"ඩබල් ට්‍රබල්"
"පිස්‌සු ඩබල්"


රාජ්‍ය ආයතන තුනකට නිලධාරීන් පත්කිරීම ගැන මතුව ඇති අර්බුදයක්‌ පිළිබඳව ඊයේ 'දිවයින' පුවත්පත වාර්තා කර තිබිණි. ආණ්‌ඩුව පත්වූදා සිටම මෙවැනි පත්කිරීම් ගැන වැඩ බාරගැනීම් අවුලෙන් අවුලට ගොස්‌ තිබුණු බව නැවතත් මතක්‌ කරන්නේ (මීට පෙරද අපි මේ ගැන සටහන් කර ඇත්තෙමු) ඉතාමත් කනගාටුවෙනි. ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, මහ ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන නිලධාරීන් පත්කිරීම මේ තරම්ම අර්බුදයක්‌ බවට පත්කර ගැනීම ආණ්‌ඩුවට බොහෝ දේ ගැන නැවත නැවතත් සිතන්නට තරම් කාරණාවක්‌ බව අපට කියන්නට සිදුවෙයි.

ලිට්‌රෝ ගෑස්‌, ශ්‍රී ලංකා රක්‌ෂණ සංස්‌ථාව සහ ලංකා හොස්‌පිට්‌ල් යන ආයතනවලට මුදල් අමාත්‍ය රවී කරුණානායක පත් කළ සභාපතිවරුන් සහ අධ්‍යක්‌ෂවරුන් සිටියදීම රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හෂීම් ද අලුතින් සභාපතිවරුන් සහ අධ්‍යක්‌ෂවරුන් පත්කිරීම මේ වනවිට අර්බුදයක්‌ව ඇති බව ඊයේ පළවී තිබූ එම ප්‍රවෘත්තියෙහි සඳහන්ව තිබිණි.

අන්තරායකාර ඖෂධ පාලක මණ්‌ඩලයේ සභාපති තනතුර පිළිබඳවද පසුගිය දිනවල ප්‍රශ්නයක්‌ මතුව තිබිණි. එම ආයතනය සඳහා අලුතින්ම සභාපතිවරයකු පත්කර එවා තිබුණේ එතෙක්‌ එහි සිටි සභාපතිවරයාද සිටියදීමය. රජයට අයත් හිල්ටන් හෝටලය සම්බන්ධයෙන්ද එවැනි අර්බුදකාරී තත්ත්වයක්‌ මතුවිණි.

මේ වසරේ (2015) ජනවාරි අටවැනිදායින් පසු බිහිවූ අලුත් ආණ්‌ඩුව දෙමුහුන් එකක්‌ විය. එය එජාපයෙත් - සන්ධානයෙත් හවුල් ආණ්‌ඩුවකි. එම දින සියයේ ආණ්‌ඩුව (දින ගණන මඳක්‌ එහා මෙහාවීම වැදගත් නොවේ.) අගෝස්‌තු මාසයේ පැවැති මහ මැතිවරණයෙන් පසු නැවත අලුත් විය. මේ අවස්‌ථා දෙකෙහිම අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනවල නිලධාරීන් එහා මෙහා විය. දැන් සිදුව ඇත්තේ එම එහා මෙහා වීම එළවා දමන තැනටම වර්ධනය වීමකි.

මේ එළවා දැමීම නැතහොත් අලුතින් පත් කිරීම ගැන අර්බුද මතුවන්නේ ඇයි? එක්‌කෝ මේ වනවිටත් එම ආයතනවල කටයුතු කරන පිරිස සුදුසුකම් සැපිරූ අය වීම නිසා කිසිවෙකුත් ඉවත් නොවනවා වන්නට පුළුවන. එසේත් නැතහොත් එම පිරිස සුදුසුකම් සපුරා නොමැති නිසා අලුත් අය පත්කරනවා වන්නට පුළුවන. මේ කිසිවක්‌ම නොවේනම් තීරණය කරන්නට සිදුවන්නේ කුමක්‌ හෝ "කඹ ඇදිල්ලක්‌" ඇති බවය.

මේ ආණ්‌ඩුව (හවුල් ආණ්‌ඩුව) පත්වීමට පෙර එජාපය හා සන්ධානය යන පක්‌ෂ දෙකම මැතිවරණ වේදිකාවේදී නිතර කීවේ රාජ්‍ය සේවයත්, රාජ්‍ය ආයතනත් ශක්‌තිමත් කරන බවත්ය. ඉතාම මෑතකදී එනම් වත්මන් රජයේ මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පවා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ "ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය රාජ්‍ය ආයතන කාර්යක්‌ෂම ලෙස පවත්වාගෙන යැම" බවයි. ඒ අර්ථයෙන් ගත්විට "කුට්‌ටම ඇනීම" සුදුසු ආකාරයට කිරීම ගැන කිසිවකුගෙන් ආරෝවක්‌ එන්නට හැකියාවක්‌ නැත. ඒ නිසාම කුට්‌ටමේ සිටින හොඳම තුරුම්පු භාවිත කිරීමට සිදුවීමද අවිවාදිතය. එහෙත් මේ වනවිට මේ පත්කිරීම් සහ ඉවත් කිරීම් ක්‍රියාවලිය දෙස බලන විට එවැනි තත්ත්වයක්‌ද පෙනෙන්නට නැත. තවමත් මේ පත්කිරීම් හරි පීල්ලට වැටී ඇති බවක්‌ පෙනෙන්නටද නැත. අපට මතක හැටියට අගෝස්‌තු ඡන්දයෙන් පසු ආණ්‌ඩුව පාර්ශ්වයෙන් කීවේ, රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් පත්කිරීම ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ එකඟතාවකින් සිදුකරන බවයි. ඒ සඳහා කමිටුවක්‌ද පත්කරන බව සඳහන් විය. එහෙත් මේ වනවිට එවැන්නක්‌ සිදුවන බවක්‌ පෙනෙන්නටද නැත. "කමිටුවක්‌" පත්කරගැනීම එතරම්ම අර්බුදයක්‌ නම් රාජ්‍ය නිලධාරීන් පත්කර ගැනීම කවර කතාද? අවම වශයෙන් කමිටුවක්‌ පත් කරගැනීමට නොහැකි නම්, නිසි ක්‍රමවේදයක්‌ සකසා රාජ්‍ය ආයතන සඳහා නිලධාරීන් පත් කිරීම ඉක්‌මනින් හා නිsවැරදි ආකාරයට කළ යුතුයි. ඒ නිලධාරීන් කිසිදු දේශපාලනඥයකුගේ "හිතවතකු" නොවිය යුතු බව අපේ අදහසයි. එම තෝරා ගැනීම්වල ප්‍රමුඛතම සුදුසුකම විය යුත්තේ දක්‌ෂතාව හා පළපුරුද්දය.

ඊයේ 'දිවයින' පුවත්පතේ අදාළ ප්‍රවෘත්තියේ සිරස්‌තලය වූයේ "ආයතන කිහිපයක ඩබල් ට්‍රබල්" යන්නයි. එහෙත් මෙහෙම ගියොත් "ට්‍රබල් " (කරදර) කෙසේ වෙතත් "පිස්‌සු නම් ඩබල්" වන බව කිව යුතුය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.