කොටි සහ දෙමළ සන්ධානය
ප්‍රංශයේදී ගහගනිති



සත්‍ය වසන් කළ නොහැකිය. - ප්‍රංශගත්කරු වික්‌ටර් හියුගෝ

යුද අපරාධවලට සම්බන්ධ වූවන් නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා හැකි රෝම සම්මුතිය 2002 ජුලි 1 දා සිට ක්‍රියාත්මක විය.

මෙම රෝම සම්මුතියේ ඇති භයානකකම තේරුම්ගත් හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් ඊට එකඟ වීම ප්‍රතික්‍ෂේප කළේaය. ඒ අනුව එකී රෝම සම්මුතියට අත්සන් කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රතික්‍ෂේප කළාය. මෙකී සම්මුතියට ඇමරිකාව සහ ඉන්දියාව ද අත්සන් කර නැත. මේ පසුබිම මැද පසුගිය සැප්තැම්බර් 30 දා ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවෙන් නිර්දේශ කළේ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතිය වහාම අත්සන් කළ යුතු බවයි.

ස්‌විස්‌ටර්ලන්තය සහ එස්‌ටෝනියාවද ඊට දායකවෙමින් ශ්‍රී ලංකාව බිල්ලට දීමට උත්සාහ කළේය.



මේ පසුබිම මැද පසුගිය සඳුදා රජයේ රූපවාහිනිය සහ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්‌වී ජිනීවා යෝජනාවෙන් පසු යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක්‌ පවත්වනු ලැබිය. මේ සම්මන්ත්‍රණයට සහභාගි වූ කිසිවෙක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සිටියේ නැත. එහෙත් ජිනීවා යෝජනාව ඉදිරිපත් වීමට පෙරත් එය සභාගත කිරීමෙන් පසුත් මානව හිමිකම් කවුන්සිලයේ රැඳී සිටි අපට එහි සිදුවූ සියලු තක්‌කඩි ක්‍රියා සියෑසින් දැන ගැනීමට හැකි විය.

මේ තත්ත්වය මැද මෙකී සම්මන්ත්‍රණයට සහභාගි වූ විදේශ අරමුදල් ලබන ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා රජය ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතිය අත්සන් කළ යුතු යෑයි කියා සිටියේය. රජය සමග දැඩි සබඳකම් පවත්වන මොහු එම ඉල්ලීම කළත් රජයේ ස්‌ථාවරය එය නොවුණි. ඔහු මේ බරපතළ ප්‍රකාශය කරන අවස්‌ථාවේ නියෝජ්‍ය විදේශ ඇමැතිවරයා ද විය.

ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ප්‍රධානියා මෙම ඉල්ලීම කළත් ඔහු මන්ත්‍රීවරයකු හෝ රජයේ නියෝජිතයකු නොවේ. එසේම ඔහු ජනතාව නියෝජනය කරන්නේ නැත. ඔහුට රජයේ ආයතනයකට පැමිණ එවන් ප්‍රකාශයක්‌ කිරීමට ඉඩ දීමද අවාසනාවන්ත තත්ත්වයකි. එසේම ජිනීවා යෝජනාවට අදාළ දේශිය යාන්ත්‍රණය සඳහා විදේශ සහභාගීත්වයක්‌ තිබෙන බවටද හෙතෙම තහවුරු කරනු ලැබීය. මෙලෙස විදේශ සහභාගීත්වයට මගපෑදීම සඳහා පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය සංශෝධන සම්මත කළ යුතු බව ද ඔහු පළ කළේය.

එසේම හයිබ්‍රිඩ් අධිකරණය වඩා හොඳ ක්‍රියාමාර්ගයක්‌ බව ද ට්‍රාන්ස්‌පේරන්ස්‌ ඉන්ටර්නැෂනල් ප්‍රධානියා කියා සිටියේය. රජය වෙනුවෙන් මේ ප්‍රකාශ කිරීමට මොහු කවුද? මේ හැර එලල වී ඇති චෝදනා ගැන හමුදාව ප්‍රතිචාර දැක්‌විය යුතුව තිබූ බවද පළ කළ ඔහු වෙඩි තැබීම සඳහා නියෝග දුන්නේ කවුරුන්ද යන්න ගැනද විමර්ශනය කළ යුතු බව කීවේය.

එකී රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියා පසුගිය රජය විදේශ විනිසුරුවන්ට වීසාදීම ප්‍රතික්‍ෂේප කර ජාත්‍යන්තර නීතිරීතිවලට පටහැනිව ක්‍රියා කළ බව ද සඳහන් කළේය.

ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ප්‍රධානියා මෙලෙස ජාත්‍යන්තර අධිකරණයට සම්බන්ධ රෝම සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් කළ යුතු යෑයි රජයේම ආයතනයක සිට පවසද්දී දකුණු අප්‍රිකාව එකී රෝම සම්මුතියෙන් ඉවත්වීමට තීරණය කර තිබිණි.

මෙහිදී නැගෙන බරපතල ප්‍රශ්නය නම් විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන සංවිධානයක ප්‍රධානියකුට රටේ ජාතික ආරක්‍ෂක ක්‍රියාදාමයට මැදිහත්වීමට ඉඩ ලැබීමයි.

මොහු එකී ඉල්ලීම කිරීමට පෙර අගෝස්‌තු 31 වැනිදා බ්‍රිතාන්‍යයේ ප්‍රීඩම් පෝ ටෝචර් සංවිධානය මානව හිමිකම් කොමසාරිස්‌ වෙත හදිසි සන්දේශයක්‌ යෑවීය. ඕස්‌ටේ්‍රලියාවේ ගී්‍රන් පක්‍ෂය ද ඊට දායක විය. මේ සන්දේශයෙන් කියෑවුණේ ශ්‍රී ලංකාවට රෝම සම්මුතියට අත්සන් කරන ලෙස නිර්දේශ කරන ලෙසයි. හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ ලුවිසේ ආබර් ද ඊට සම්බන්ධ විය.

මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාවේ එක්‌ නිර්දේශයක්‌ වූයේද ශ්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන්a කළ යුතුයි යන්නයි. එසේම ජිනීවා පරීක්‍ෂණ වාර්තාවේ දැක්‌වෙන්නේ චෝදනා ලැබූවන්a ගැන තමන්ට ලැයිස්‌තුවක්‌ ලැබී ඇති බවයි.

යම් ලෙසකින් රෝම සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් කර තිබුණා නම් මානව හිමිකම් කවුන්සිලය එකී ලැයිස්‌තුව ජාත්‍යන්තර අධිකරණයට යවා වරෙන්තු ප්‍රකාශ කිරීමට ක්‍රියාකරනු නියතය.

ඊට මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 38 ක්‌ ම සහය දක්‌වනු ඇත. එය සනාථ වන්නේ සුඩාන ජනාධිපති බෂිර් ඔමාර් අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අධිකරණයට බාර දෙන ලෙස මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 38 ක්‌ දකුණු අප්‍රිකානු රජයෙන් ඉල්ලා සිටීමයි.

එහෙත් දකුණු අප්‍රිකානු රජය එම ඉල්ලීම ඉටු කළේ නැත. මේ පසුබිම මැද මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් දියත් කර ඇති භයානක ක්‍රියාදාමය පැහැදිලි වී තිබේ. එය සනාථ වන්නේ ජිනීවා යෝජනාව නමැති ජනතාව දැනුවත් කිරීමේ මුවාවෙන් රාජ්‍ය නොවන සංවිධාන දියත් කර ඇති ක්‍රියාදාමයයි. මේ ජිනීවා චෝදනාවෙන් සිදුවී ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ R2ච නමැති ප්‍රඥප්තිය මෙරටට යොමු කිරීමයි. එකී R2ච නමැති එක්‌සත් ජාතීන්ගේ සංකල්පය නම් යම් රටක පුරවැසියන්ව රැකීමට රජයට නොහැකිනම් එක්‌සත්a ජාතීන්ට ඊට මැදිහත් වීමට ඉඩ ලැබීමයි.

මෙකී සංකල්පය මත කොළඹ වාර්ගික අධ්‍යයන ආයතනයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කල රාමා මානී වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක්‌ ගත්තාය. ඒ බව හෙළි වීම නිසා ආරක්‍ෂක අමාත්‍යාංශය ඇයව පිටුවහල් කළේය. එහෙත් 2015 ඔක්‌තෝබර් 1 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී සම්මත වූ යෝජනාවෙන් R2ච නමැති සංකල්පය මෙරටට යොමු විණි. එම යෝජනාවට මුල් වූයේ මානව හිමිකම් කොමසාරිස්‌ විසින් ඉදිරිපත් කළ පිටු 261 ක වාර්තාවයි.

මේ අතර බ්‍රිතාන්‍ය විදේශ ඇමැති හියුගෝ ස්‌විරේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද්‍රවිඩයන් සඳහා වූ කණ්‌ඩායම් වෙත සන්දේශයක්‌ යවමින් ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත්‍රණය සඳහා පොදුරාජ්‍ය මණ්‌ඩලයේ සහ විදේශ විනිසුරුවන් අවශ්‍ය බව බ්‍රිතාන්‍ය රජය අවධාරණය කර ඇතැයි පළ කළේය.

ඔහු තවදුරටත් පැවසුවේ ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කළ අයවලුන් ට දඬුවම් කළ යුතු බවයි.

මෙවන් වාතාවරණයක්‌ මත ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයේ වාර්තාව මෙරට සිදුවූ ඝාතන රැසක්‌ වසන් කර ඇත. අපි මෙම පිටු 261 ක වාර්තාව සම්පූර්ණයෙන් ම අධ්‍යයනය කළෙමු. එහි කිසිතැනක පහත දැක්‌වෙන ඝාතන සඳහන් කර නැත. ජනතාවගේ දැන ගැනීම උදෙසා අපි එම ඝාතන හෙළි කරන්නෙමු.

1. 2004 ඔක්‌තෝබර් 19 වැනිදා මඩකලපු මන්ත්‍රී කිංස්‌ලි රාසනායගම් ඝාතනය

2. දෙහිවල ත්‍රස්‌ත මර්දන ඒකකයේ ප්‍රධානි පොලිස්‌ පරීක්‍ෂක තාබෲ ඝාතනය

3. ගල්කිස්‌ස පොලිසියේ ත්‍රස්‌ත මර්දන ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම් ඝාතනය

4. ත්‍රස්‌ත මර්දන ඒකකයේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දීන් ඝාතනය කිරීමට උත්සාහ කිරීම.

5. වැල්ලවත්තේදී රූපවාහිනී නිෂ්පාදිකා රුලනගි සෙල්වරාජා හා ඇගේ සැමියා ඝාතනය වීම.

හිටපු ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරුන් වූ ජෝශප් පරරාජසිංහම් හා රවි රා- ඝාතන ගැන ජිනීවා පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් ඇතත් ඉහත කී ඝාතන වසන් වූයේ ඇයි? මෙරට රාජ්‍ය නොවන සංවිධානය එකී ඝාතන සහ ඝාතන ප්‍රයත්න ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයට වාර්තා නොකළේ එකී සිදුවීම්වලට කොටි සංවිධානය සම්බන්ධ නිසාය.

එසේම ජිනීවා පරීක්‍ෂණ වාර්තාවේ කරුණා කණ්‌ඩායම ගැන සඳහන් කර ඇතත් කොටි සංවිධානයේ නියෝජිතයන් ලෙස කටයුතු කළ ද්‍රවිඩ සංධානය ගැන වචනයක්‌වත් සඳහන් වී නැත.

එසේම ජිනීවා වාර්තාවෙන් ඉතා සූක්‍ෂම ලෙස කපටිකමක්‌ කර ඇත. ඒ ශ්‍රී ලංකා ආරක්‍ෂක ව්‍යqහයේ ප්‍රධානීන්ගේ නම් සටහන් කිරීමයි. වන්නි මෙහෙයුමේ අණ දෙන නිලධාරීන් මෙන්ම බුද්ධි අංශය ත්‍රස්‌ත මර්දන ඒකකය, විශේෂ කාර්ය බළකාය ඇතුළු අංශ බාරව සිටි ආරක්‍ෂක ප්‍රධානීන්ගේ නම් හෙළි කර ඇත.

එලෙස නම් සඳහන් කිරීමේ සැබෑ අර්ථය තේරුම් ගත හැකිය.

මේ හැර පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් කර ඇති කරුණු අතරමැදියන් සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් සැපයූ තොරතුරු බවට සාක්‍ෂි අපි හෙළි කරන්නෙමු.

ශ්‍රී ලංකා හමුදාව යුද මුක්‌ත කලාපයට ෂෙල් ප්‍රහාර එල්ල කර ද්‍රවිඩ ජනතාවට මානුෂීය ආධාර අත්හිටවූ බවට චෝදනා කළේ චැනල් 4 රූපවාහිනියේ කැලම් මැක්‌රේයි. මැක්‌රේ පසුගිය සැප්තැම්බර් මස එම ප්‍රකාශය ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයට ලබා දී තිබුණි.

ඔහුගේ ප්‍රකාශය පරීක්‍ෂණ මණ්‌ඩලය පිළිගෙන පරීක්‍ෂණ වාර්තාවට ඇතුළත් කර තිබිණි.

මේ අතර ජිනීවා ගිය ද්‍රවිඩ දේශපාලන කණ්‌ඩායම පැරිසියට ද ගොස්‌ කොටි අරමුදල් එකතු කරන්නන්ගේ රාජධානිය වූ පැරිසියේ ලා ශැලේ වීදියේ ඉන්දිරා හෝටලයේදී රැස්‌වීමක්‌ පැවැත්වූහ. මෙම රැස්‌වීමට ටෙලෝ සංවිධානයේ සෙල්වම් අඩෙයිකලානන්දන් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම්, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් නොහොත් ජනා මන්ත්‍රී ආරියනායගම් කොඩිස්‌වරන් නොහොත් රොබින්සන් තමිල් අරසු කච්චි නායක මාවයි සේනාධිරාජා සහ එස්‌. ශ්‍රීදරන් ද සහභාගි වී ඇත.

මෙම රැස්‌වීමට කඩාවැදුණු හතළිහකට අධික ඊළම්වාදීන් පිරිසක්‌ දේශීය යාන්ත්‍රණයට සහය දැක්‌වූයේ මන්දැයි කෝපාවිෂ්ටව ප්‍රශ්න කර තිබේ.

ලා ශැලේ වීදිය අරක්‌ගත් ඊළාම්වාදී ජනා නමැත්තා දැකීමෙන් කුපිත වී නැගෙනහිර කොටි වැනසීමට ඔහු දායක වී ඇතැයි චෝදනා කර ඇත.

ජනාව බේරා ගැනීම සඳහා සෙල්වම් අඩෙයිකලානන්දන් සහ ශ්‍රීධරන් එක්‌වී භේද අත්හැර ද්‍රවිඩ සංධානය ස්‌ථාපිත කරන ලද්දේ ප්‍රභාකරන් බව සඳහන් කර ඇත.

එසේම ජිනිවාහීදී සම්මත වූ යෝජනාව ද්‍රවිඩයන්ට එරෙහි වූවක්‌ නොවන අතර ශ්‍රී ලංකා රජයට පක්‍ෂ වූවක්‌ නොවන බවත්, ද්‍රවිඩ මන්ත්‍රී කණ්‌ඩායම තවදුරටත් සඳහන් කළත් ලා ශැලේ ඊළම් කණ්‌ඩායම එම ප්‍රකාශ පිළිගෙන නැත.

අවසානයේදී ප්‍රංශ පොලිසිය කඳුළුගෑස්‌ ප්‍රහාර එල්ල කර ද්‍රවිඩ මන්ත්‍රී කණ්‌ඩායම බේරා ගෙන තිබේ.

මෙම ඊළම්වාදීන් ජනා ට පහර දීමට ද උත්සාහ කර ඇතැයි ලා ශැලේ ආරංචි මාර්ග හෙළි කළේය.

පුංචි යාපනය හෙවත් ලිට්‌ල් ජැµaනා වීදියේ මෙම කළබලය කොටි වෙබ් අඩවි විසින් වසන් කරනු ලැබීය. මෙයට පෙර ජනා නමැත්තා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සිටියේ නැත. ඔහු මානව හිමිකම් කවුන්සිලයේ අවන්හලේ හැසිරුණේ අරාබි ජාතිකයකු ලෙසය.

පැරිසියේදී කලබලකාරී තත්ත්වයක්‌ ඇති කළ ඊළාම්වාදීන්ගේ චෝදනාව වූයේ ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ගේ විදේශ චාරිකාවලට අරමුදල් වැය කරන්නේ ද්‍රවිඩ ඩයස්‌පෝරාව බවත් ඔවුන්ගේ න්‍යාය පත්‍රයට එරෙහිව එකී මන්ත්‍රීවරු ක්‍රියා කරන බවත් ය. එය සනාථ වූයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාව තුළ ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ඊළාම් කවුන්සිලය පැවැත්වූ රැස්‌වීමට එකී මන්ත්‍රීවරු සහභාගී වීමයි. මේ අතර ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයේ තක්‌කඩි ක්‍රියා සනාථ කිරීමට අපට හැකි වී ඇත.

මෙවර මානව හිමිකම් සැසිවාරය ඇමතූ ගෝලීය සංසදයේ එමානුවෙල් දේවගැති ඒ සඳහා යොදාගත්තේ ලිබරේෂන් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ නාමයයි. මෙය පුදුමයක්‌ නොවේ. බ්‍රිතාන්‍යයේ ලිබරල් පක්‍ෂයේ නව නායක ජෙරමි කොර්බින්ද ලේබරේෂන් සංවිධානය හරහා ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සැසිවාරය ඇමැතීමට කළ ඉල්ලීමට එක්‌සත් ජාතීන්ගේ රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයේ දේශපාලන කටයුතු අංශයේ අවසර දී තිබිණි. ඊට අදාළ සාක්‍ෂි අපට ලැබී ඇත.

මේ පසුබිම මැද හිටපු ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් රජයේ යාන්ත්‍රණය සම්බන්ධව අධීක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීම උතුරු පළාත් ඇමැති විග්නේශ්වරන්ට භාර කර ඇතැයි පළ කළේය.

මේ තත්ත්වය මත විග්නේශ්වරන් දැන් අත්අඩංගුවේ සිටින බිහිසුණු කොටි ත්‍රස්‌තවාදීන් 200 කට අධික සංඛ්‍යාවක්‌ මුදා ගැනීමට උත්සාහ කර ඇත.

මෙලෙස බන්ධනාගාරගතව සිටින්නේ ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම නාවික යාත්‍රා විනාශ කිරීම මායිම් ගම්මානවල සිවිල් වැසියන් විනාශ කිරීම සහ මගී බස්‌ රථ විනාශ කිරීම ඇතුළු බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධ පිරිස්‌ය.

මේ අතර ජිනීවා පරීක්‍ෂණ වාර්තාවට මූලාශ්‍ර ලෙස ලබා ගෙන ඇත්තේ විද්යුත් ලිපි 1985 ක්‌ සහ තැපෑලෙන් ලත් ලිපි 1197 ක්‌ ඇතුළු සාක්‍ෂි 3000 කි . රහස්‌ පොලිසියේ රහස්‍ය වාර්තා ද තමන් දුටු බව ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය කියා සිටී. මේ පසුබිම මැද ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන් කොළඹ ද්‍රවිඩ පුවත්පතකට ප්‍රකාශයක්‌ කරමින් රජය හයිබ්‍රිඩ් අධිකරණයක්‌ පිහිටුවීමට එකඟවී ඇති බව කියා සිටියේය.

ජිනීවා යෝජනාව මගින් හයිබ්‍රිඩ් අධිකරණයත් යෝජනා කර තිබෙනවා. එය පැහැදිලිය. විදේශ විනිසුරුවන්ව සෘජුව පත් කරනවා යෑයි ඔවුන් පළ කළේය.

කැනඩාවේ කොටි ජාලයේ ප්‍රධානියකු වූ මානික්‌කවාසගර් සුරේශ් නමැත්තා ද ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස කැනඩා අධිකරණය මේ සතියේදී නියෝග කර ඇත. ලෝක ද්‍රවිඩ සංවිධානය නමැති කොටි හිතවාදී සංවිධානයේ නායකයා ලෙස ක්‍රියා කළ සුරේශ් ප්‍රභාකරන්ට අවි ආයුධ මිලදී ගැනීමට ඩොලර් මිලියන 100 ක අරමුදලක්‌ එකතු කර ඇතැයි කැනඩා රහස්‌ පොලිසිය රජයට දැනුම් දී තිබිණි.

- කීර්ති වර්ණකුලසූරිය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.