ඔව්! කෘෂිකර්මය අනතුරේය!

කෘෂිකර්මය අනතුරේද? ඔව්. කෘෂිකර්මය අනතුරේය. වී, රබර්, තේ යන ප්‍රධාන බෝaග තුනම අනතුරේය.

වී වගාව අනතුරට පත්ව ඇත්තේ නිසි මිලට වී මිලදී ගැනීමට ආණ්‌ඩුවට බැරිවීම නිසාය. රබර් වගාව අනතුරට පත්ව ඇත්තේ කෘත්‍රිම රබර් ඉතාම ලාභදායක නිසා ලෝක වෙළෙඳපොළේ ස්‌වභාවික රබර්වලට ඇති ඉල්ලුම පහත වැටීම නිසාය. තේ වලට නම් සිදුවී ඇත්තේ සුද්දා පූරුවේ කළ කරුමයක්‌ අපට පඩිසන් දීමකි. අරාබිකරයේ පවතින යුද්ධය නිසා ඒ රටවල ජනයාට තේ බොන්නට තබා වතුර බොන්නටවත් ඉස්‌පාසුවක්‌ නැත. ඒ නිසා තේ විකිණෙන්නේත් නැත. ඒ මදිවට යුරෝපාකරයේ පවතින අතිමහත්වූ ආර්ථික අවුල නිසා එහි ජනයා තේ බොන්නේද සීමා සහිතවය. මේ සියලු කරුණු නිසා අවුරුද්දකට විතර ඉස්‌සර රුපියල් හැත්තෑව දක්‌වා ඉහළ මිලකට අලෙවි වන තේ දළු කිලෝව අද රුපියල් හතළිහකටවත් විකුණා ගැනීමට බැරිය.

අපේ රටේ කෘෂිකර්මයට වී ඇති නස්‌පැත්තියෙන් ඉතා ස්‌වල්පයක්‌ ඉහත ඡේදයන් විස්‌තර කර තිබේ. එහෙත් මේ මිල අර්බුදයේ වාසියත් කිසිදු විටෙක ජනතාවට භුක්‌ති විඳීමට නොලැබේ. අමු තේ දළු කිලෝව රුපියල් පහට බැස්‌සත් අපට තේ බොන්නට සිදුව ඇත්තේ කිලෝව රුපියල් 1000 ට මිලට ගෙනය. වී කිලෝව රුපියල් පහට බැස්‌සද අන්තිම බාල සහල් කිලෝව පවා රුපියල් හැත්තෑවකි. මේ කතන්දරය එතැනින් නොනවතී. හරකුන්ට කෑමට දෙන තණකොළද මිටිය රුපියල් හතළිහකි.

ශ්‍රී ලංකාවේ සහල් කර්මාන්තය අතීතයේදී ඉතා සශ්‍රීක ව්‍යාපාරයකි. මේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත් වන බැවින් රටේ පුළු පුළුවන් හැම තැනකම කුඹුරු කරන ලදී. එහෙත් යුරෝපීය ආක්‍රමණයෙන් පසු බත් වෙනුවට පාන් ආදේශ කරන ලද නිසා කුඹුරු පාළු විය. ගොවි ජනයාගේ දරුවන් ලියන මහත්වරුන් වූ නිසා ගොවිකම නන්නත්තාර විය. මේ සියලු කරදර නිසා අද වනවිට වී කර්මාන්තය ඉතා සීමාසහිත තත්ත්වයට පත්වී තිබේ. අද නන්නත්තාර බවට පත්ව සිටින වී ගොවියා වූ කලී ඉහත සඳහන් කුඩා සීමාව තුළ ඉතිරිවී සිටින ජාතික වස්‌තුවක්‌ වැනි පිරිසකි.

වී ගොවියා යනු වැඩිපුර වැස්‌සත්, වැඩිපුර පෑව්වත් අනාථභාවයට පත්වන කෙනෙකි. ඔහුගේ වෘත්තීය ඉතා සංවේදීය. ඉහත සඳහන් කරදර දෙකට අමතරව අපේ වී ගොවියා අද දුක්‌ විඳින්නේ පෞද්ගලික වී වෙළෙඳුන්ගේ නීච ක්‍රියාකලාපය සහ වී අලෙවි මණ්‌ඩලයේ ගොන් වැඩ නිසාය. වී අලෙවි මණ්‌ඩලය නිසි කලට නිසි මිලට ගොවීන්ගේ වී මිලට නොගනී. ඒ නිසා පෞද්ගලික වෙළෙඳුන් ද ගමට පැමිණ ඉතා අඩු හිඟන මිලට ගොවියාගෙන් වී ගනී. අන්තිමට ලැබෙන ආදායමින් වගා ණය පවා ගෙවා ගැනීමට බැරිවන ගොවියා වස බොයි. ඔන්න ඕකයි මිත්‍රවරුනි ඇත්ත කතාව.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.