සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු මුද්‍රාව
ඔක්‌තෝබර් 17 වැනිදාට යෙදෙන 38 වැනි සී. ටී. ප්‍රනාන්දු සමරුව නිමිත්තෙනි.

ක. ක. ගනුෂ්ක රන්දුල

එක්‌ දහස්‌ නවසිය හතළිස්‌ ගණන්වල අග භාගය වන විට සිංහල ගීත සාහිත්‍යයේ කැපීපෙනෙන ප්‍රවණතා කිහිපයක්‌ දක්‌නට තිබිණි. එක්‌ අතෙක සිරිසේන විමලවීර, හියුබට්‌ රාජපක්‌ෂ ආදීන් ගේ නූර්ති, ටීටර් ගී සම්ප්‍රදායද තවත් අතෙක ආනන්ද සමරකෝන්, එච්. ඩබ්ලිව්. රූපසිංහ ආදීන් ගේ ශාස්‌ත්‍රීය ගීත සම්ප්‍රදායය ද ඒ හැමට ම වෙනස්‌ අතෙක වොලී බැස්‌ටියන්, ජස්‌ටින් ප්‍රනාන්දු ආදීන් ගේ බයිලා ගීත සම්ප්‍රදාය ද පැවැතිණි. මේ සියල්ලට අමතර වැ සිංහල සිනමාවේ ප්‍රභවයත් සමඟ දක්‌ෂිණ භාරතීය හා උත්තර භාරතීය අනුකාරක ගීත සම්ප්‍රදායයක්‌ ද මෙවක බිහි විය. බටහිර සංගීතය යනු හුදු බයිලාව යෑයි සමාජගතවැ පැවැති දුර්මතය උඩුයටිකුරු කළ සිරිල් ටියුඩර් ප්‍රනාන්දු හෙවත් සී. ටී. ප්‍රනාන්දු (1921. 01. 28 - 1977. 10. 17) ගේ ආගමනය සිදු වූයේ මෙවන් මීයෑසි පසුබිමක්‌ පැවැති 1946 වසරේදීය.

සී. ටී. ගුවන් විදුලි ගායකයකු ලෙස ගැයූ පළමු ගීය 1947 දී ගැයූ -"සවස්‌ කල ඇලේ හමන මඳ නලේ" නම් වූ බව මහාචාර්ය සුනිල් ආරියරත්න පවසයි. එහෙත් ඔහුට ජනප්‍රියතාව ගෙන ඒමට සමත් වූයේ ඒ වසරේ දීම සූරියරා සමඟ ගැයූ 'පින් සිදු වන්නේ අනේ බාල ළමුන්නේ' ගීය යි. ඒ ගීය රචනා කරන ලද්දේ සී. ටී. වෙනුවෙන් පමණක්‌ ගී ලියූ ආර්. එන්. එච්. පෙරේරා විසිනි. වෘත්තියෙන් පාසල් ගුරුවරයකු වූ ආර්. එන්. එච්. වූකලී සී. ටී. ගේ සමීප ඥාතියෙකි. ඔහු ලියූ ගී පදවල අපූර්වත්වය, සෞන්දර්යාත්මක භාවය හා සරල බව නොමඳව වැපිරී තිබිණි. 'පින් සිදු වන්නේ අනේ බාල ළමුන්නේ' පමණක්‌ වුව ද මේ සඳහා ප්‍රමාණවත් නිදසුනෙකි. අද පවා පාසල්හි භාවිත කැරෙන සිවු වැනි ශේ්‍රණියේ සිංහල පෙළ පොතෙහි මේ ගීතය ඇතුළත්කොට ඇත්තේ එහි ඇති මෙකී විශිෂ්ටතාව නිසා ය. සී. ටී. වෙනුවෙන් ආර්. එන්. එච්. ලියූ 'සුවඳ රෝස මල් නෙළා', 'අම්බිලි මාමේ', 'පින් සිදු වන්නේ' වැනි සෙසු ළමා ගීවලද මේ විශිෂ්ටතා ලක්‌ෂණ මොනොවට ගප් වැ තිබේ. තුරුණු වියේ දී ළමා ගී ගැයූ ගායකයකු බවට සී. ටී. පත් වූයේ බෙහෙවින් ම ආර්. එන්. එච්. ගේ පද රචනාවල බලපෑම නිසා ය. අද වුව ද වැඩි ම ළමා ගී සංඛ්‍යාවක්‌ ගැයූ වැඩිහිටි ගායකයා වනුයේ සී. ටී.ය. ගුවන් විදුලියේ ළමා පිටියෙන් හෝ සරස්‌වතී මණ්‌ඩපයෙන් හෝ බිහි වූ ළමා ගායකයෙක්‌ නම් ළමා ගී ගැයීමේ අරුමයක්‌ නැත. එහෙත් තුරුණු වියේදී විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පියකු බවට පත් වූවකු ළමා ගී වෙත ආසක්‌ත වීම විශේෂත්වයෙකි. සිංහල ළමා ගීයට සී. ටී. ගෙන් සිදු වූ සම්ප්‍රදානය මෙතෙක්‌ ප්‍රාමාණික අධ්‍යයනයකට පාත්‍ර වී නැත. මේ සී. ටී. ගේ ගීත සාහිත්‍යයේ එක්‌ පැතිකඩකි.

සී. ටී. ගේ ගීවල පැවැත්තේ ඔහු විසින් ම නිර්මාණය කරන ලද බටහිර ආරේ මනහර ස්‌වතන්ත්‍ර තනු ය. ඔහු ගැයූ චිත්‍රපට ගීත හැරුණු කොට සෙසු සියලු ගීවල තනු නිර්මාණය සී. ටී. ගේ ම විය. මුල් දසකයේ ඔහු ගැයූ ගීවල සංගීත සංයෝජනය කෙළේ බී. ඇස්‌. පෙරේරා වුව ද පාසල් සමයේ පටන් සී. ටී. ගේ මිතුරකු වූ පැටි්‍රක්‌ දෙනිපිටිය නොබෝ කලෙකින් ම ඔහු ගේ තනු සඳහා සංගීත සංයෝජනයෙන් දායක විය. සී. ටී. - පැට්‍රික්‌ සුසංයෝගයෙන් බිහි වූයේ ඉන් පෙර සිංහල ගීත රසිකයාට අසන්නට නො ලැබුණු ආකාරයේ බටහිර ඌරුවක්‌ ඇති ගීත ය. එවක සිංහල ගීත ක්‌ෂේත්‍රය තුළ අනුකාරක ගී රැල්ල බෝ වන රෝගයක්‌ මෙන් පැතිරෙමින් තුබුණ ද සී. ටී. බටහිර ගී තනුවලට වචන ඔබා ගැයුවේ නැත. ඔහු ගේ සියලු ගීවල තුබුණේ ස්‌වතන්ත්‍ර තනු ය. මේ නවමු බටහිර ආරේ තනුවලට බෙහෙවින් ම ආකර්ෂණය වූයේ එවක ඉංගිරිසි ගී ඇසීමට ඇබ්බැහි වී සිටි කුරුඳුවත්තේ බංගලාවල වුසූ පැලැන්තිය යි. ඒ අනුවැ අගනුවර ධනපති පංතිය වෙත සිංහල ගීතය ගෙන යැමේ වැඩි ගෞරවය සී. ටී. වෙත හිමි වේ. ඔවුන් වෙත සිංහල ගීය ගෙන යැමෙන් සී. ටී. හට සැලැසුණේ ද සුළුපටු ප්‍රතිලාභයක්‌ නො වේ. සති අන්තයේ දී ගාලු මුවදොර හෝටලයේ ගල්කිස්‌සේ මහ හෝටලයේ සහ කැන්ඩි ලේක්‌ ක්‌ලබ්හි පැවැති සාද සම්භාෂණ ආදියෙහි ගී ගැයීමට සී. ටී. හට නිතොර ඇරියුම් ලැබිණි. එක්‌ දහස්‌ නවසිය හැට ගණන්වල සති අන්තයක සී. ටී. මේ හෝටලයෙක ගී ගයනු දැක-ගත නොහැකි වී නම් ඒ ඉතා කලාතුරෙකිනි.

කුඩා කල නාවලපිටියේ ශාන්ත මේරි දේවස්‌ථානයේ කන්තාරු ගැයීමෙන් ගායනයෙහි බුහුටිකම් ලත් සී. ටී. ගේ සවන්හි ලැගුම් ගෙන තුබුණේ බටහිර නාද රටා ය. එබැවින් ඔහුගේ තනු රචනාවලින් දේශීය නාද මාලා අපේක්‌ෂා කරනු උගහට ය. සී. ටී. ගේ නිර්මාණවලින් දක්‌නට ලැබුණේ බටහිර ජනප්‍රිය ගීත ආකෘතීන්හි ආභාසය යි. සී. ටී. ගේ ගීතවලට හා ඉදිරිපත් කිරීමේ ශෛලියට නැට්‌ කිංකෝල් නම් ඉංගිරිසි ගායකයාගේ ආභාසය ලැබී ඇති බව නදීක ගුරුගේ පෙන්වා දෙයි. ඔහු ගේ -සැළලිහිණි කොවුල් හඬ ගීයෙන්-(There’sataverninthetown)  නම් ඉංග්‍රී‍සි ගීයේ යම් ප්‍රතිරාවයක්‌ ඇසෙන බව වරක්‌ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සඳහන් කොට තිබේ. යනීනා නම් පෝලන්ත ගායිකාව 70 දසකයේ දී තැටිගත කළ ගීයක ආභාසයක්‌ සී. ටී. ගේ 'බේරෙන පැණි බිඳු රතු මී වද බඳු' ගීයේ තනුවෙන් පිළිබිඹු වන බව මහාචාර්ය සුනිල් ආරියරත්න දක්‌වයි. එමෙන් ම සී. ටී. ගේ 'සීගිරි සුකුමාලියේ' ගීය බොසානෝවා රිද්මයෙන් (Bosanova Rhythm) ලංකාවේ බිහි වූ පළමු ගීය ලෙස සැලැකේ. ඔහු ගේ 'රන්වන් රන් කෙඳි පීරලා' ගීය සිංහල ගීත සාහිත්‍යයේ මුල්ම රොක්‌ ඇන් රෝල් (Rock& Roll)ගීතයකි. එ මතු නොවැ,සී. ටී. ගේ ගීතවලින් ස්‌පාඤ්ඤ ගීත සම්ප්‍රදායයේ පැහැදිලි ආභාසයක්‌ දැකිය හැකි බව බී. බී. සී. මාධ්‍යවේදී ජෝන් මයර්ස්‌ (John Myers) සඳහන් කැරැ තිබේ.

ජනප්‍රිය ගීත සම්ප්‍රදායයේ අවශ්‍ය අංගයක්‌ වන ප්‍රාසාංගිකත්වය පිළිබඳ වැ පර්යේෂණ කළ අයකු ලෙස ද සී. ටී. හඳුනා ගත හැකි ය. ඊට හොඳ ම නිදසුන ඔහු ගැයූ 'පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ' ගීය යි. එහි මුල් තැටිගත කිරීම ම සජීවී සංගීත ප්‍රසංගයෙක දී ගැයුණු ගීයක ස්‌වරූපය ගනී. ගීතය අතරතුර ප්‍රසංග වේදිකාවෙක උද්දාමයෙන් හඬ නඟන්නවුන් ගේ නොයෙක්‌ කෑ ගැසීම් ඇසේ. මේ වනාහි මින් පෙර කිසිවකු ගේ ගීයක දක්‌නට නො ලැබුණු ලක්‌ෂණයෙකි. එවක පැවැති අවම තාක්‌ෂණික පහසුකම් භාවිතයෙන් මෙවැනි අත්හදා බැලීමක්‌ කිරීම ප්‍රශංසනීය වේ. සී. ටී. ගේ සජීවී ගායනයේ තුබූ ප්‍රාසාංගිකත්වය හා එවක ඔහුට තුබූ ජනප්‍රියතාව කෙතෙක්‌ ද යත් එවක 'වන බඹරු' හා 'The CT Show' යනුවෙන් ඔහු පැවැත්වූ ඒක පුද්ගල ප්‍රසංග නැරැඹීම සඳහා ප්‍රසංග ශාලාවන්හි දොර ජනෙල් කඩාගෙන ජන ගඟ ගැලූ අවස්‌ථා ඕනෑ තරම් පැවැති බව ඔහුගේ රසිකයෝ අදත් සිහි කරති.

එ කල ජනප්‍රියත්වයේ මුදුන් ඉමෙහි සිටි සී. ටී ගේ ජනප්‍රිය සංගීත අනන්‍යතාව ගුරු කොටගෙන නිර්මාණකරණයට අවතීර්ණ වූ ශිල්පීහු බොහෝ වූ හ. ඒ අතර සිංහල කණ්‌ඩායම් සංගීතයේ පුරෝගාමීන් වූ ක්‌ලැරන්ස්‌ විඡේවර්ධන හා නෙවිල් ප්‍රනාන්දු කැපී පෙනෙති.

සී. ටී. ගේ ගීත ජනාදරයට පාත්‍ර වීමට ප්‍රධාන හේතු වූයේ ඒවාහි සරල පදමාලාව හා මධුර සංගීත සංයෝජනය යි. ඒ වන විට සිංහල ගීත සාහිත්‍යය ගිලගෙන පැවැති සංස්‌කෘත පද බහුල යාන්ත්‍රික භාෂාවකින් ලියෑවුණු පද මාලා වෙනුවට සී. ටී. තෝරා ගත්තේ ඉතා සෞම්‍ය වාංමාලාවකින් සෞම්‍ය අනුභූතීන් ප්‍රතිනිර්මාණය කැරෙන පදමාලා බව පෙනේ. 'කිම ද සුමිහිරියේ', 'ආනෙ ඩිංගක්‌ ඉන්නකෝ', 'බේරෙන පැණි බිඳු', 'ලෝ අඩ නින්දේ', 'දවස ගෙවී දැන් ටික ටික' ආදි බොහෝ පද මාලා මීට නිදසුන් කොට පෙළ ගැස්‌විය හැකිය. ඒ වන විට හෙළ ගීයේ හද බස වටහාගෙන සිටි ශිල්පීන් කිහිප දෙනාගෙන් එක්‌ අයකු ලෙස සී. ටී. හැඳින්වීම සාධාරණ ය. මේ සී. ටී. ගේ ගීත සාහිත්‍යයේ තවත් පැතිකඩෙකි.

සී. ටී. ගැයූ බොහෝ ගී ආනුභුතික හා ආකෘතික නව්‍යතාවෙන් ද අනූන විය. එනම් වස්‌තු විෂයය හා ඉදිරිපත් කිරීම අතින් ඔහු ගේ බොහෝ නිර්මාණවල අපූර්වත්වය නොමඳ වැ ගප් වී තිබිණි. 'අමතන්නට හැකි බසක්‌ සොයා', 'කැලෑ මල නොවේ', 'සරුංගලේ සරුංගලේ', 'මා බාල කාලේ', 'අපි ඇවිදිමු හඳ පානේ' වැනි ගීත ඊට පොදුවේ නිදසුන් කළ හැකි ය. ඊට අමතර වැ තම ජීවිතයේ සමීපතමයන් හා එදිනෙදා සමාජයේ නිතොර හමුවන පුද්ගල චරිත පිළිබඳ වැ ගැයීම ද සී. ටී. ගේ විශේෂත්වයෙකි. 'සමන් කැකුළු අතුරලා' ගීය සී. ටී. ගැයුවේ පිය බිරිය වූ ධනවතී වෙනුවෙනි. 'බිළිඳා නැළැවේ' ගීය ඔහු ගැයුවේ ඔහු ගේ එක ම පුතු වූ ප්‍රියන්ත වෙනුවෙනි. උක්‌ත ගීත ද්වයයෙහි අන්තර්ගත මුදු හැඟුම් හා සිලිටි බස්‌ වහර නිසා එවක මේ ගීත නොමඳ විචාරක අවධානය දිනී ය. අනෙක්‌ අතට සැමියකු ගේ දෘෂ්ටියෙන් බිරිය ගැනත් පියකු ගේ දෘෂ්ටියෙන් බිළිඳු පුතු ගැනත් ගැයුණු ගී හැටේ දසකයට පෙර සිංහල ගීත සාහිත්‍යයේ කොපමණ තිබිණිදැයි සොයා බැලිය යුතු ය. එසේ ම සී. ටී. 'මගෙ සුදු මාමේ', ගීයෙන් ගැයුවේ රා මදින්නකු ගැන ය. 'බර බාගේ ගීයෙන්' ගැයුවේ ගැල්කරුවකු ගැන ය. 'එළවළු පලා' කියා ගීයෙන් ගැයුවේ එළවළු වෙළෙන්දියක ගැන ය. මේ ගී තුන ම බටහිර සංගීතය මුසු නිර්මාණ වුව ද ඇරැඹෙන්නේ සීපද ගායනාවලින් වීම විශේෂත්වයෙකි. ගැමි සුන්දරත්වය හා ගැමි චරිත පිළිබඳ වැ ගැයුණු මෙවැනි බොහෝ ගීවල ඇත්තේ නාගරිකයකු ගම දෙස හෙළන දෘෂ්ටියක්‌ බව බොහෝ විචාරකයන් ගේ මතයෙකි.

සී. ටී. ප්‍රනාන්දු ගේ ගීත සාහිත්‍යයෙහි සහ සංගීත භාවිතයෙහි දක්‌නට ලැබෙන විශේෂතා රැසක්‌ ඔහුට සමකාලීන වූ සුනිල් සාන්ත ගේ ගීත සාහිත්‍යයෙහි සහ සංගීත භාවිතයෙහි ද එලෙස ම දක්‌නට ලැබෙන බව සංගීත විශාරද ජයන්ත අරවින්ද පෙන්වා දෙයි. සුනිල් සාන්ත හා සී. ටී. ප්‍රනාන්දු සමකාලීනයෝ වෙති. එහෙත් සංගීත විෂයක පරමාර්ථ අතින් දෙදෙනා ගේ පැහැදිලි වෙනසක්‌ දක්‌නා ලැබේ. සුනිල් සාන්ත උත්සාහ කෙළේ සිංහල ගීතය හින්දුස්‌ථානි සංගීතයෙන් සහ සංස්‌කෘත මිශ්‍ර යාන්ත්‍රික පද මාලාවලින් මුදාගෙන ස්‌වීය වූ සංගීත සම්ප්‍රදායයක්‌ හෙවත් හෙළ මීයෑසියක්‌ පිහිටුවීමටයි. සී. ටී. හට එවැනි පරමාර්ථයක්‌ තුබුණු බවක්‌ නො පෙනේ. එහෙත් වඩාත් සෞම්‍ය ගී ආරක්‌ ප්‍රිය කළ ඔහු ද හින්දුස්‌ථානි සංගීතය හා සංස්‌කෘත මිශ්‍ර යාන්ත්‍රික පද මාලා ප්‍රතික්‌ෂේප කොට තිබේ. මෙහෙයින් දෙදෙනා ම අනුකාරක ගීත රැල්ලට අනුගත වී නැත. සංගීත සංයෝජනයේදී සුනිල් ද ගිටාරය වැනි බටහිර වාද්‍ය භාණ්‌ඩ කිහිපයක්‌ භාවිත කොට ඇති බව ඔහු ගේ ගීත ශ්‍රවණය කිරීමෙන් පැහැදිලි වේ. එ බැවින් සුනිල් ගේ 'ඕලු පිපීලා', 'මිහිකත නළවාලා', 'ලංකා ලංකා' වැනි ගීත ද ඉංගිරිසි ගී ඇසීමට ඇබ්බැහි වී සිටි කුරුඳුවත්තේ බංගලාවල වුසූ පැලැන්තිය ආකර්ෂණය කැරැ ගැනීමට සමත් විය. ඒ අනුවැ අගනුවර ධනපති පන්තිය වෙත සිංහල ගීතය ගෙන යැමේ යම් ගෞරවයක්‌ සුනිල් සාන්තට ද හිමි වේ. සී. ටී.මතු නො වැ සුනිල් සාන්ත ද එවක ළමා ගී ගැයූ වැඩිහිටි ශිල්පියෙකි. 'ඕලු පිපී ලා', 'වලාකුළින් බැසැ', 'අම්බලමේ පිනා', 'බෝවිටියා දං පළුකං වාරේ' ආදිය ඔහු ගැයූ ළමා ගීත ය. සුනිල් ගේ ඇතැම් ගීවල ද සී. ටී. ගේ ඇතැම් ගීවල මෙන් ම බයිලා ආරේ යම් ආභාසයක්‌ දැක්‌ක හැකිය. ඊට නිසිතම නිදසුන -කෝකිලයන් ගේ කෝකිල නාදේ ගීය යි. මෙය කොතරම් දුරට බයිලා ලක්‌ෂණ දරන්නේ ද යත් වර්තමානයේ පවා වාද බයිලා ශිල්පීහු මෙය වාද බයිලා තාලයක්‌ ලෙස භාවිත කරති. ඔවුන් මෙය හඳුන්වන්නේ 'කෝකිල තාලය' යනුවෙනි. සී. ටී. හට සාපේක්‌ෂ වැ සුනිල් සාන්ත යනු ඉතා පෘථුල ලෙස සිංහල ගීතය පිළිබඳ අත්හදාබැලීම් සහ පර්යේෂණ කළ සංගීතඥයෙකි. එසේ වුවද දෙදෙනා ගේ ම සංගීත විෂයක සම්ප්‍රදානයේ මෙතරම් සමානතා ඇති වීමට පසුබිම් වූයේ කවර සාධකයක්‌ දැයි වඩාත් සියුම් ලෙස අධ්‍යයනය කළ යුතු බව පෙනේ.

සිංහල ගීත සාහිත්‍යය වෙනුවෙන් මේ සා මෙහෙවරක්‌ ඉටු කළ ද සංගීත ක්‍ෂේත්‍රයෙහි අඩන්තේට්‌ටම් හා කෙණෙහිළිකම් අතින් සී. ටී. හට අඩුවක්‌ තිබුණේ නැත. මුලින් ම සී. ටී. ප්‍රබුද්ධයන් ගේ ගර්හාවට ලක්‌ වූයේ ඔහුගේ උච්චාරණය නිසා ය. ඇතැම් ශබ්ද සී. ටී. හට උච්චාරණය වූයේ අසිංහල විලාසයකිනි. මෙය සී. ටී. හිතා මතා කළ වැඩක්‌ නො වේ. ඔහු ගේ දත් දෙපෙළෙහි පිහිටීමත් ඉංගිරිසි උච්චාරණයෙන් ලත් ආභාසයත් නිසා අ, ඔ වැනි ස්‌වර ශබ්දත් ච, ජ, ත, ද වැනි ස්‌පර්ශ ශබ්දත් ඔහුට උච්චාරණය වූයේ ඉංගිරිසි භාෂකයකුට මෙනි. ස්‌වර මධ්‍යගත වැ යෙදෙන ස ශබ්දය ද සී. ටී. ගේ මුවින් බොහෝ විට නික්‌මුණේ ඝෝෂිත වැ ය. සමහර විචාරකයෝ මේ උච්චාරණ විශේෂතා බරපතළ දෝෂ දර්ශනයට ලක්‌ කළහ. එහෙත් එවක මොහිදින් බෙග් 'ටිකිරි මෙණිකෙ එම්බුල ගෙනල්ලා' යි ගයන විට නිහඬ වැ පසු වූ ගුවන් විදුලියේ ප්‍රබුද්ධයන් සී. ටී. ගේ උච්චාරණය ගැන පමණක්‌ කිපී ගෝරනාඩු කිරීම මධ්‍යස්‌ථ විචාරකයකු වූ ආචාර්ය තිස්‌ස අබේසේකරගේ ඉමහත් විවේචනයට ලක්‌ විය.

සී. ටී. වූ කලී සිංහල ගීත සාහිත්‍යයේ නව ආරක්‌ බිහි කළ ශිල්පියෙකි. ළමා ගී සාහිත්‍යය සුපෝෂණය කළ වැඩිහිටියෙකි. ගීයේ හද බස සොයා ගිය රසවතෙකි. සංගීත විෂයයෙහි නව අත්හදාබැලීම් කළ පර්යේෂකයෙකි සිංහල ගීය අන්තර් ජාතිකයට ගෙන ගිය දේශාටකයෙකි. එමතු නො වැ 1952 දී එංගලන්තයේ වින්ඩ්සර් මාලිගයේ පැවැති එළිසබෙත් රැජිනිය ගේ මෞලි මංගල්‍යයේ දී ගීත ගැයූ සිංහල ගායකයා වූයේද සී. ටී. බව බොහෝ දෙනා නො දනිති. මෙවන් අද්විතීය ශිල්පියකු වූ සී. ටී. ගේ වියෝවින් පසු තිස්‌ පස්‌ වසරක්‌ තිස්‌සේ සී. ටී. පුත්‍ර ප්‍රියන්ත ප්‍රනාන්දුට දිවයින පුරා සංගීත ප්‍රසංග සඳහා ලැබෙන අඛණ්‌ඩ ආරාධනා සමුදායය ම සී. ටී. ගේ අවිච්äන්න ජනප්‍රියතාව පිළිබඳ අබේද්‍ය සාක්‌ෂ්‍ය යි. එහෙවු සී. ටී. පිළිබඳ විධිමත් ශාස්‌ත්‍රාලයීය අධ්‍යයනයක්‌ මේ දක්‌වා සිදු නොවීම නම් ඓතිහාසික අසාධාරණයක්‌ බව සඳහන් කළ යුතු ම ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.