ෙෆ්ස්‌ බුක්‌වලට රැවටී....
ජන. 8 කරගත් මෝඩකම ගැන ජනතාව අද පසුතැවෙනවා

- ඇමැති නිමල් සිරිපාල ද සිල්වා


වැලිමඩ - අර්නි දඹදෙණිය

මේ යහපාලන ආණ්‌ඩුව මොනවද දැන් කරන්නේ කියා ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත් ෙෆ්ස්‌ බුක්‌ රැවටීමට ලක්‌වී ජනවාරි 8 වැනිදා කරගත් මෝඩකම ගැන ජනතාව අද පසුතැවෙන බවත් ප්‍රවාහන ඇමැති නිමල් සිsරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

ඇමැතිවරයා මෙසේ සඳහන් කළේ ඇල්ල ඌව කරඳගොල්ල ප්‍රදේශයේ 14 දා පැවැති රැස්‌වීමකට සහභාගි වෙමිනි. එහිදී ඔහු මෙසේ ද කීවේය.

අපි ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්‌වෙලා මේ රජයේ ඇමැති තනතුරු භාරගත්තේ සන්ධානයට සහය දුන් ජනතාවට සේවයක්‌ කරන්න මිස රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වෙන්න නොවෙයි. සන්ධානයේ මන්ත්‍රීවරු ඇමැති තනතුරු භාරගත්තේ අපිට සහය දුන් ජනතාවට සේවය කරන්නයි. එහෙම නොවුණහොත් අපේ ජනතාවට වැඩක්‌ කරගන්න දිගු කාලයක බලාගෙන ඉන්න වෙනවා.

දැන් අපි එකතුවෙන්න ඕනේ. දැන් සිටම අපි එකතුවෙලා සන්ධාන රජයක්‌ බිහිකරගන්න කටයුතු කළ යුතුයි යෑයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේද පැවසීය..

යහපාලන බෝඩ් ලෑල්ල ඉස්‌සරහට දාගෙන දියවන්නාව එතෙර වන්න කටයුතු කළ ඇතැම් ඇමැතිවරු අද කිසි වැඩක්‌ නොකර රජයෙන් දෙන දීමනා හා වරප්‍රසාද ලබාගෙන ඔහේ නිකමුන් වගේ බලා ඉන්නවා. ඒත් මහජනයා බලාපොරොත්තු වුණේ ඒක නෙවෙයි. යහපාලනයට ජනතාව ඡන්දය දුන්නේ ඇමැතිකම් ලබාගෙන නිකම්ම නිකන් තමන්ගේ දීමනා හා වරප්‍රසාද ලබාගෙන ඉන්න නොවෙයි. දූෂණය ගැන භීෂණය ගැන යහපාලනය ගැන කතා කරපු අය අද කෝ? ඒ කතා කරපු අය අද පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. අපිත් අද බලාගෙන ඉන්නේ මේ යහපාලනයෙන් මොකක්‌ද වෙන්නේ කියලා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය අනුව ආණ්‌ඩුවට එකතු වෙන්න අපි තීරණය කළා. ඒ කළේ අපි තමුන්නාන්සේලාට යමක්‌ ඉටුකර දෙන්න.

මේක අපේ ආණ්‌ඩුවක්‌ නොවෙයි. අපි ජාතික ආණ්‌ඩුවකට ගියා කියලා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දියවෙන්නෙ දෙන්න බැහැ. අපි ජාතික ආණ්‌ඩුවට ගියා කියල පක්‍ෂය අලියට ඡන්දය දෙන්න කියන්නේ නැහැ. අපේ බලාපොරොත්තුව ඒකයි. අද ජවිපෙ කෑලි කෑලිවලට කැඩිලා. සීනුව තිබුණ තැනක්‌වත් නැහැ. මෛත්‍රීපාල මහත්තය අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා ඉතුරු ටිකත් අහෝසි කරනව නම් හොඳයි. ඊළඟට මහ මැතිවරණයට අපි දැන්මම සූදානම් වෙමු.

අද ලෝක ත්‍රස්‌තවාදය ගැන අපට උපදෙස්‌ දුන් අපේ ගුරුවරු වන ප්‍රංශය, ඇමරිකාව මේ වන විට ත්‍රස්‌තවාදයට ගොදුරු වෙලා. ඊයේ දිනයේදී ප්‍රංශයේදී 153 ක්‌ බෝම්බ පිපිරීම්වලින් ඝාතනයට ලක්‌වුණා. ඔවුන් අපට කීවේ අපි සුළු ජාතීන්ට සලකන්නේ නැහැ. අපි සංහිඳියාවෙන් කටයුතු කරන්නේ නැහැ කියලා. ඒත් අපි අහනවා ප්‍රංශයෙන් අද ප්‍රංශයෙත් සංහිඳියාවක්‌ නැද්ද? ඒකද මේ බෝම්බ පුපුරන්නේ කියලා. ඔවුන් එදා ත්‍රස්‌තවාදීන්ට උදව් කළේ ඔවුන්ට අසාධාරණකම් වෙනවා මහජාතියෙන් කියලා. ඒක අද ඔවුන්ටම තේරෙනවා ඇති. ත්‍රස්‌තවාදයේ භයානකකම නිසා අද ඔවුන්ට සංහිඳියාව මතක්‌වෙලා. අද ත්‍රස්‌තවාදය කියන්නේ මේ ලෝකයම වෙලා ගත්ත වසංගතයක්‌.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.