කොටි සැකකරුවන් 31 දෙනකුට ඇප

චමින්ද සිල්වා

ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ රඳවා සිටින සැකකරුවන් 31 දෙනකු අද (11 වැනිදා) ඇප මත නිදහස්‌ කිරීමට පියවර ගෙන තිබේ.

ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ මහාධිකරණයේ සැකකරුවන් 116 කට නඩු පවරා ඇත. මහෙස්‌ත්‍රාත් අධිකරණයේ සැකකරුවන් 52 කට නඩු පවරා ඇති අතර ඉන් සැකකරුවන් 10 දෙනකු අභියාචනා ඉදිරිපත් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස්‌  ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබූ අතර ජනාධිපති සහ අගමැති නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා පවත්වා ඇප මත මුදාහැරීමට හැකි සැකකරුවන් මුදාහැරීමට අවශ්‍ය පියවර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස්‌ දී ඇතැයි ද හෙතෙම කීය.

ඒ අනුව සැකකරුවන් 31 දෙනකු ඇප මත මුදාහැරීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් අද (11 දින) අදාළ රජයේ නීතිඥවරුන් වෙත උපදෙස්‌ ලබාදීමට නියමිතය.

අදාළ සැකකරුවන්ගේ නීතිඥවරුන් විසින් ඇප අයදුම්පත් අදාළ අධිකරණවලට යොමුකිරීමෙන් අනතුරුව අධිකරණය එම අයදුම්පත් සලකා බලනු ඇත.

ඊළඟ අදියරේදී තවත් රැඳවියන් 32 ක්‌ ඇප මත මුදාහැරීමට කටයුතු කිරීමට අදහස්‌ කර තිබෙන බව ද හෙතෙම කීය.

අනෙකුත් රැඳවියන් සම්බන්ධයෙන් ද පවත්නා නඩු කටයුතු අධ්‍යයනය කර ඔවුන්ට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට පියවර ගැනීමට රජය අපේක්‍ෂා කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.