවධානයෙන් සහ සැලකිල්ලෙන් ප්‍රතිකාර කරනවා කියන එකයි අපේ තේමාව වෙලා තියෙන්නේ.

අපේ බැලවානේ වෙද පරම්පරාව නමක්‌ දිනාගෙන තියෙන්නෙ වැඩි වශයෙන්ම වියපත් වූ රෝගීන්ට සුවපත් කිරීම සඳහා ඇපකැප වෙන නිසා.

බැලවානේ වෙද පරම්පරාවට දිගු ඉතිහාසයක්‌ ඇතත් මෑත ඉතිහාසයේ නමක්‌ දිනාගෙන ඇත්තේ මාර්ටින් සේනානායක වෙදදුරාණෝaය. ඉන්දියාවේ කල්කටාවෙන් ආයුර්වේදය පිළිබඳ ඉහළ අධ්‍යයනයකින් පසු මෙරටට පැමිණි මාර්ටින් වෙදදුරු 1940 වසරේදී වෙදකමට පිවිස ඇත්තේ බොහෝ රෝගීන්ගේ හිතසුව පිණිසය.

මෑත යුගයේ වසර හැත්තෑපහක පමණ ඉතිහාසයක්‌ ඇති බැලවානේ සිරි වෙදමැදුරෙහි අද දක්‌වා කෙරෙන ප්‍රතිකාරය පැරකුම් සේනානායක වෙදදුරු සියතට ගෙන ඇත්තේ තම පියා මියයැමෙන් පසුවය. පියාගේ සෙවණේ ඉඳිමින් ලබාගත් දැනීම් සම්භාරයත් සමඟ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදයෙන් දිනාගත් ගෞරව උපාධියත් පරම්පරාවේ වෙදකම තවත් මුවහත් කිරීමට මහෝපකාරී වී ඇත.

මේ වියපත් වූ රෝගීන්ට වඩාත් බහුලව හැදෙන රෝග පිළිබඳව විස්‌තරයක්‌ කළොත් මම නැවතත් වෙදදුරුගෙන් විමසුවෙමි.

අපි දන්නවනේ වයසට යනකොට බොහෝ රෝග අපිව හොයාගෙන එනව කියන එක. මේ රෝග අතර හන්දිපත් වේදනාව නැත්නම් ආතරයිටිස්‌ අංශභාග වගේම පාකිsන්සන් වගේ රෝග බහුලව දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් තරුණ වයසේදී මෙවැනි රෝග නොහැදෙනවා කියන එක නෙමෙයි මෙතෙන්දී අපි අදහස්‌ කරන්නෙ. වැඩිපුරම හැදෙන්නෙ මැදි වයසේදී කියන එකයි.

මැදි වයසෙදී හැදෙන මේ රෝග නිසා රෝගියා අන්ත අසරණ වෙන එක වලක්‌වන්න බැහැ. ඒ වෙනකොට තම තමන්ගෙ දුවා දරුවෝ දීගතල ගිහිල්ල හුදෙකලා වෙච්ච වෙලාවකයි මෙම රෝග අපිව හොයාගෙන එන්නෙ. අන්න එතෙන්දී තමයි තවත් කෙනෙක්‌ගෙ පිළිසරණක්‌ අවශ්‍ය වෙන්නෙ. මෙන්න මේ තත්ත්වයට පත්වෙච්ච අයයි වැඩි වශයෙන්ම අපේ අවධානයට යොමු වෙන්නෙ.

ඒ කියන්නෙ අසරණ වෙන ඕනෑම රෝගියෙකුට ඔබ සරණ වෙන්න නිරන්තරයෙන් කැපවෙනවා කියන එකද?

පැහැදිලිවම ඔව්. ඒක අප ළඟට එන රෝගීන්ගෙන්ම හොඳ අවබෝධයක්‌ තියෙනවා.

ඔබගෙන් ප්‍රතිකාර ගැනීමට වැඩිපුරම එන්නෙ මොන මොන ආබාධවලට ලක්‌වූ රෝගීන්ද?

අපේ බැලවානේ වෙද පරපුර සර්වාංග රෝගවලට ප්‍රතිකාර කළත් වැඩිපුරට නමක්‌ දිනාගෙන තියෙන්නෙ අංශභාග රෝග සහ ආතරයිටිස්‌ රෝගවලට, අංශභාග රෝගය වැළඳුණු මොනම තත්ත්වයේ රෝගියෙක්‌ වුණත් අපෙන් ප්‍රතිකාර ගන්න ආවොත් අප සැලකිය යුතු ප්‍රමාණයකට එම රෝගියා සුවපත් කිරීමේ වගකීම භාරගන්නවාමයි.

අපි නිකමට හිතමු යමෙකුට අංශභාග රෝගය වැළඳුණා කියල. පැහැදිලිවම එම රෝගියා අන්ත අසරණ වෙනවා. මොකද තමන්ගෙ වැඩටික තමන්ට කරගන්න නොහැකි නිසා. මේ තත්ත්වය බොහෝ කලක්‌ තියෙන්න පුළුවන්. සමහර වෙලාවට මියයන තෙක්‌ම වෙන්නත් පුළුවන්. නමුත් අපි එහෙම අසරණ වෙන්න ඉඩ තියන්නෙ නැහැ. ඉතාමත් කෙටි කලකින් එම රෝගියා සුවපත් කරවනවාමයි.

පැරකුම් සේනානායක වෙදදුරුට ඇත්තේ මනා පළපුරුද්දකි. එමෙන්ම රෝග පිළිබඳ මනා දැනුම් සම්භාරයකි. එනිසාම රෝග තත්ත්වය හඳුනාගෙන කරන ප්‍රතිකාරය වැරදුණ දවසක්‌ නම් නැත.

අද සමාජයේ වැඩිපුරම දකින්නට ලැබෙන රෝග තත්ත්වයක්‌ තමයි සන්ධි වාත හෙවත් ආතරයිටිස්‌. සමහර බටහිර වෛද්‍යවරු කියනවා මේකට ප්‍රතිකාර නැහැ කියල. මේ ගැන පැහැදිලි කිරීමක්‌ කළොත්?

ඒ ඒ අය කියන කතන්දර නේ. බොහෝ වෙලාවට ඒ කියමන්වලත් වැරැද්දක්‌ නැහැ. වැඩිම වුණොත් ආතරයිටිස්‌ හැදුණ රෝගියකුට වේදනා නාශකයක්‌ දීල මේක දිගටම පාවිච්චි කරන්නයි කියයි. මෙතෙන්දී වෙන්නෙ වේදනාව පහව යයි. ඒත් ආබාධය එක්‌තැනමයි. අන්තිමේදී රෝගියාට ඇවිද ගන්න බැරිවෙනකම් කිසිකෙනෙක්‌ දන්නේ නැහැ.

මෙවැනි රෝගියකු අපි ළඟට ආවොත් ප්‍රතිකාර කරනවා ඒ විතරක්‌ නොවෙයි මොනම තත්ත්වයෙ තිබුණත් සුවපත් කරවනවා.

එතකොට බටහිර වෛද්‍යවරු බෙහෙත් නැහැයි කියන කතාව බොරු.

බොරුද ඇත්තද කියන ප්‍රශ්නයට වඩා දේශීය වෙදකමෙන් සුවපත් කළ හැකිය කියන පිළිතුර තමයි වඩාත් වැදගත් වෙන්නෙ.

ඒ කියන්නෙ ඕනෑම තත්ත්වයක ආතරයිටිස්‌ රෝගියකු සුවපත්කරනවා කියන එක.

එහෙම නොහැකියාවක්‌ තියෙනවා නම් මේ සිංහල වෙදකමේ ඇති වටිනාකමක්‌ නෑ.

පැරකුම් සේනානායක වෙදදුරුගේ පියා මාර්ටින් සේනානායක වෙදදුරු සුවකළ නොහැකි යෑයි කියන දහස්‌ ගණනක්‌ රෝගීන් සුවපත් කර දීමට දේශීය පාරම්පරික වෙදකමේ ප්‍රබලත්වය කියාපාන හොඳම සාක්‍ෂිය වන්නේය. ඊට නොදෙවෙනි වන පැරකුම් සේනානායක වෙදදුරුද ඒවගේම ප්‍රතිකාරයන් කරමින් රෝගී ජනතාවට කරන්නෙ අප්‍රමාණ සේවයකි.

තවත් මේ ප්‍රතිකාර නැතැයි කියන රෝගයක්‌ තමයි පාකින්සන් කියන රෝගය. මේ රෝග වැළඳුණ අය ඉතාමත් අසරණ තත්ත්වයකින් තමයි ජීවත් වෙන්නෙ. මෙවැනි රෝගයක්‌ වැළඳුණ අයෙකුට ප්‍රතිකාර කිරීමේදී දක්‌වන දක්‍ෂතාව ගැන කිව්වොත්

පාකිsන්සන් රෝගීන් ඇත්තටම අසරණ වෙනවා තමයි. මුලින්ම ඇඟිලි තුඩුවලින් යමක්‌ ගුලිකරනවා වගේ ස්‌වභාවයක්‌ ගන්නා මෙම රෝගය කල් යැමේදී එක තැනෙක රැඳී සිටීමට නොහැකිවීම, මුඛයෙන් කෙළ වැගිරීම වගෙ තත්ත්වයකට ආපුවාම රෝගියා අන්ත අසරණ තත්ත්වයට පත්වෙනවා. නමුත් අපි මේ තත්ත්වයෙන් මුදවල කිසියම් සැනසිලිභාවයකට සුවපත්කරල දෙනවා.

මේ සෑම රෝගයක්‌ම සුවපත් කරන්න අපි ඖෂධ නිපදවාගෙන. එදා ඉඳලම අපේ පරම්පරාවට සීමාවුණු ඖෂධ වට්‌ටෝරු උපයෝගී කරගෙන තමයි මේ තෙල් බෙහෙත් නිපදවන්නෙ. ඒ නිපදවන ඖෂධ රෝගීන්ගේ සියලු රෝග සුවපත් වෙන්න එතරම් කාලයක්‌ ගතවෙන්නේ නැහැ.

තරුණ වයසේ පසුවන පැරකුම් සේනානායක වෙදදුරු සිය පරම්පරාවේ වගකීම තම කරට ගෙන ඖෂධ නිපදවන්නේ තමාගෙන් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගේ සුවයම ප්‍රාර්ථනා කරමින් මිස මහා පරිමාණ අලෙවියකට නොවේ. තම අධීක්‍ෂණය යටතේ නිපදවන මෙම ඖෂධ රෝගීන්ට මහෝෂධයක්‌ම වන බව සිරි වෙදමැඳුරට පැමිණ සිටි බොහෝ රෝගීන් අප හා පැවසුවේ මුසා බස්‌ පවසා වෙදදුරු පසසන්නට නොවන බව දනිමි.

විමලසිරි අගලකඩ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.