දේශීය යාන්ත්‍රණය පිළිගැනීම ඇමෙරිකාවට යටවීමක්‌ද?



ජිනීවා යෝජනාව පිළිගත් මේ රජය ශ්‍රී ලංකාවේ ස්‌වාධිපත්‍යය හා ස්‌වාධීනත්වය ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී වුවමනාවට යටත් කර තිබෙන බවට ඒකාබද්ධ විපක්‍ෂයෙන් අධි චෝදනාවක්‌ ඉදිරිපත් වී තිබේ. ජිනීවා ව්‍යාපෘතියට මුවා වී ඇමෙරිකන් අධිරාජ්‍යවාදයේ බූවල්ලා එන බව ඇතැම් දේශපාලන විචාරකයෝ ද පුන පුනා කියති. එහෙත් ආණ්‌ඩුව ප්‍රකාශ කරන්නේ ජිනීවා යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ මේ රටේ ස්‌වාධීනත්වය හා ස්‌වෛරීත්වයට අබැටක තරම්වත් බලපෑමක්‌ නොකරන පදනමක්‌ මත බවය. ආණ්‌ඩුව ජනතාව පාවා නොදෙන බවය.

ආණ්‌ඩුවත් ඒකාබද්ධ විපක්‍ෂයත් මෙලෙස දෙපසට වී විවාද කරද්දී ජනතාව ද විශ්මයෙන් බලා සිටිති. එමතු නොව මෙම 19 වැනිදා විපක්‍ෂය විසින් දියත් කරනු ලබන මෙහෙයුම කුමක්‌ ද යන්න පිළිබඳව ද ඔවුහු කුහුලින් බලා සිටිති. සැබැවින්ම මේ විවාදයේ පරමාර්ථය කුමක්‌ද? ආණ්‌ඩුවට ඒa සැකය, ඒ භීතිය නැති කිරීම සඳහා ශක්‌තියක්‌ නැද්ද?

තිස්‌ වසරක බිහිසුණු යුද්ධයක නිමාවත් සමඟම මේ රටට එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනාව බරපතල එකකි. මේ යුද අපරාධ චෝදනාවෙන් නිදහස්‌ වීමට අප අසමත් වීම නිසා බටහිර රටවලින් මෙන්ම අප ද සාමාජිකත්වය දරන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මේ රටට ඇති කළ පීඩනය ද සුළු පටු නැත.

දේශපාලන වශයෙන් රට තුළ සිදු වූ වෙනසත් සමඟ බටහිර ආකල්ප මෙන්ම ජිනීවා මානව හිමිකම් කොමිසමේ ප්‍රතිචාර ද වෙනස්‌ වූ බව ඇත්තය. යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් නිදහස්‌ වීමට මහින්ද රාජපක්‍ෂ පාලන සමය තුළ කිසිදු පියවරක්‌ නොගැනීම අපගේ අවාසියට හේතු වූ බව ද පිළිගත යුතුය.

ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය පරාජය කිරීම සඳහා අප ක්‍රියා කිරීම වරදක්‌ නොවේ. යුද්ධයක්‌ කිරීම සාධාරණ වුවත් ඒ යුද්ධයේදී අපරාධ සිදු වී තිබේ නම් ඒවාට වගවිය යුතුය යන ජගත් එකඟතාවට අපිදු රටක්‌ ලෙස බැඳී සිටිමු. මේ රටේ සාමය හා සංහිඳියාව ඇති කිරීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කරදර වන්නේ ඇයිද යන සැකය අපගේ හිස තුළ වධ දෙන සාධාරණ එකකි.

ඉතිහාසය මුළුල්ලේම මානව සංහතියේ සහජීවනයට බාධා කිරීම පිළිබඳ අපකීර්තිමත් චෝදනා පත්‍රයක්‌ සහිත බටහිර අධිරාජ්‍යවාදය අප නුරුස්‌සන බවය සැබෑය. ඇමෙරිකාව යනු රටවල් ආක්‍රමණය කිරීම පිළිබඳ කුප්‍රකට කීර්තියක්‌ සහිත රාජ්‍යයකි. ඇමෙරිකාවේ නිර්දයභාවය හෙළි කළ සිදුවීම් අතර ගල්µa යුද්ධය ප්‍රකටය. එහිදී පසුබසින ඉරාක සෙබළුන් දෙලක්‍ෂයක්‌ පමණ ඝාතනය කළ බව ද කියති.

රුවන්ඩාවේ ජනාධිපතිවරයා මෙන්ම ඉරාකයේ සදාම් හුසේන් ද කුරිරු ලෙස ඝාතනය කළ රටක්‌ ලෙස ඇමෙරිකාව ලෝක අපවාදයට ද පාත්‍රව සිටියි. මේ නොබෝදා ඇමෙරිකාව විසින් ඇµaගන් කුන්දුස්‌ රෝහලට එල්ල කරන ලද ප්‍රහාරය යුද අපරාධයක්‌ බව ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් හුසේන් කියා සිටියේය. එහෙත් මේ ප්‍රහාරය ගැන ඇමෙරිකාව කලබල වූයේ නැත. ජනාධිපති බැරක්‌ ඔබාමා එයට ප්‍රතිචාර දැක්‌වූයේ 'කනගාටුයි' කියමින් ය.

මේ කිසිවක්‌ ඇමෙරිකාව අධෝ වාතයක්‌ තරමටවත් ගණන් නොගැනීම ගැන අපට කේන්තියක්‌ තිබේ. එහෙත් අපට කළ හැකි දේ කුමක්‌ද? බ්‍රිතාන්‍ය රජයටත් ලේ වැකුණු දුෂ්ට ඝාතන ඉතිහාසයක්‌ තිබෙන බව රහසක්‌ නොවේ. එහෙත් ඔවුන්ගේ කඳවුරු ශක්‌තිමත් එකක්‌ පමණක්‌ නොව තුන්වැනි ලෝකයට නොයෙක්‌ බලපෑම් කළ හැකි එකක්‌ ද වේ. ආසියාවේ බොහෝ රටවල්වලට මේ බලවතුන්ගේ පීඩනය එල්ල වූ බව ද සැබෑවකි.

අපගේ නොබැඳුණු විදේශ පිළිවෙත හෝ අප කෙරෙහි තිබෙන සංස්‌කෘතික අභිමානය හෝ නොතකා මේ රටවල් සමඟ මිත්‍රශීලීව කටයුතු කිරීමට අපට සිදු වී තිබේ. නිතර වෙනස්‌ වන ලෝකයක අපට හුදෙකලා වී සිටිය හැකිද? අලුත් ශිෂ්ටාචාරයේ ගඟ ගලන බව අප තේරුම් ගත යුතුය. එහෙත් ඒ ගඟට අපේ නිදහස, අභිමානය විසිකර දමා නිවටයන් ලෙස ජීවත් විය යුතු නැත. සාමය හා සහජීවනය අපට උගන්වන දුෂ්ට, අපරාධකාර ගුරුවරුන්ගෙන් ඉගෙන ගැනීමට අපට සිදුවීම සරදමක්‌ වැන්න.

ශ්‍රී ලංකාව කුඩා රටක්‌ වුවත්, දුර්වල හා දුප්පත් රටක්‌ වුවත් ජගත් සංවිධානයක සාමාජිකයකු ලෙස අපගේ සේවය හා හිමිකම් මැන බලද්දී අපට ද ස්‌වාධීනත්වයක්‌ තිබෙන බව මේ බලවතුන්ට සිහිපත් කළ යුතු බව එදා අගමැති බණ්‌ඩාරනායක මහතා විසින් ද අවධාරණය කරන ලදී.

එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව ද සාමාජික රටවල් සඳහා ක්‍රියා කරන පිළිවෙළක්‌ ඇත. ඒ අනුව රටක අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් කළ නොහැක. ජාතීන්ගේ ස්‌වාධීනත්වය හා ස්‌වාධිපත්‍යයට එරෙහිව ක්‍රියා කිරීමට ඔවුන්ට අයිතියක්‌ ද නැත. ඒවා සැබෑ වුවද මේ බලවතුන්ගේ ක්‍රියාකාරකම්වල හිතුවක්‌කාර ප්‍රතිචාර ද තිබේ.

ඇමෙරිකාව විශ්වාස කළ නොහැකි නපුරු යක්‍ෂයෙක්‌ වුවත්, අප අද සිටින තත්ත්වය අනුව බලන විට ද අපට සිදුවන්නේ පළමුව මේ චෝදනාවලින් නිදහස්‌ වීමය. ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාව මත අධිරාජ්‍යවාදී සටන් පාඨ කී පමණින් අපට හිමිවන සුගතියක්‌ ද නැත. අපට එරෙහිව ජිනීවාවල දිගින් දිගටම නැගුණු චෝදනාවලින් නිදහස්‌ වීම විනා මුරණ්‌ඩු ප්‍රතිචාරවලින් අපට යහපතක්‌ සිදු නොවන බව ද තේරුම් ගත යුතුය. දණින් වැටී ජීවත්වීමට වඩා දෙපයින් සිට මියයැම උතුම් යෑයි අපගේ තරුණ සිත්වලට කාන්දු කළ ජවිපෙ පවා ඒ සටන්පාඨය ඒ අයුරින් ම ක්‍රියාවට නැංවිය නොහැකි බව අද වටහා ගෙන සිටියි. අපි ඉතිහාසයෙන් උගනිමු. ප්‍රඥාවෙන් ප්‍රශ්න විසඳමු. ලිහිල් විය යුතු තැන්වලදී ලිහිල් වෙමු. දැඩි විය යුතු තැන්වලදී දැඩි වෙමු. පැණසර පිළිවෙත එය නොවේද?

ඉකුත් යුද ක්‍රියාවලියේදී ඇමෙරිකාව හා ඉන්දියාව ද අපට උපකාර කළ රටවල් ය. එල්.ටී.ටී.ඊ. යට මේ රටවල් දෙකම යටින් ආධාර කළ බව ද අපි දනිමු. එහෙත් කොටි නැව් විනාශ කිරීමට ඇමෙරිකාව අපට සහාය දී ඇත. යුද්ධයේ අවසාන අදියරේදී ප්‍රභාකරන් ඉල්ලා සිටි මිසයිල ලබාදීමට ඇමෙරිකාව එකඟ වූයේ ද නැත. ඔවුන්ගේ ඒ ක්‍රියාවල සැඟවුණු ගුප්ත අරමුණු තිබෙන්නට ද ඇත. ප්‍රභාකරන් තිස්‌ වසරක්‌ උතුරේÊබලවත්ව සිටියේ තනි ශක්‌තියකින් නොවේ. ඔහුට බටහිර ආධාර උපකාර ලැබිණි. එහෙත් ඔහු පරාජය කිරීමට ද අපට ඒ රටවලින් අනුබල ලැබී තිබිණි.

යුද්ධය නිම වීමෙන් පසු අප යුද ජයග්‍රහණය සැමරීමට යොමු වූවා මිස ඒ යුද පීඩනය ලද ජනතාවගේ කඳුළ පිසදැමීමට යොමු නොවීම වරදක්‌ බව අප වටහා ගත යුතුය. යුද ගැටුමකදී සිදුවන මරණයට වගකිව යුතු නැති වුවත් සාමාන්‍ය සිවිල් වැසියන් ඝාතනය වූයේ නම් එයට වගකිව යුතු නොවේද? යුද මෙහෙයුම් අතර කාන්තාවන් දූෂණය කළ බව සැබෑවක්‌ නම් ඒ අපරාධ කළ අයට දඬුවම් දීම වරදක්‌ ද?

1971 දී ප්‍රේමවතී මනම්පේරි දූෂණය කළ අයට සිදු වූයේ කුමක්‌ද? අපි එහිදී යුක්‌තිය ඉටු කර පෙන්වීමු. එහෙත් මේ රටේ නීතිය වල් වැදී ඝාතනය, භීෂණය ඉහ වහා යද්දී එයට එරෙහිව ගත් ක්‍රියාමාර්ග තිබේද?. කොටි සංවිධානයේ නායකයන් ආණ්‌ඩුවට හවුල්කර ගෙන ඔවුන් විසින් කරන ලද ඝාතන අමතක කිරීම ද වරදකි. එදා නැඟෙනහිරදී අහිංසක පොලිස්‌ නිලධාරීන් අමු අමුවේ ඝාතනය කළ අය සිටිත් නම් ඒවාද රටට අනාවරණය විය යුතුය.

මෙම අභ්‍යන්තර පරීක්‍ෂණයේ අරමුණ එබඳු දේවල් තහවුරු ලෙස දැන ගැනීමත්, අසාධාරණයට ලක්‌ව සිටින අයගේ අයිතිය ආරක්‍ෂා කිරීමත් බව ප්‍රකාශ වී තිබේ නම් අපි විමසිලිමත්ව බලා සිටිමු. සාමය හා සංහිඳියාව සඳහා අප අතින් වූ වැරදි භාර ගැනීම ලැඡ්ජාවක්‌ නොව ශිෂ්ට පිළිවෙතකි. අපේ අධිකරණ පද්ධතිය දූෂිත බවට නැඟෙන චෝදනා සැබෑ නම් ඒවා යථා තත්ත්වයට පත් කර ගැනීම වරදක්‌ද?

ජාත්‍යන්තර අධිකරණය හෝ ඇමරිකාවේ යෝජනා ගැන හෝ උදම් ඇනීම වෙනුවට ඒවා පිළිබඳව විවේචන කරන අයගේ සැක දුරු කිරීමට ආණ්‌ඩුව ද ක්‍රියා කළ යුතුය. විපක්‍ෂය කියන ආකාරයට ආණ්‌ඩුව යම් කිසිවක්‌ ජනතාවගෙන් සැඟවීමට ක්‍රියා කරන්නේ ද යන්න අපි නොදනිමු. එසේම මෙම යෝජනාවේ අඩංගු කරුණු මොනවාද? ජිනීවා කොමිසමේ වාර්තාව ජනතාව අතට ලබා දීමට පසුබට වන්නේ ඇයි? යන කරුණුවලට ද ආණ්‌ඩුව පිළිතුරු දිය යුතුය. ජිනීවා යෝජනාවේ අඩංගු කරුණු පාර්ලිමේන්තුවට තබා ඇමැති මණ්‌ඩලයටවත් හෙළි නොකළ බවට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා චෝදනාවක්‌ ද කර තිබේ.

ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරු වහසි බස්‌ දෙඩීමට හපන්නුය. එදා මහින්ද රාජපක්‍ෂ වර්ණනා කරමින් සියල්ල ඉවසා සිටි ඇතැම් අය අද හැසිරෙන විලාසය හාස්‍යජනකය . මේ විකට රැඟුම්වලට වඩා රටට අවශ්‍ය වන්නේ මෙම ක්‍රියාදාමය පිළිබඳ සත්‍යය හා යථාර්ථය හෙළි කිරීමය. ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම ඉදිරියේ සම්මත වූ යෝජනාවලිය සියලු දෙනාටම දැන ගැනීමට සැලැස්‌වීමෙන් ඒ පිළිබඳ තිබෙන දුර්මත හා සැක සංකා ද නැති කළ හැකිය.

ජාත්‍යන්තර ප්‍රජාවට වුවද අපට බලපෑම් කළ හැකි සීමාවක්‌ තිබේ. අපගේ ස්‌වාධීනත්වය හා ස්‌වාධිපත්‍යයට උඩින් සිදු කරනු ලබන ඕනෑම බලපෑමකදී එයට එරෙහිව නැගී සිටීමට තවමත් අපට ශක්‌තියක්‌ තිබේ. යටත් විජිත ආධිපත්‍යයෙන් මිදුණු රටක්‌ වුවද, තවමත් අපට ස්‌වාධීන සමාජ, දේශපාලන, ආර්ථික පිළිවෙත් නැතිවීම ද අපගේ දුබලතාවකි. එයට මේ සියලු දේශපාලන නායකයෝ වගකිවයුතු වෙති. මේ සමාජය නිදහස්‌ සමාජයක්‌ බවට පත් කර ගැනීමට ඒ කිසිදු නායකයෙක්‌ අවංකව කැප වූ බවක්‌ කිව හැකිද?. ඒ පරිවර්තනය සිදු කිරීම සඳහා මෛත්‍රී - රනිල් සුසංයෝගයට හොඳ අවස්‌ථාවක්‌ ලැබී තිබෙන බව ද අපගේ අදහසය.

විධායක බලතල නමැති අධිබලය උපයෝගී කර ගනිමින් මේ රටේ ජනාධිපතිවරුන් විසින් කරන ලද ක්‍රියාකාරකම් අද තවදුරටත් සිදු කළ නොහැක. ඒ මෛත්‍රී ජනාධිපතිවරයා විසින් ඒ බලය අත්හැරීම රට වෙනුවෙන් ගත් උදාර තීන්දුවක්‌ නිසා ය. පළමු විධායක ජනාධිපතිවරයා වූ ඡේ. ආර්. ජයවර්ධන ගෙන ගිය පාලනය අපට මතකය. ඔහුද සිය කැබිනට්‌ මණ්‌ඩලය හෝ පක්‍ෂය ඔහුගේම අභිමතයට යටත් කළේය. ඡේ. ආර්. ඉන්දුÊ- ලංකා ගිවිසුම අත්සන් කළ ආකාරයත්, ඔහුගේ දේශපාලන හැසිරීමත් පිළිබඳ ඡේ. එන්. ඩික්‌සිත් ගේ කොළඹ භූමිකාව නමැති ග්‍රන්ථයේ එයි. ඉන්දියාව ඔවුන්ට වුවමනා පරිදි අපේ දේශපාලනය හැසිරවීමට දරන තැත පැහැදිලිය. එහෙත් අප ඔවුන්ට ද යටත් විය යුතු නැත.

අනෙක්‌ අතට මහින්ද රාජපක්‍ෂගේ ජනාධිපති භූමිකාව ද විවාදාත්මක එකකි. ඔහු මේ රට ත්‍රස්‌තවාදයෙන් මුදාගත් බව සැබෑවක්‌ වුවද ඔහුගේ ක්‍රියාදාමය තුළ ඔහුට අනන්‍ය වූ දේශපාලන න්‍යාය පත්‍රයක්‌ විය. ඡේ. ආර්. හැදූ ව්‍යවස්‌ථාව වෙනස්‌ කර තවත් බලයේ රැඳීමට ඔහු ක්‍රියා කළේය. ඔහුගේ ඒ අදහස වැරදි යෑයි කීමට අයෙක්‌ එදා ශ්‍රීලනිපයේ නොවූහ. නීතිය පිළිබඳ බරපතල බිඳ වැටීම් සිදු වූයේ ඔහුගේ පාලන සමය තුළදීය. ඔහු විරුද්ධවාදීන්ගෙන් පලිගත් අතර ඔහුගේම කල්ලියකට ඕනෑම දෙයක්‌ කිරීමට ඉඩ දී බලා සිටි බවට නැගෙන චෝදනා තිබේ.

මහින්දට ශ්‍රීලනිපය තුළින්ම ප්‍රතිවාදියකු නිර්මාණය වූයේ ඔහුගේ දේශපාලන ශෛලිය තුළ වූ පීඩාකාරී ස්‌වරූපය නිසාය. මෛත්‍රීපාල සිරිසේනට දේශපාලන වශයෙන් හිමිවිය යුතු බොහෝ දේ ඔහු අහිමි කළේය. එහෙත් මහින්දගේ දේශපාලන බලය බිඳ දැමීමට තරම් මෛත්‍රී ප්‍රබල චරිතයක්‌ විය.

දැන් මේ සියල්ලම ඉතිහාසයට එක්‌ වූ දේවල්ය. ඒ ඉතිහාසය දෙස බලා අනාගතය තීරණ කිරීම අද අවශ්‍යය. මේ රට හැම අංශයකින් ම බිඳ වැටී තිබේ. රාජ්‍ය පරිපාලනය නීතිය යන අංශ ඉතා පිරිහී තිබේ. විදේශ සේවය, රාජ්‍ය ආයතන, මණ්‌ඩල නෑදැයින්ටද, හිතවතුන්ට ද වෙන් වී තිබෙන තරම් ය. එසේම දේශපාලනය ලාභදායී රැකියාවකි. දේශපාලකයා ජනතා සේවකයෙක්‌ බව කියති. එහෙත් ඒ ජනතා සේවකයෝ හතරවටින් මුරදමා සැප රියවලින් ඉගිලෙද්දී හාම්පුතුන් වන අපි බස්‌ කබලක්‌ එනතුරු වහලක්‌ පවා නැති බස්‌ නැවතුමක කට්‌ට කමින් සිටිමු.

මේ සියල්ල එක රැයින් වෙනස්‌ කළ නොහැක. එබඳු ඇලඩින්ගේ පුදුම පහනක්‌ ආණ්‌ඩුවට නැත. ඔවුහු මේ වෙනසට කැප වී සිටිතියි කියනු ඇසෙයි. අප එයට කාලයක්‌ ලබා දිය යුතුය. ජිනීවා උගුලෙන් පළමුව නිදහස්‌ විය යුතුය. රටට බොරු කියා හෝ ජනතාව අන්දවා දේශපාලන තීන්දු ගැනීමට නොහැකිය. එසේ කළත් ඒවායේ විපාක විඳීමට සිදුවනු ඇත. එනිසා ජිනීවා යෝජනා ගැන කලබල වීමට වඩා එහි භාවිතය දෙසත් එයින් ලැබෙන සාධනීය ප්‍රතිඵල දෙසත් අපි අවධානයෙන් සිටිමු. ආචාරියා රවටා කැත්ත හැදීමට බැරිය. ජනතාව රවටා බලයේa සිටීමට ද බැරිය. ජන බලය හැම බලයකටම වඩා බලවත් බව ඉතිහාසය විසින් තහවුරු කරනු ලැබ ඇත.

ගාමිණී සුමනසේකර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.