ඇවන්ගාඩ් වෙඩිල්ල හා ආණ්‌ඩුවේ කැළඹිල්ල!

ජ.වි.පෙ. විසින් පත්තු කරන ලද ඇවන්ගාඩ් වෙඩිල්ල පුපුරා ගියේ තිලක්‌ මාරපනට ඔහුගේ ඇමැති ධුරයද අහිමි කරමින්ය. ආණ්‌ඩුවේම ඇමැතිවරුන් දෙදෙනකුට ඇඟිලි දික්‌ වී තිබෙන මේ අර්බුදය සමථයකට පත් කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඒ සියලු විමර්ශන තමා යටතට ද ගත්තේය. ඇවන්ගාඩ්වල රාජකාරිය නාවික හමුදාවටද භාර කළේ මේ කන්දොස්‌කිරියාවත්, බැණ අඬගසා ගැනීම් ආදියත් නිසාම විය හැකිය. එහෙත් තවමත් වැඩේ පත්තු වෙමින් තිබේ.

ආණ්‌ඩුවේ ප්‍රබලම ඇමැතිවරුන් දෙදෙනෙකු වන රාජිත සේනාරත්නත්, විජයදාස රාජපක්‍ෂත් දෙපසට වී එකිනෙකාට දොස්‌ කියමින් ද සිටිති. රූපවාහිනි නාලිකා ඔස්‌සේත්, මුද්‍රිත මාධ්‍ය ඔස්‌සේත් ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ඇසෙන කියවෙන දේවල් ජනතාවගේද කුතුහලයට හේතු වී තිබේ. මේ ජරමර අස්‌සේ නියෝජ්‍ය ඇමැතිවරයකු වන රන්ජන් රාමනායකද ඇවන්ගාඩ් ගනුදෙනුවකට අදාළ සාක්‍ෂිත් සමඟ අල්ලස්‌ කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්‌ද කළ බව වාර්තා විය.

සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැතිවරයා ලෙස තිලක්‌ මාරපන පාර්ලිමේන්තුවේදී කියා සිටියේ තම සේවාදායකයා වන ඇවන්ගාඩ් සිද්ධිය පොලිසිය ලකුණු දමා ගැනීමට කළ වැඩක්‌ බවය. ඔහු එයට ඊට කලින් සිදුවූ ආන්දොaලනයට ලක්‌වූ මිලේනියම් සිටි සිද්ධියත් ඈඳුවේ පොලිසියට ඇඩ්‍රස්‌ නැතිවන ආකාරයටය. විජයදාස රාජපක්‍ෂ කියන්නේත් මෙතන නීති විරෝධී දෙයක්‌ සිදුවී නැති බවකි. එසේම මේ සිද්ධියට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සම්බන්ධ කරන ලෙස කීප දෙනෙක්‌ම තමන්ගෙන් ඉල්ලා සිටි බවද ඔහු කීවේය.

මාරපන මෙන්ම විඡේදාස යන දෙදෙනාම ප්‍රවීණ නීතිඥයෝය. එනිසා ඔවුන්ගේ පදනම තුළ තාර්කික බවක්‌ තිබිය හැකි යෑයි කල්පනා කළ හැකිය. එහෙත් ප්‍රශ්නයක්‌ මතුවන්නේ කාට හෝ ඇවන්ගාඩ්වරුන්ට හුණු ගෑමට අවශ්‍ය වී තිබේද? තවත් කාට හෝ ඇවන්ගාඩ් තුළින් වෙනත් දේශපාලන දඩයමක්‌ කිරීමට අවශ්‍ය වී තිබේද යන්නයි.

තිලක්‌ මාරපන ඇවන්ගාඩ් නයිමල්ල බිම තබා ඒ කරදරයෙන් නිදහස්‌ වුවත් දැන් විජයදාස රාජපක්‍ෂ පසු පස ඇවන්ගාඩ් සුළඟ හඹායමින් තිබෙන බවද පෙනේ. අගමැති රනිල් පසුගිය දිනක ප්‍රබල ඇමැතිවරයකුට දොස්‌ නගා තිබුණු බවක්‌ ද මාධ්‍යවල පළවිය. මුලින් ඒ වාර්තාව තුළින් ගම්‍ය වූයේ ඇමැතිවරයා විජයදාස රාජපක්‍ෂ බවය. එහෙත් ඔහු නිවේදනයකින් කියා සිටියේ තමන් සම්බන්ධව එබඳු දෙයක්‌ නොවූ බවකි. අනතුරුව එය බාර වූයේ රාජිතටය. ඔහු කියා සිටියේත් එබඳු දෙයක්‌ නොවූ බවත් කිසිවෙක්‌ තමාට ඒ ගැන කතා කිරීම තහනම් කර නැති බවත්ය. එසේ නම් අගමැතිගේ නමත් පටලවා ඒ පුවත කවුරුන් විසින් හෝ ගොතන ලද්දක්‌ද?

මේ ජංජාල අස්‌සේ ආණ්‌ඩුව ඇතුලේ කුමක්‌ හෝ ජරමරයක්‌ සිදුවන බව නම් පැහැදිලිය. ආණ්‌ඩුවේම ඇමැතිවරුන් වෙනදාට වඩා ප්‍රජාතන්ත්‍රවාදය භුක්‌ති විඳින බව ආණ්‌ඩුව ප්‍රසිද්ධියේ කීවත් මේ වර්ගයේ ප්‍රජාතන්ත්‍රවාදයකින් ආණ්‌ඩුවේ කීර්ති නාමයට සිදුවන හානිය නම් සුළුපටු නොවේ. යහපාලනය ගැන නිමල් සිරිපාල ඇමැතිවරයා කළ විවේචනයට පිළිතුරු දුන් හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා ඇසුවේ ඔහු ආණ්‌ඩුවේ ඇමැතිකම් කරන්නේ රෙදිත් ඇඳගෙනද කියායි.

මේ ආණ්‌ඩුව ඇතුලේ අර්බුදයක්‌ ඇතැයි කීම ආණ්‌ඩුවේ පිත ඇවිස්‌සෙන සුළු විය හැකිය. පිටත සිටින ප්‍රතිගාමී බලවේග ආණ්‌ඩුව භේද කර දැක්‌වීමට ක්‍රියාකරන බවට දැනටමත් සමහරු කියති. 2015 ජනවාරි 08 වැනිදා ඇතිවූ යහපාලනය අගෝස්‌තු 17 වැනිදා යළිත් තහවුරු කර රට නව දිශානතියකට යොමුකර තිබෙන බවද කියති.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාත් ඒ කතාව කියා තිබේ. මෛත්‍රී ජනාධිපතිවරයා අද ලෝක නායකයන්ගේ හොඳ හිත දිනාගෙන සිටින බවත්, ඔහු මැනවින් මේ රට මෙහෙයවන බවත් කියා තිබේ. ජාත්‍යන්තරය දිනා ගැනීමට මෛත්‍රී ජනාධිපතිවරයාට හැකිවීම ගැන අප විසින්ද සඳහන් කරන ලද කරුණකි. එපමණක්‌ නොව විධායක ජනාධිපති ධුරය වෙනස්‌ කිරීම වැනි සාධනීය දේවල් ඔහු දැතම ඔසවා අනුමත කරන බවද රටම දනී. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ ගමන යැමට ඔහු සමඟ එක්‌ව සිටින පිරිස කුළල්කා ගැනීමය.

1956 බණ්‌ඩාරනායක අගමැතිවරයාටද ආණ්‌ඩුව ඇතුලේ අර්බුදවලට මැදිහත්වීමට සිදුවිය. එයට තුඩුදුන්නේ එදා ඉදිරිපත් වූ කුඹුරු පනතය. බණ්‌ඩාරනායක රජය පිහිටුවා ජනතාවාදී පිළිවෙතකට ආණ්‌ඩුව මාරුවෙන විට එදා ප්‍රතිගාමීත්වයද එතනට කිට්‌ටු වී ඇත. බණ්‌ඩාරනායක ආණ්‌ඩුව පෙරළා දැමීමට ඇමැතිවරුන් කීප දෙනෙකු සමඟ ප්‍රකට භික්‍ෂුවක්‌ද එක්‌වූ බව කියති. ඒ එකල එකී භික්‍ෂුවගේ සහෝදරයකුට අයත්ව තිබුණු "ෂිපිං ලයින් සමාගම" ක්‌ මුල් කරගත් ප්‍රශ්නයකි. නැව් කොන්ත්‍රාත්තුවක්‌ පිළිබඳ ප්‍රශ්නයක්‌ද මතු වූ විට අගමැතිවරයා එයට විරුද්ධවීම නිසා ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවීමටද සිදුවූ අයුරු දේශපාලන ඉතිහාසයේ එයි.

ඇවන්ගාඩ් සිද්ධියේත් නැව් ගැන සඳහන් වුවත් මෙය එතරම් බරපතළ එකක්‌ ලෙස හැඳින්වීමට අවශ්‍යයද නැත. එහෙත් මේ සිද්ධිය දැනට ගොස්‌ තිබෙන දුර ඕනෑවටත් වඩා වැඩි බව අපට පෙනේ. එය පිළිබඳ පරීක්‍ෂණයක්‌ පවත්වා රටට තොරතුරු හෙළි කිරීමත් මේ ඇමැතිවරුන්ගේ ගහගැනිල්ල නතර කිරීමත් ආණ්‌ඩුවේ ශරීර සෞඛ්‍යයට හොඳ බව අපට හැඟෙන දෙයයි.

1956 දී බණ්‌ඩාරනායක අගමැතිවරයාට අවශ්‍ය වූයේ මහජන එක්‌සත් පෙරමුණ සමඟ සමගියෙන් ක්‍රියාකර ජනතාවගේ ප්‍රාර්ථනා ඉටුකිරීමටය. රටේ දැවෙන ප්‍රශ්න විසඳීමටය. 2015 දී මෛත්‍රීපාල සිරිසේනට අවශ්‍ය වූයේත් ඒ දෙයම කිරීමටය. හැබැයි මෛත්‍රී එක්‌වූයේ එජාපයටය. එය එක්‌ අතකින් ඔහුගේ දේශපාලන ප්‍රතිවාදියෙකි. එහෙත් මෛත්‍රී සමඟ එක්‌වන එජාපයට නායකත්වය දුන්නේ රනිල්ය. රනිල්ට අවශ්‍ය වූයේත් රාජපක්‍ෂ යුගය අවසන් කර රටට අලුත් වෙනසක්‌ කිරීමටය.

එජාපය සමඟ ශ්‍රීලනිපය එක්‌වීම මේ දෙපක්‍ෂයේම සමහරුන්ට දිරවා ගැනීමට අසීරු වී තිබෙන බවද ඇත්තය. සමහරු මේ ආණ්‌ඩුව තුළ සිටින්නේද නානාප්‍රකාර නෝක්‌කාඩු කතා කියමින්ය. ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් තම පාක්‍ෂිකයන්ට මදිපුංචිකම් සිදුවන බව ඔවුහු කියති. එජාප ඇමැතිවරුන් නිසා තමන්ට වැඩක්‌ කිරීමට බැරිවී තිබෙන බව ශ්‍රීලනිප යේ චෝදනාවකි. මේ මොන ගැටුම්, ජරමර තිබුණත් මෛත්‍රී හා රනිල් නොසැලී සිටිති. එහෙත් මෛත්‍රීට, රනිල්ට නැති ඔලුවේ කැක්‌කුම් කීපයක්‌ම තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂත්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගත් සමඟ ශ්‍රීලනිපය සමබරව මෙහෙයවීම ද ඔහුට ප්‍රශ්නයකි. කවුරුත් දන්නා පරිදි අද ශ්‍රීලනිපය ද පිල් දෙකකට නාමිකව හෝ වෙන්ව තිබේ. මෛත්‍රී පිල හා මහින්ද පිල ලෙස තිබෙන මේ බෙදීම ගණන් නොගන්නා අයද සිටිති. එහෙත් මහින්ද සමඟ සිටින සුළු පක්‍ෂ කීපයක නායකයෝද මහින්ද වට කරගෙන සිටිති. මහින්ද අත නොහැර ඔහු සමඟ යන සැලකිය යුතු පිරිසක්‌ද සිටිති.

තමා කිසිදිනක ශ්‍රීලනිපය අත්හැර නොයන බව මහින්ද කියයි. මෛත්‍රී සමඟ ශ්‍රීලනිපය ප්‍රතිසංවිධානය කරන බවත් මහින්දත් ඒ ගමනට එක්‌ කර ගන්නා බවත් ශ්‍රීලනිපයේ ප්‍රබලයෝ කියති. ළඟ එන පළාත් පාලන සටනේදී ඒකාබද්ධ විපක්‍ෂයක්‌ නිර්මාණය වන බවක්‌ද පෙනේ. මේ ඒකාබද්ධ විපක්‍ෂය යනු මෛත්‍රීගේ නායකත්වය නොපිළිගන්නා අය බව සැඟවිය නොහැක. මෛත්‍රී ජනාධිපතිවරයාද මේ දේශපාලන විරසකය හොඳින් දනී. ඔහු කරන්නේත් මහින්ද වගේම කාලය මැනීමකි. එහෙමත් නැත්නම් හොර ගල් ඇහිලීමකි.

ශ්‍රීලනිප නායකයා වන මෛත්‍රී සන්ධානයේද නායකයාය. හංසයාගෙන් තරග කර ජයගත් මෛත්‍රී යළිත් පක්‍ෂය මෙහෙය විය යුත්තේ බුලත් කොළයෙන් හෝ "අත" ලකුණින්ය. රනිල්ට නම් පසුගිය මැතිවරණය වෙද්දී සිය පක්‍ෂයේ ලකුණ වන "අලියා" ගෙන්ම තරග කළ හැකි විය. පක්‍ෂයේ අය පමණක්‌ නොව මහින්දගේ ආණ්‌ඩුවේ ඇමැතිකම් කළ රාජිත, චම්පික, අර්ජුන වැනි අයද "අලියා" ලකුණෙන් ජයග්‍රහණය කරවීමට රනිල්ට හැකිවිය.

මෛත්‍රී, රනිල් සමඟ එක්‌වී ජනාධිපති වූවා පමණක්‌ නොව රනිල්ලා හැදූ විධායක ජනාධිපති ධුරය වෙනස්‌ කිරීමටද එජාපය නම්මවා ගැනීම ජයග්‍රහණයකි. එය රනිල්ගේ දේශපාලන විචක්‍ෂණභාවය නිසාත් රටේ ජනමතයට ගරු කිරීමට ඔහු සූදානම් වන නිසාත් ලද ජයග්‍රහණයක්‌ද වේ. විධායක ක්‍රමය සමඟ මනාප ක්‍රමයද වෙනස්‌ වීම නිසැකයෙන්ම අලුත් දේශපාලන සංස්‌කෘතියකට පදනමක්‌ දැමීමකි.

මේ දේශපාලන ප්‍රතිසංස්‌කරණය ප්‍රාර්ථනා කළා වූද ඒ වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක්‌ ඉටුකළා වූද මාදුළුවාවේ සෝභිත හිමියෝද දැන් අපවත් වී සිටිති. උන්වහන්සේගේ දෙනෙත් පියවී ගියේ මේ දේශපාලන ක්‍රමය දැක දැක ඇතිවූ කනස්‌සල්ලත් සමඟ බවද කියති. ඒ මතය ජනතාව තුළට කාවැදෙන්නට කලින් මෛත්‍රී ජනාධිපතිවරයා ජනතාවට ප්‍රතිඥවක්‌ දුන්නේය. ඒ ප්‍රතිඥව දුන්නේ එසේ මෙසේ තැනක නොව පාර්ලිමේන්තුව පෙනෙන තෙක්‌මානයේ සිට සෝභිත නාහිමියන්ගේ ආදාහන පූජා උත්සවය සිදුකළ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ සිටය.

දැන් ඒ ප්‍රතිඥව ඉටු කිරීමටද පියවර ගෙන තිබේ. හැමදාමත් සුළඟේ ගසා ගෙන ගිය ඒ කඩවුණු පොරොන්දුව යථාර්ථයක්‌ බවට පත් කිරීමට මෛත්‍රී ජනාධිපතිවරයාට ශක්‌තියක්‌ තිබීම ගැන ඔහුට ප්‍රශංසා කළ යුතුය. මේ ආඥදායක විධායක ජනාධිපති ක්‍රමයත් දූෂිත මනාප ඡන්ද ක්‍රමයත් වෙනස්‌ කරන මෛත්‍රීපාල සිsරිසේන ජනාධිපතිවරයාට ඉතිහාසයේ ගෞරවය ද හිමිවනු ඇත. රට ත්‍රස්‌තවාදයෙන් මුදාගත් ශ්‍රීලනිප නායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ ඉතිහාසයට එකතු වෙද්දී රට අගාධයට ඇද දැමූ හැත්තෑ අටේ ව්‍යවස්‌ථාවත් ඒ හා බැඳුණු මනාප ක්‍රමයත් වෙනස්‌ කළ ශ්‍රීලනිප නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේනටද ගෞරවය හිමිවනු ඇත. එයට දායකත්වය දෙන රනිල් වික්‍රමසිංහටද ඒ ඉතිහාසය තුළ කීර්ති නාමයක්‌ අත්වනු වැළැක්‌විය නොහැක.

ආණ්‌ඩුව මෙසේ අලුත් ගමනකට සූදානම් වූවද මේ ආණ්‌ඩුව දැන් පරණ ආණ්‌ඩුවම ගිය පාරේ යන බව ජ.වි.පෙ. පමණක්‌ නොව ආණ්‌ඩුවේ මිතුරන් වන සිsවිල් සංවිධාන ද චෝදනා කරයි. ඊට අමතරව ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස්‌ කරන ලෙසද ඉල්ලීමක්‌ ඇත. ආණ්‌ඩුව දැනටමත් මේ අයගෙන් පිරිසක්‌ ඇප මත මුදාහැර තිබේ.

මෙය ඉතා සංවේදී ප්‍රශ්නයකි. වසර ගණනක්‌ චෝදනා හෝ නඩු නැතිව හිර ගෙවල්වල සිටීමට ඒ බොහෝ සැකකරුවන්ට සිදුවී තිබේ. එයට ආණ්‌ඩුව වගකිව යුතුය. උතුරේ යුද්ධය අවසන් වී කලක්‌ ගතවී තිබියදීත් ආණ්‌ඩුව ඔවුන්ට යුක්‌තියක්‌ ඉටුකළ යුතුව තිබුණි. ප්‍රභාකරන් මිය යැමත් සමඟ ඒ ව්‍යාපාරය ඉඳුරා අවසන් වී ඇතැයි හෝ යළි කිසි දිනක එවැන්නක්‌ සිදු නොවේ යෑයි ස්‌ථිරව කිව හැක්‌කේ කාටද? දේශ පාලන අංජනම්කාරයෝ නම් එබඳු දේවල් දකිති. එහෙත් මෙබඳු ප්‍රශ්න හදවතින්ම නොව බුද්ධියෙන්ම විස¹ ගත යුතුවේ.

උතුරේ මානව හිමිකම් කඩවීම දූෂණ සිදුවීම යනාදිය පිළිබඳ විමසා බැලීමට ආණ්‌ඩුව බැඳි සිටියි. එසේම කිසිදු චෝදනාවක්‌ නැතිව හිරගෙවල්වල ජීවිත ගෙවීමට සිදුවීමද මොන අතින් බැලුවත් වරදකි. ඒ අයට නීති ප්‍රකාර ක්‍රියා කිරීමෙන් පසු පොදු සමාවක්‌ දීමද වැරදි නැත. ජාතික නිදහස්‌ අරගල යනු විවිධ අය විසින් විවිධ ලෙස අර්ථකථනය කරනු ලබන්නකි. අප්‍රිකානු ජාතික කොංග්‍රසය හෝ පලස්‌තීන විමුක්‌ති සංවිධානයට වුවද ආණ්‌ඩුවල විරෝධය එල්ල වූ බව කවුරුත් දනිති. එහෙත් එල්.ටී.ටී.ඊ. ය ඒ වර්ගයේ විමුක්‌ති සටනක්‌ දියත් කළ බව කීම සාධාරණද?

71 කැරැල්ල සම්බන්ධයෙන් වුවද මේ රටේ ආණ්‌ඩුව දැක්‌වූ ප්‍රතිචාර අපට මතකය. එහි නායකයන් අධිකරණයටද පමුණුවා නඩුවක්‌ද විභාග කර දඬුවම් ලබා දුන්නේය. පසුව ඔවුන්ට නිදහස ලැබුණි. එසේම අද ඒ ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයකට එක්‌ව සිටියි. එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳ යථාර්ථය කුමක්‌ද?

ජාත්‍යන්තර තලයේ අදටත් ඊළාම් ව්‍යාපාරය සඳහා කැපවූවෝ සිටිති. ජාතික සංහිඳියාව තුළින් රට එක්‌සත් කිරීමට ආණ්‌ඩුව කැපවිය යුතු අතරම ඒ පිළිබඳ දෙමළ ජනතාවගේ විශ්වාසයද හිමිවිය යුතුය. දෙමළ ජනතාවගේ හදවතට දැනෙන නිදහසක්‌ ලැබෙනතුරු ඔවුහු හරි හෝ වැරදි හෝ විමුක්‌තියේ නාමයෙන් කෙරෙන ඕනෑම ප්‍රචණ්‌ඩ ක්‍රියාවකට එක්‌වෙති. එනිසා මේ පුළුල් ජාතික සමගිය සඳහා සිංහල, දෙමළ මෙන්ම මුස්‌ලිම් නායකයෝද එක්‌විය යුතු වෙති.

සිංහල අන්තවාදය මෙන්ම දෙමළ අන්තවාදය ද එකම කාසියේ දෙපැත්තකි. එයින් යෑපෙන දේශපාලනයක්‌ කවුරුන් විසින් කරනු ලැබුවත් එය ජාතික විපතක්‌ බව කිව යුතුය. වර්ගවාදය ඇවිලී ගලා ගිය ලේ ගංගා තවමත් උතුරේත් දකුණේත් සපුරා වියළී නැත. එනිසා රට යළිත් එතනට තල්ලු කළ යුතුද නැත. එහෙත් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වැනි වෙස්‌ බැඳගත් වෘකයන්ගෙන්ද ප්‍රවේශම් විය යුතුය. ඔවුහු න්‍යාය පෙන්වති. තර්ක කඳු ගසති. එහෙත් උත්තරය ඒ තරම් සරල නැත.

දේශපාලනය යනු බලය කේන්ද්‍ර කර ගත් ව්‍යාපාරයකි. එය ඇතැම් විට ප්‍රකාශිත ප්‍රජාතන්ත්‍රවාදයකට සීමා වන්නටද බැරි නැත. අපේ රටේ තිබෙන ඡන්ද ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී යෑයි කිව හැකිද? දේශපාලනය සඳහා තරගවදින සියල්ලෝම සර්වප්‍රකාරයෙන්ම යහපත් අය වෙතැයි කිව හැකිද? එහෙත් මේ එකක්‌වත් වෙනස්‌ කර ගැනීමේ අවංක වුවමනාවක්‌ තිබුණේ කාටද?

අද දේශපාලනය යනු පවුලම, හතර වර්ගයම ගොඩදාගන්නා කප් රුකක්‌ නොවේද? මේ වන විට දිනුම් පැරදුම් කුමක්‌ වුවත් මහජන මතය කුමක්‌ වුවත් මැතිකම්, ඇමතිකම් ලබාගත හැකි මට්‌ටමට දේශපාලනය ගරා වැටී නැද්ද? ඥති සංග්‍රහ, පවුල්වාද අනුමත කරන පිළිවෙතක්‌ නැද්ද? නීතිය, යුක්‌තිය, සත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය යන සියල්ල බලය නැති වූ විට පමණි. විපක්‍ෂයේ ඉඳගෙන විවේචනය කරන වරද ආණ්‌ඩුවට ගිය විට අමතකය. දේශපාලනයේදී ක්‍රියාත්මක වන එකම න්‍යාය ගොරකා දඩමස්‌ කිරීම හා දඩමස්‌ ගොරකා කිරීමේ න්‍යාය හැර අන් කුමක්‌ද?

දෙමළ ජනතාවට සාධාරණ ප්‍රශ්න තිබෙන බව කියන කිසිම නායකයෙක්‌ ඒවාට විසඳුමක්‌ දීමට කැපවී තිබේද? ප්‍රශ්නවලට විසඳුම් දීම වෙනුවට ප්‍රශ්නවල කොටස්‌ තමන්ට වුවමනා ලෙස විසඳීමට බොහෝ විට ක්‍රියාකිරීම නිසා අද වන විට රටම අවුල් ජාලයක්‌ වී තිබේ. ස්‌වාධීන කොමිසන් පිහිටුවීමද අද විවාදාත්මක දෙයකි. අර්බුදවලින් ගොඩ ඒම වෙනුවට අර්බුදවල පතුලට වැටීම අද සාමාන්‍ය දෙයකි. එහෙත් බලය භුක්‌ති විඳීමට තිබෙන තෘෂ්ණාව නිසා දේශපාලනයද සංසාරයටත් වඩා බිහිසුණු එකක්‌ වී තිබේ.

ගාමිණී සුමනසේකර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.