සාහිත්‍ය කලාව කුමට ද?



සාහිත්‍යකරුවන් හා සාහිත්‍ය කලා නිර්මාණ ඇගැයීමේ නිල රාජ්‍ය උත්සවයවත්a සැප්තැම්බර් මාසය ඇතුළත පැවැත්වීමට සංස්‌කෘතික බලධාරීන් අසමත්වීම සරල සිදුවීමක්‌ නොවූවද ඒ රාජ්‍ය උළෙල රාජ්‍ය නායකයා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට හැකිවීම ඔවුන් ලද ජයග්‍රහණයක්‌ ද? නො එසේ නම් රටේ සාහිත්‍යකලාකරුවන් ලද ජයග්‍රහණයක්‌ ද යන්න මම නොදනිමි. කුමක්‌ වුවද ලබන 20 වැනිදා මේ රටේ සාහිත්‍යකරුවන් වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණට ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තවීම අගය කළ යුතුය.

රටේ අනාගතයට උරදිය හැකි බුද්ධිමතුන්, සාහිත්‍යධරයන් ඇතුලු ඒ ක්‍ෂේත්‍රවල පිබිදීමක්‌ ඇති කළ යුතුය යන සද් ෙච්තනාව අනුව සංස්‌කෘතික ප්‍රබෝධයක්‌ ඇති කිරීම ආරම්භ වූයේ 1956 දී උදාවූ බණ්‌ඩාරනායක යුගයත් සමගය. සංස්‌කෘතික දෙපාර්තමේන්තුවක්‌ ආරම්භවීම ඒ ජනතා ජයග්‍රහණයේම ඵලයකි. 1957 සැප්තැම්බර් 7, 8 යන දිනවල කෝට්‌ටේ පැරකුම්බා පිරිවෙනෙන් ඇරඹුණු ඒ සංස්‌කෘතික සිරිත මෙවර සමරනු ලබන්නේ ඒ බණ්‌ඩාරනායක අධ්‍යාත්මික තක්‌සලාවෙන් ජනිත වූ පොදු ජන ජනාධිපතිවරයකු වන මෛත්‍රීපාල සිරිසේනයන් සමඟ වීම සුවිශේෂ සිද්ධියකි.

මේ රටේ සාහිත්‍යධරයන්ට උසස්‌ ජීවන තත්ත්වයක්‌ හිමිවිය යුතුය යන අදහස ප්‍රථම වරට රාජ්‍ය නායකයකුගෙන් ප්‍රකාශ වූයේ ද 1956 දී බිහිවූ බණ්‌ඩාරනායක අගමැතිවරයාගේ මුවින්ය. සිංහල නවකතාවේ පුරෝගාමියකු වූ ඩබ්ලිව්. ඒ සිල්වා සූරීන් මිය ගියේ 1957 මැයි 31 වැනිදාය. එදා අගමැතිවරයා ලෙස බණ්‌ඩාරනායක මහතා එම අවමඟුල් උත්සවටද සහභාගි විය. එදා ජනතාව අමතා කතා කළ අගමැති බණ්‌ඩාරනායක කීවේ ඩබ්ලිව්. ඒ සිල්වා වැනි නවකතාකරුවකු වීමට හැකි නම් ඒ වෙනුවෙන් අගමැතිකම පුදන බවය.

බණ්‌ඩාරනායක අගමැතිවරයා තුළ තිබුණු ඒ සංස්‌කෘතික බැඳීම, සංස්‌කෘතික අභිලාෂය ව්‍යාජ එකක්‌ ද නොවීය. එදා මෙදා තුර මේ රටේ බිහිවූ රාජ්‍ය නායකයන්ගෙන් අපේ සාහිත්‍ය කලාවට, සංස්‌කෘතියට සිදු වූ සේවය කුමක්‌ ද? යන්න මෙහිලා දැක්‌වීමට මම වෑයම් නොකරමි. එහෙත් ඉතා පැහැදිලිව පෙනෙන දෙය නම් අද වන විට අපේ සංස්‌කෘතික අධ්‍යාත්මය රෝගී වී ඇති බවත්, බිඳ වැටී ඇති බවත් ය. සමස්‌ත සමාජයම රෝගී වී ඇති බවත් ය.

කෙසේ හෝ මේ රට අද පත්ව තිබෙන ගොරතර සමාජ ව්‍යසනයේ එකම හේතුව සංස්‌කෘතික සෝදාපාළුව පමණ කැයි කීම සාධාරණ නැත. සමාජ, දේශපාලන හා ආර්ථික මෙන්ම අධ්‍යාපන වශයෙන් සිදුවූ පසුබෑම් ද එයට හේතු වූ බව නිසැකය. මානව සබඳතාවන් බිඳ වැටී උද්ගත වූ උතුරේ අර්බුදයත් සමග අපි ජාතික හා සංස්‌කෘතික අනන්‍යතාවක්‌ අහිමිවී යන ජන කොටසක්‌ බවට පත් වීමු. අද වනවිටත් අපට ඒ පසුබෑම නිවැරැදි කරගත හැකිවී තිබේද?

දේශපාලන මංමුලාවීම්, වර්ගවාදී ගැටීම් ඇතුළු දරුණු මාරක මඟ හරිමින් ගමන් කළ ජාතියක ඉරණම වෙනස්‌ කර ගැනීමේ වගකීම දැන් අප මත පැවරී තිබේ. ඒ සඳහා සාහිත්‍ය හා කලාව යොදා ගත හැක්‌කේ කෙසේද යන ප්‍රශ්නයට අපගේ අවධානය යොමු විය යුතුය මේ රටේ රාජ්‍ය අනුග්‍රහයක්‌ තිබුණත් නැතත් සාහිත්‍ය කලාවන් යම් ප්‍රමාණයකින් ආරක්‍ෂා වී තිබුණි. ඒ සඳහා කෙරෙන දිරිදීම් පිළිබඳ අපට ද විවේචන තිබේ. සංස්‌කෘතික අමාත්‍යාංශයත් ඒ සඳහා සාධනීය ක්‍රියා මාර්ගයක්‌ නොගැනීමේ විපාකය ද සාහිත්‍යයේ පරිහානියට හේතු විය.

සංස්‌කෘතික අමාත්‍යාංශය යනු මෙරටේ ප්‍රමුඛ හෝ වැදගත් අමාත්‍යාංශයක්‌ බවට පත් නොවූ බවද රහසක්‌ නොවේ. අධ්‍යාපනයට මෙන්ම සංස්‌කෘතියට වෙන් කෙරෙන ප්‍රතිපාදන කප්පාදු කිරීම් හැම ආණ්‌ඩුවක්‌ යටතේම සිදුවූ වරදකි. සාහිත්‍ය කන්ඩදැයි ඇසූ ආණ්‌ඩුවල සරදම් විඳිමින් වුවද සාහිත්‍ය කලාවෙන් ඈත් නොවූ සහෘද පරපුරක්‌ ඉතිරිවී සිටීම අප ලද භාග්‍යයක්‌ වැන්න.

සාහිත්‍ය නිර්මාණවල ද යම් යම් දුබලතා අපි දකිමු. සාහිත්‍ය සම්මාන ඇගයීම් තිබුණත් මෑතකදී බිහිවූ සාහිත්‍ය තුළ අද්‍යතන සමාජ නිරූපණය ඉතා අඩුවීම ද අවධානයට ලක්‌ විය යුතු කරුණකි. මෑත දසක දෙකක තුනක පමණ කාලය තුළ සිදුවූ සමාජ ෙදවාචකයන් පිළිබඳව සාහිත්‍යකරුවන්ගේ අවධානය ප්‍රමාණවත් ලෙස යොමු වී නැතැයි යන්න මගේ අදහසයි. වාර්ගික ගැටුම්, මානව සබඳතා බිඳවැටීම්, දේශපාලන මුග්ධ ක්‍රියාකාරකම්, පුද්ගල අතුරුදන්වීම් වැනි සමාජ අත්දැකීම් සාහිත්‍ය තුළ පිළිබිඹු වුණේ ඉතා මද වශයෙනි.

සාහිත්‍යකරුවාට වඩා සිනමාව ඒ අතින් ඉදිරියට ගමන් කළ බව පෙනේ. දිගු කාලීන යුද්ධයක පීඩනයට හසු වූ සමාජයක ඉකිබිඳුම විෂය කරගත් සිනමාකරුවෝ කීප දෙනෙක්‌ වූහ. ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, සෝමරත්න දිසානායක, විමුක්‌ති ජයසුන්දර ඉන් කීප දෙනෙකි. මේ නිර්මාණ සමග විවේචන තිබිය හැකිය. එහෙත් එමගින් ඒ සිනමාකරුවන් වෑයම් කළේ මේ රට මුහුණ දුන් බිහිසුණුම ෙදවාචකය වෙත අපගේ බුද්ධිමය අවධානය යොමු කරවීමටය.

ඇල්්‍රඩ් හිච්කොක්‌ සිනමාව සම්බන්ධයෙන් කී අගනා අදහසක්‌ මට සිහිවෙයි. එනම් සිනමාවෙන් සිදු විය යුත්තේ ප්‍රේක්‍ෂකයාට කිසිවක්‌ පෙන්වීමකට වඩා ඔහුට දකින්නට සැලැස්‌වීමක්‌ බවය. සිනමාව මෙයට වඩාත් සමීප වුවද සාහිත්‍යයෙන් කළ යුත්තේ ද එබඳුම දැක්‌මක්‌ ලබා දීමකි. කිසියම් අත්දැකීමක්‌ නිරූපණය කළ යුත්තේ සිදුවීමකට වඩා එමගින් කම්පනයක්‌, බුද්ධිමය අවධානයක්‌ යොමු කිරීමටය. මිනිස්‌ ජීවිතය සියුම් ලෙස විදහා දැක්‌වීමටය.

සාහිත්‍ය කලාවද මිනිස්‌ ජීවිතයට ඉතා සමීපය. ජීවිතය මතුපිට නොව එහි ඇතුළත අනාවරණය කරන්නේත් විවරණය කරන්නේත් කලාකරුවායි.

කලකට පෙර අප බටහිර සිනමාවල දුටු ප්‍රචණ්‌aඩත්වය හා සාහසිකත්වය ද ස්‌ත්‍රී පුරුෂ, ළමා අපචාර, ලිංගික අපරාධ වැනි දේවල් අද අපගේ දෑස්‌ ඉදිරිපිට සිදුවෙන ඒවා බවට පත්ව තිබේ. ඒවා අතර බටහිර ක්‍රියාදාම චිත්‍රපටවල නොවන තරම් බිහිසුණු ජවනිකා ද සුලබය. මේවායින් කම්පාවීම, තිගැස්‌සීම වෙනුවට කුහුලින් යුතුව ඒවා නැරඹීම හා කියවීම අද සමාජයේ ඇබ්බැහිකමක්‌ වී තිබේ. මෙයට හේතුව කුමක්‌ද? සාහිත්‍ය මිනිසා, සංස්‌කෘතික මිනිසා අවතැන් වීමය. සියුම් සංවේදී ගුණය අහෝසි වීමය.

මිනිසාගේ හැම ක්‍රියාකාරකමක්‌ම මිනිස්‌ ආධ්‍යාත්මයේ ප්‍රකාශනයක්‌ බව පෙන්වාදීමට කලාකරුවා ස්‌වකීය මාධ්‍ය භාවිතා කරයි. මිනිසාගේ අඳුරු චෛතසිකයන් මෙන්ම මිනිසාට මිනිසා පෙන්වීම කලාව ලෙස හැඳින්වීම වඩාත් උචිතය.

සාහිත්‍යකරුවකු ලෙස ඔහුගේ අරමුණ මිනිසාගේ දුක්‌ අෙaනාවන්හි දොaංකාරය ඒ මිනිසාට ඇසෙන්ට සැලැස්‌වීම බව වරක්‌ මැක්‌සිම් ගෝර්කි පවසා තිබුණි. මානව වර්ගයා පෙළන දුක හා පීඩනයේ සාක්‍ෂිකරුවකු වීමට ගෝර්කි ට වුවමනා විය. මානව දයාව, කරුණාව මිනිසා තුළ ඇති කරන්නේ සාහිත්‍යකරුවා බවද එහි අරුතය. ඇත්ත වශයෙන් ම ඔහු කරන්නේ සමාජ හෘදය සාක්‍ෂිය අවදි කරවීමය.

සාහිත්‍යයෙන්, කලාවෙන් සමාජයක්‌ යහපත් කළ හැකි යෑයි කීමද විවාදාත්මකය. සාහිත්‍ය කලාව උපදේශ නිකුත් කරන හෝ අණපනත් සඳහා වූ ව්‍යාපාරයක්‌ ද නොවේ. උදේ සවස පන්සිල් කියවන (පිලිපදින නොවේ) සමාජයක එයින් පද කීයක්‌ රකින්නෝ සිටිත්ද? ආගම්වලින් මිනිසා හික්‌මවීමට බැරි නම් සාහිත්‍යයට එය කළ හැකි දැයි කෙනෙක්‌ අසන්ට බැරි නැත. එහෙත් ආගමේ එන හික්‌මවීමට වඩා වෙනස්‌ හික්‌මවීමක්‌ සාහිත්‍යයෙන් හා කලාවෙන් සිදු වේ.

සාහිත්‍යයේ ගැබ් වන්නේ මානව සංහතියේ දිගු ගමනේ අත්දැකීම්ය. මානව හැඟීම් ය. සුසුම් ය. දුක්‌ වේදනාවන් ය. පුද්ගලයාගේ හැදියාව, සංස්‌කෘතිය පිළිබිඹු වන්නේ සාහිත්‍ය තුළය. ආධ්‍යාත්ම පෝෂණය සඳහා සාහිත්‍ය මෙන්ම සංගීත, නාටක, චිත්‍ර සිනමා ආදිය ද අවශ්‍යය. එහෙත් ධනවාදී පාරිභෝගික සමාජයක වර්ධනයත් සමග මෙරටේ සාහිත්‍ය කලාව පිරිහීම ඇරඹුණි. ඒ වෙනුවට ක්‍ෂණික විනෝදාස්‌වාදය අරමුණු කර ගත් ව්‍යාජ, බොල් දේවල් හැම ක්‍ෂේත්‍රයකම කලාව ලෙස මතු විය.

සාහිත්‍යයේ අභිවර්ධනය සඳහා සාහිත්‍ය පිළිබඳ උසස්‌ රුචියක්‌ වර්ධනය කිරීමද අත්‍යාවශ්‍ය වේ. සාහිත්‍යයේ හොඳ නරක විනිශ්චය ලේසි පහසු ක්‍රියාවක්‌ නොවන්නා සේම ඒ පිළිබඳ නිශ්චිත මිණුම් දණ්‌ඩක්‌ ද දැක්‌විය නොහැක. මෙවර උසස්‌ම නවකතා ලෙස සම්මාන දිනාගත් කෘති පිළිබඳව වුවද විවිධ සංවාද නැඟෙයි.

ගොඩගේ සාහිත්‍ය උළෙලේ හොඳම නවකතාව චම්පා වෛද්‍යතිලකගේ "ඇදහිය නොහැකි නිහඬතාව" විය. ස්‌වර්ණ පුස්‌තක සම්මානය හිමිවූයේ බටුවන්ගල රාහුල හිමියන්ගේ "රන්කරඬුව" ටය. මේ අයුරින් සම්මාන විනිශ්චයකරුවන්ගේ අවධානය යොමුවීමේ පවා පැහැදිලි වෙනස්‌කම් අපට පෙනේ. ස්‌වර්ණ පුස්‌තක උළෙලේ නිර්දේශ කෘති පවා වෙනස්‌ ය. මේ විෂමතාව විවාදාත්මකව විස ගත නොහැකිය.

සම්මාන විනිශ්චය කරන විද්වතුන් ගැන ද නොයෙක්‌ විවේචන තිබේ. විද්වත් භාවය හෝ රසිකත්වය යන දෙක පිළිබඳව ද මතභේද තිබේ. ශාස්‌ත්‍රාලීය විද්වතුන් ලෙස ගැනෙන ආචාර්ය මහාචාර්යවරුන් අතර වුවද නිබඳව සාහිත්‍ය කලාව සමග ගැටෙන අය නොවෙති. භාෂාව, වියරණය පිළිබඳ දැනුම එකකි. කෘතියක රසය, ගැඹුර මැනීම තව එකකි. මහාචාර්ය පදවියම ඔටුන්නක්‌ සේ ලෙළවා සාහිත්‍ය කලා සිනමා නාට්‍ය යනාදී ක්‍ෂේත්‍රවලට අංචි අදින්නෝ ද සිsටිති. ගුරුකුලවල තවත් විකට රැඟුම් පාති.

මෙලෙස විවිධ දොaෂවලින් ව්‍යාකූල වූ සිතින් කලා නිර්මාණයට එන අයගෙන් සිදු වන්නේ ද මහත් විනාශයකි. ගීතය නොරුස්‌සන විදග්ධයකුට ඒ සඳහා පිදෙන සම්මානය නොරිසි වේ. හේ එය කපා දමයි. එළිසම කවිය හා නිසඳස්‌ යන නමින් කෙරෙන භේදයේදීත් විනිශ්චය කතුරට ඒ නිර්මාණ හසු වනු වැළැක්‌විය නොහැක. මේ නිසා විනිශ්චය නමැති භාරදූර වගකීම පැවරිය යුත්තේ ද නිස්‌සන්ට විනා පුස්‌සන්ට නොවේ. ඒ නිසා විනිශ්චයකරුවා හොඳ විචාරකයකු වුවමනාය.

විචාරකයකු ලෙස පරිචයක්‌ තිබෙන, වැඩිදෙනාගේ ගෞරවයට පාත්‍ර වූ නමක්‌ තිබෙන සාහිත්‍ය කලා සමාගම් මැද නිතර දකින චරිත මේ සඳහා යොදා ගත යුතුය. සිනමා ශාලාවකට හොයන, රඟහලකට නොයන එබඳු කලා සම්මන්ත්‍රණ සාකච්ඡාවලදී හමු නොවන කී දෙනෙක්‌ ඒ නිර්මාණ විනිශ්චය සඳහා සහභාගි වෙත්ද? විශ්ව සිනමාවේ සාර නිර්මාණ කිසිවක්‌ නොදත් ඇතැම්හු චිත්‍රපටවල නම් හෝ අධ්‍යක්‍ෂවරුන්ගේ නම් අසාම ඒ කෘති ගැන විනිශ්චය දීමට තරම් සමත් වෙති.

සාහිත්‍යකරුවකුගේ හෝ කලාකරුවකුගේ මූලික අභිප්‍රාය තම නිර්මාණය විනා තමාට ලැබෙන සම්මාන වරදාන නොවිය යුතුය. ඔහු පුහුදුන් පුද්ගලයකු වුවද ඔහු තුළ යස ඉසුරු ලුහුබැඳ යැමේ පටු අදහස්‌ නැත. සත්‍යය හා යුක්‌තිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමට හැකි කලාකරුවෝ අදත් විරලව හෝ සිටිති. ආණ්‌ඩු බලයට පත් කිරීම වෙනුවට ජනතාව ඥානනය කරවීම කලාවෙන් සිදු විය යුතුය. එහෙත් එය මේ රටේ සිදුවේද?

කිසිදු පක්‍ෂයකට, ආණ්‌ඩුවකට ගැති නොවූ කලා සංවිධාන අද තිබේද? දේශපාලන පක්‍ෂපාතීත්වය කලාකරුවන්ගේ පැවැත්මට අවශ්‍ය දෙයක්‌ බව සමහරු කල්පනා කරති. කලාවේ නිල බල හිමිවන්නේද දේශපාලන රෙකමදාරුවට අනුවය. එබඳු වාතාවරණයක්‌ තුළ දේශපාලනඥයන් කල්පනා කරන්නේද කලාකරුවා, සාහිත්‍යකරුවා තමන් පසු පස එන අයෙකු ලෙසය. දුසිම් ගණනින් කලාභූෂණ සම්මාන පිරිනැමෙන රටකි මේ. සංස්‌කෘතික අමාත්‍යාංශය පළමුවෙන්ම කළ යුත්තේ මේ විහිළු සම්මාන පිදීම නතර කිරීමය. ඉන්දියාවේ ස්‌වර්ණ පද්ම වැනි ජාතික සම්මානවලට හිමිවන ගෞරවය කෙබඳු ද? අපේ රටේ කලාකීර්තිලා, කලා භූෂණලා වැහි වැහැලාය.

මේ සම්මාන ප්‍රදානයට එන ජනාධිපතිවරයාට තම පක්‍ෂයේ නිර්මාතෘවරයා විසින් අපේක්‍ෂා කරන ලද සංස්‌කෘතික ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා සාධනීය බලපෑමක්‌ කළ හැකි බවට සැකයක්‌ නැත. ඒ සඳහා නිසි සැලැස්‌මක්‌ සැකසීමට අවශ්‍ය උපදෙස්‌ ලබාදීමට ජනාධිපතිවරයා බාධාවක්‌ ද නැත.

සංස්‌කෘතිය යනු රටක ජාතික අනන්‍යතාව, ආඪ්‍යත්වය විදහා දක්‌වන ප්‍රමුඛ ලක්‍ෂණයක්‌ බවට පත් කිරීමේ ඓතිහාසික වගකීම එතුමා බාර ගත යුතුය. නිදහස්‌ චින්තන උල්පත නොසිඳ ගලා යැටම අවශ්‍ය සමාජ වාතාවරණයක්‌ සැකසීමත් රාජ්‍ය මට්‌ටමින් සාහිත්‍ය කලාවේ අභිවෘද්ධියට සාධනීය මැදිහත් කිරීම් සිදුවීමත් අවශ්‍යය. අපේ සාහිත්‍ය කලා ඉතිහාසය පුරාම රාජ්‍ය නායකයන්ගේ සාධනීය මැදිහත් වීම් සිදුවී ඇත.

සාහිත්‍ය පිළිබඳ ප්‍රමාණවත් අවධානයක්‌ යොමු නොවූ සමාජයක්‌ නිර්මාණය වීම මේ සමාජ පීඩනයටද, හිංසනයට ද හේතුවී ඇත. සාහිත්‍ය හොඳ වූ පමණින් සමාජයක්‌ හොඳ වන්නේ ද නැත. එය සාපේක්‍ෂක දෙයකි. එසේ වුවද කලා පරිශීලනය නිසා පුද්ගලයා තමා තුළ තිබෙන විෂ, නරක දුෂ්ට බව පසක්‌ කර ගනී. තම දුර්ගුණ දැකීම නිසා හෘද සාක්‍ෂිය මොර ගෑමට පටන් ගනී. එයට පිටුපා යැම සංස්‌කෘතික මිනිසාට කළ නොහැකිය. ආගම්වලින් කරන බලපෑමට වඩා තමා විසින්ම තමන් හඳුනා ගැනීමේ මාර්ගයක්‌ ලෙස සාහිත්‍ය බලවත්ය. හොඳ නරක පිළිබඳ මෙන්ම ලැඡ්ජා බිය යන කරුණු පිළිබඳ පුද්ගලයකු වගකීමට බැඳී සිටින වග ඒ සාහිත්‍ය කලා නුවණින් ලැබෙනු ඇත.

සාහිත්‍ය කලාව විවිධ ආකාරයෙන් සමාජයට මෙහෙවර සඳහා කැප වෙයි. මිනිසාට තමා ගැනත් සමාජය ගැනත් වටහා දෙන මිතුරා, උපදේශකයා පොත්පත් හා සාහිත්‍ය බව අවධාරණය කළ ජගත් සාහිත්‍යධර මැක්‌සිම් ගෝර්කිගේම මේ වදන් වලින් මෙම සටහන අවසන් කිරීම වඩාත් උචිත යෑයි හැඟේ. මේ ඔහුගේ වදන්ය.

"අදහස්‌, හැඟීම් හා සිදුවීම් නමැති විවිධාකාර කලබල සහිත අවුල් තත්ත්වයක්‌ තුළින් මඟ සොයා යැමට මිත්‍රයකු මෙන් ඔබට හොඳ පොත් පත් සහාය වනු ඇත.

තමාටත්, අනුන්ටත් ගෞරව කරන හැටි කියා දෙනු ඇත. ඔබගේ හදවත මානව භක්‌තියෙන් හා දයාවෙන් පුරවනු ඇත."

එවන් සාහිත්‍යමය සමාජයක්‌ අපි කවදා දකිමුද?

- ගාසු
ේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.