ඇස්‌ පියසේනගේ සිකුරු දැක්‌ම
සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසිවීම

ලෝකයේ ඇතැම් ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ ජීවිතයට අදාළ අනුස්‌මරණ සංවත්සර, උපන්දින ආදිය යෙදෙන්නේ දෛවෝපගත අන්දමටය.

ලෝකයේ ප්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ජීවිත සිදුවීම ද එබඳුය. ඇගේ අභාවයෙන් 15 වැනි සංවත්සරය අපි පසුගිය 10 වැනිදා සැමරුවෙමු. ඇය ජීවිතයෙන් සමු ගැනීම ඓතිහාසික පසුබිමක සිදු වීමද විශේෂත්වයකි. ඇයට ගෞරවයක්‌ ලෙස එය සැකෙවින් මෙහි සඳහන් කිරීම වටිනේ යෑයි සිතමි.

එදා මැතිවරණ දිනයකි. මීට පෙර ඇය සිය ඡන්දය පාවිච්චි කළේ සිය පුත් අනුර බණ්‌ඩාරනායක මහතා සමඟ ගොසිනි. නමුත් මෙදින යෙදී තිබූ මැතිවරණයේදී අනුර එජාපයට සම්බන්ධ වී සිටීම නිසා ඇය ඡන්දය පාවිච්චි කිරීමට අත්තනගල්ල ශ්‍රී සංඝබෝධි විදුහලට ගියේ ඇගේ දියණිය සුනේත්‍රා බණ්‌ඩාරනායක සමඟය. ඇය ඡන්ද මධ්‍යස්‌ථානයට ගියත් ඇගේ ඇඟිලි තුඩු අතරේ පැන්සල රඳවා ගැනීමට නොහැකි විය. අත ඉදිමී ඇය අසනීප තත්ත්වයෙන් පසුවීම එයට හේතුවය. එහෙත් ඇය ඡන්ද මධ්‍යස්‌ථානයේ මැතිවරණ රාජකාරියේ යෙදී සිටි නිලධාරියකුට කතා කොට ඇගේ කැමැත්ත ඡන්ද පත්‍රිකාවේ සටහන් කරන්නැයි ඉල්ලා සිටියේ "පුටුවට ලකුණු කරන්න මනාප දාන්න එපා" යනුවෙනි. ඇගේ මේ අන්තිම මැතිවරණ කැමැත්තට, පසු දින මාධ්‍ය විශාල ප්‍රචාරයක්‌ ද ලබා දී තිබුණි.

ඇය ඡන්දයේදී තම කැමැත්ත ප්‍රකාශ කර ආපසු එමින් සිටියදී අසනීප තත්ත්වය තරමක්‌ නරක අතට හැරුණි. සුනේත්‍රා මහත්මිය ඇය රෝහලකට රැගෙන යැමට ගත් උත්සාහයට ද විරෝධය දැක්‌වීම නිසා කඩවත නගරයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්‌ථානයකින් ප්‍රතිකාර ලබා ගත් නමුත් ඇයට අප අතරේ රැඳෙන්නට මාරයා අවසර දී තිබුණේ පැය 2 කට අඩු කාලයකි. ඇය අන්තිම හුස්‌ම හෙලුවේ දේශපාලනික වශයෙන් තම පක්‍ෂයට යුතුකම ඉටුකිරීමෙන් අනතුරුවය.

සිරිමාවෝ බණ්‌ඩාරනායක නමැති චරිතය විවිධ විචිත්‍ර හා විෂම චරිතයකි. මේ ලිපිය 'දිවයිනේ' පළවන අද ද ඇගේ ජීවිතයේ සංවත්සරයක්‌ යෙදී ඇත. ඒ ප්‍රජා අයිතිය අහෝසි කිරිමේ 25 වන සංවත්සරයයි. මෙවැනි සංවත්සර සඳහා උළෙලක්‌ සංවිධානය නොවුණත් ඇය මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දුන් ආකාරයත් ඉන් ඇය මුදවා ගැනීමට කටයුතු කළ ආකාරයත් මේ ලිපියෙන් සාකච්ඡා කිරීම උචිත යෑයි සිතමි. ඒ වෙන කරුණක්‌ නිසා නොව පාර්ලිමේන්තුවේදී විවිධ කරුණු හමුවේ අපේ දේශපාලනඥයන් හැසිරෙන ආකාරය විමසීම අප කාට කාටත් ප්‍රයෝජනවත් වන බැවිනි.

1977 ජුලි 20 දින පැවැති මැතිවරණයෙන් ජය ලැබූ එජාපය එතැන් සිට සති කීපයක්‌ තුළ ව්‍යවස්‌ථා සංශෝධන හා අණපනත් කීපයක්‌ සම්මත කර ගැනීමට ප්‍රමුඛතාවය ලබා දුන්නේය. එහි පළමුවැන්න 'සර්ව බලධාරී' විධායක ජනාධිපති ක්‍රමය පිහිටුවන ව්‍යවස්‌ථා සංශෝධනයයි. දෙවැන්න තම ප්‍රබලම දේශපාලන විරුද්ධවාදිනිය වු සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය කලකට තරග බිමෙන් ඉවත් කර තැබීමේ යෝජනාවය. එවකට එජාප රජයේ කෘෂිකර්ම ඇමැතිවරයා වූ ඊ. එල්. සේනානායක මහතා රජය පත්ව සිව්වන සතියේදී පමණ පාර්ලිමේන්තුවට ලිපි ගොනුවක්‌ ඉදිරිපත් කරමින් වේගවත් කථාවක්‌ කළේය. එහිදී ඔහු සඳහන් කළ එක්‌ කරුණක්‌ මෙසේය.

'අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමිය ඇයට අයත්ව තිබී රජයට පවරා දුන් ඉඩම්වල වටිනාකම දස ගුණයකින් වැඩි කිරීම සඳහා බිංදුවක්‌ එකතු කර තිබෙනවා' යෑයි සේනානායක මහතා චෝදනා කළේය. නමුත් මෙම චෝදනාව අමූලික බොරු චෝදනාවක්‌ බව පසුව අනාවරණය විය.

එදා බණ්‌ඩාරනායක මැතිනිය එම චෝදනාව ප්‍රතික්‍ෂේප කර ඕනෑම සාධාරණ පරීක්‍ෂණයකින් එම චෝදනා ඔප්පු කරන්නැයි රජයට අභියෝග කළාය. එවේලෙහි ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු "බිංදුමතී ගෙදර පලයන්" යෑයි පාර්ලිමේන්තුව තුළ මොර දුන්නෝය. එම හැසිරීම අනුමත කළ නොහැකි බව අවබෝධ කර ගත් එවකට කථානායක ආනන්ද තිස්‌ස ද අල්විස්‌ මහතා සභාව කල් තැබීමට සූදානම් වෙත්ම සභා ගැබට පිවිසි එවකට අගමැති ඡේ. ආර්. ජයවර්ධන මහතා සන්සුන් වන ලෙස මන්ත්‍රීවරුන්ට අතින් සංඥා කළේය.

අනතුරුව වසර 2 1/2 කට පසුව 1980 ඔක්‌තෝබර් 16 දින සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාවට ඡන්දය විමසීමේදී එදා යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් තිදෙනකු මෙදා රජයේ ද අමාත්‍යවරුන් ලෙස කටයුතු කරන්නේය. බණ්‌ඩාරනායක මැතිනිය ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරයකු ද අද පාර්ලිමේන්තුවේ සිටින්නේය. ඒ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතාය.

ඒ පූර්විකාවයි

කඩිමුඩියේ කොමිසම පත් කළ අන්දමත් එහි තීරණත් අවසානයේදී වසර 2 1/2 කට පසු 1980 ඔක්‌තෝබර් මස 16 වැනි දින පාර්ලිමේන්තුව බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ අන්දමත් මැනවින් විස්‌තර කෙරෙන පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව දෙසට අපි අවධානය යොමු කරමු.

දිනය 1996 අප්‍රේල් 08 වැනිදාය.

හැන්සාඩ් කොලම 1254

විෂය -

සිරිමාවෝ ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිනිය විෂයෙහි 1980.10.16 දිනැති සම්මතියá නිෂ්ප්‍රභ කිරීම

යෝජනාව ඉදිරිපත් කරමින් අධිකරණ හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ඇමැති මහාචාර්ය ජී. ඇල්. පීරිස්‌ මහතා ඉතා අනුවේදනීය කතාවක්‌ කළේය. 1980 ඔක්‌තෝබර් 16 වැනිදා බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යෙදූ ප්‍රජාතන්ත්‍ර විරෝධී, සදාචාරාත්මක දේශපාලනයට පටහැනි, ද්වේශ සහගත සිද්ධීන් සියල්ල එකින් එක පීරිස්‌ මහතා විස්‌තර කළේය.

කඩිමුඩියේ සම්මත කර ගන්නා ලද රෙගුලාසි, කඩිමුඩියේ සම්මත කර ගන්නා ලද විශේෂ කොමිෂන් ආඥා පනත් සහ කඩිමුඩියේ සම්මත කර ගන්නා ලද දඬුවම් සියල්ල දින වකවානු සහිතව මහාචාර්ය පීරිස්‌ සභාවට පෙන්වා දුන්නේය.

බණ්‌ඩාරනායක මැතිනිය එදා ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තීන්දුවෙන් පසු කළ සමුගැනීමේ ප්‍රකාශය ද අමාත්‍ය පීරිස්‌ සභාගත කළේය.

බණ්‌ඩාරනායක මැතිනිය පවසා සිටියේ ප්‍රජා අයිතිය ඇතිව හෝ නැතිව තමා ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කරන සේවය ජීවිතාන්තය දක්‌වා ඉටු කරන බවය.

මේ හැන්සාඩ් වාර්තා සියල්ල අඩංගු පොතක්‌ අනාගත පරම්පරාව සඳහා සුරක්‍ෂිතව තබා ගැනීම පිණිස මුද්‍රණය කර ජනතාව අතර ප්‍රචලිත කිරීමට විදේශගත ශ්‍රී ලාංකික දේශප්‍රේමී පිරිසක්‌ පියවර ගනිමින් සිටින නිසා මේ අවස්‌ථාවේ ඉහත කී විවාදයට සම්බන්ධ වූ කථිකයන් කළ ප්‍රකාශ කීපයක්‌ පමණක්‌ මේ ලිපියට අඩංගු කරමි.

අමාත්‍ය ජී. ඇල්. පීරිස්‌ මහාචාර්යවරයාගේ දීර්ඝ කතාවෙන් පසු නැගී සිටියේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යි.

වික්‍රමසිංහ මහතා ඉතා කෙටි කතාවක්‌ කළේය. ඔහු කියා සිටියේ බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලද්දේ නීත්‍යනුකූලව කොමිෂන් සභාවක තීන්දුව අනුව බවය. එම නිසා එක්‌සත් ජාතික පක්‍ෂය මේ විවාදයට එක්‌ නොවන බවත්, මේ යෝජනාව ඵල රහිත බවත් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. තම පක්‍ෂය විවාදයට සම්බන්ධ නොවී සභාවෙන් පිට වී යන බව පැවසූ වික්‍රමසිංහ මහතා එක්‌ මන්ත්‍රීවරයෙක්‌ පිළිබඳ විශේෂ ප්‍රකාශයක්‌ කළේය.

අනුර බණ්‌ඩාරනායක මහතා 1980 දී කොමිෂන් සභා තීන්දුවට විරුද්ධව ඡන්දය දුන් නිසා ඒ මහතාට සභාවේ නැවතී නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට පක්‍ෂයේ අවසරය ඇති බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඉන්පසු එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු සභාවෙන් පිටවී ගියහ.

ඉක්‌බිති නැගී සිටියේ ලක්‍ෂ්මන් ජයකොඩි ඇමැතිවරයා ය. ඔහු ද කොමිෂන් සභාව පිහිටුවීමේදී අනුගමනය කළ සදාචාරාත්මක නොවූ ක්‍රියාමාර්ග දැඩිව විවේචනය කළේය.

ජයකොඩි මහතාගෙන් පසු නැගී සිටියේ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ මඩකලපුව දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාය. 1980 ඔක්‌තෝබර් මාසයේ පමණක්‌ නොව ඊට පෙර 1977 අවිනීත බිංදු කතාව සිදුකළ අවස්‌ථාවේ එදා විපක්‍ෂ නායක ධුරය දැරූ ඒ අමිර්තලිංගම් මහතා ඇතුළු දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරු සාධාරණය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ද ඒකාධිපතිත්වයට විරුද්ධවද ක්‍රියා කළ අන්දම ඔහු සභාවට මතක්‌ කර දුන්නේය.

පරරාජසිංහම් මහතාගෙන් පසු නැගී සිටියේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාය. ඒ මහතා ද එදා කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු රාශියක්‌ හෙළි කළේය.

නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් පසු ඉතා සන්සුන්ව සභාව ආමන්ත්‍රණය කළ අමාත්‍ය බර්නාඩ් සොයිසා කඩිමුඩියේ සම්මත කර ගන්නා ලද කොමිෂන් සභා රෙගුලාසි, නීතියට සම්පූර්ණයෙන් පටහැනි බව පෙන්වා දෙමින් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා නිකුත් කළ ප්‍රකාශයන් සභාගත කළේය.

බර්නාඩ් සොයිසා මහතාට පසුව කතා කළ අමාත්‍ය ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතාය නීතිමය කරුණු රාශියක්‌ පෙන්වා දෙමින් එදා පැවැති ඒක පුද්ගල කොමිෂන් සභාව සම්පූර්ණ දේශපාලන බලපෑම්වලට යටත් වූවක්‌ බව ඔහු පෙන්වා දුන්නේය.

ලක්‍ෂ්මන් කදිර්ගාමර් ඇමැතිවරයාගෙන් පසු සභාව ඇමතූ නීලන් තිරුචෙල්වම් මහතා බණ්‌ඩාරනායක මැතිනිය ජාතියට කළ සේවය විස්‌තර කළේය. කිසිම පැකිලීමකින් තොරව යෝජනාවට පක්‍ෂව තමා ඡන්දය දෙන බව ද තිරුචෙල්වම් මහතා ප්‍රකාශ කර සිටියේය.

ඉනික්‌බිතිව සභාව ඇමතූ අමාත්‍ය අෂ්රොµa මහතා ප්‍රශ්න කළේ බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් රට මුදාගෙන ලංකාව ස්‌වෛරී ජනරජයක්‌ කළ නිසාද යන්නයි.

රාජරත්නම් මන්ත්‍රීවරයාගේ දෙමළ කථාවෙන් පසු ඉන්දික ගුණවර්ධන ඇමැතිවරයා තමා කවදත් වැඩ කළේ ප්‍රතිපත්ති ගරුකව සිතට එකඟව බව පවසමින් 1970 දී සිය පියාණන්ට ද විරුද්ධව බණ්‌ඩාරනායක මැතිනියට ආධාර කළ අන්දම විස්‌තර කළේය.

ගුණවර්ධන මහතාට පසු සභාව ඇමතූ ඩී. එම්. එස්‌. බී. දිසානායක ඇමැතිවරයා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපය නිර්දය ලෙස විවේචනය කළේය.

ඩී. සිද්ධාර්ථන් මහතා පැවසුවේ එදා තම දිවංගත පියාණන් වූ ධර්මලිංගම් මන්ත්‍රීවරයා බණ්‌ඩාරනායක මැතිනිය වෙනුවෙන් කළ කතාව ගැන තමා ආඩම්බර වන බවය.

සිංහලෙන් කතා කළ සතාසිවම් මහතා බණ්‌ඩාරනායක මැතිනිය වතු කම්කරුවන් ඇතුළු වැඩ කරන ජනතාව වෙනුවෙන් අර්ථසාධක අරමුදල් ඇති කිරීමට ගත් පියවර සභාවට සිහිකර දුන්නේය. ජී. ඇල් පීරිස්‌ ඇමැතිවරයා කෙටි පිළිතුරු කතාවක්‌ කළේය.

ඉන්පසු ඡන්ද විමසන ලදී. පක්‍ෂ හා විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ නම් මේ වැදගත් අවස්‌ථාවේ වාර්තා කිරීමට අවශ්‍ය යෑයි රිචඩ් පතිරණ ඇමැතිවරයා කළ යෝජනාවට සභාව එකඟ විය. සභාවේ සිටි මන්ත්‍රීවරු 124 දෙනාම යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් අතර බණ්‌ඩාරනායක අගමැතිනිය ඡන්දය දීමෙන් වැළකී සිටියාය.

සංවාද සටහන - ජයසූරිය උඩුකුඹුර

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.