ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යානවල ඉතිහාසය සහ අනාගතය

උද්භිද උද්‍යාන මගින් කෙරුණු කෘෂිකාර්මික පර්යේෂණ හා අනිකුත් කටයුතු දියුණු වෙත්ම කෘෂිකර්මය පිණිස වෙනමම ආයතනයක අවශ්‍යතාව දැනිලා තමයි 1912 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණියේ පිහිටෙව්වෙ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු උද්භිද උද්‍යාන එම දෙපාර්තමේන්තුව යටතට පත්වුණා.

දක්‌ෂ උද්‍යාන විද්‍යාඥයෙක්‌ වූ එච්. එµa. මැක්‌මිලන් (
H.F.Macmillan) මහතා 1912 දී උද්භිද උද්‍යායනයේ අධිකාරී වශයෙන් පත් වුණා. මැක්‌මිලන් මහතාගේ පාලන කාලය තුළ උද්‍යානය වැඩි දියුණු කර ව්‍යාප්ත කරන ලද අතර ඔහුගේ ඉතා වැදගත් කෘතියක්‌ වන ,"A Hand Book of Tropical Planting and Gardening", පළ කරනු ලැබුවා. මැක්‌මිලන් මහතා 1925 දී විශ්‍රාම ගත්තට පස්‌සෙ උද්‍යාන භාරකරු ලෙස පත්වුනු ටී. එච්. පාර්සන්ස්‌ (T.H. Parsons) මහතා 1945 දක්‌වා ම උද්‍යාන භාරකරු වශයෙන් කටයුතු කළා.

1945 දී උද්‍යාන අධිකාරී විසින් පත්වුනු ඩී.එම්.ඒ. ජයවීර මහතා ඖෂධ පැළෑටි හා ලංකාවේ උඩවැඩියා ශාක පිළිබඳ අපගේ දැනුම පොහොසත් කිරීමට විශාල වශයෙන් දායක වුණා. 1971 දී උද්‍යාන අධිකාරී ලෙස පත් වූ ඩී.ටී. ඒකනායක මහතා ශ්‍රී ලංකාවේ විසිතුරු පැළ හා මල් වගාව කර්මාන්තයක්‌ ලෙස දියුණු කිරීම පිළිබඳ පුරෝගාමී වුණා.

දිගු කාලයක්‌ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය යටතේ තිබූ ජාතික උද්භිද උද්‍යාන 1994 වර්ෂයේ දී අධ්‍යක්‌ෂවරයෙකු යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙනමම අංශයක්‌ බවට පත්වුණා. ජාතික උද්භිද උද්‍යාන අධ්‍යක්‌ෂවරයා වශයෙන් පත්වුනු ඩී.බී. සුමිත්‍රාරච්චි මහතාත් 1998 දී සිය ධුරය හැර යන තෙක්‌ ඉතා ප්‍රයෝජනවත් උද්භිද විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘති ආදිය පවත්වමින් උද්භිද උද්‍යානයේ තත්ත්වය වැඩි දියුණු කිරීමට විශාල කාර්ය භාරයක්‌ ඉටු කළා.

1912 වර්ෂයේ සිට කාෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ තිබූ උද්භිද උද්‍යාන 2005 වසරේදී එම දෙපාර්තමේන්තුවෙන් වෙන් කර 2006 වසරේ අගෝස්‌තු මස ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබූවා.

අද ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු වන්නේ

1. ශ්‍රී ලංකාවේ ශාක විතැන් සංරක්‌ෂණය (
ex situ conservation of flora of Sri Lanka),

2. ශාක සම්බන්ධව පර්යේෂණ කිරීම, නිවැරදි තොරතුරු හා තාක්‌ෂණික දැනුම ලබාදීම

3. පාරිසරික සංචාරක කර්මාන්තය නගා සිටුවමින් උද්භිද උද්‍යාන උසස්‌ ලෙස නඩත්තුව

4. නව උද්භිද උද්‍යාන පිහිටුවීම

5. ඓතිහාසික වටිනාකමකින් යුතු ශාක සංරක්‌ෂණය කිරීම හා

6. ශ්‍රී ලංකාවේ මල් වගා කර්මාන්තය දියුණු කිරීම පිණිස කටයුතු කිරීමයි.

ශ්‍රී ලංකාවේ ජාතික උද්භිද උද්‍යාන, ජාතික ශාකාගාරය, උද්භිද උද්‍යාන පොර්තමේන්තුවට අයත් ඖෂධ උයන්, ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ නිල නිවාස සහ කාර්යාලවලට අයත් උද්‍යාන ද පොදු රාජ්‍ය මණ්‌ඩලීය යුද සොහොන් බිම් ද නඩත්තුව මෙන්ම අනුරාධපුර ශ්‍රී මහා බෝධිය හා වෙනත් ඵෙතිහාසික ශාකයන් යනාදිය රැක බලා ගැනීමේ වගකීම දරන්නේද ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවයි.

කොහොම වුණත් උද්භිද උද්‍යානයක්‌ කිව්වම බොහොම දෙනෙකුට සිතට නැගෙන්නේ මල් වත්තක්‌ කියන අදහසක්‌. ලස්‌සනට වවා තියෙන මල් පාත්ති, අලංකාර ලෙස නඩත්තු කර ඇති තණ පිටි, ජල පොකුණු, උඩවැඩියා හා වෙනත් විචිත්‍රා පැළෑටි ආදිය වවා තියෙන පැළ ගෘහ ආදිය මෙන්ම තැන තැන හුදෙකලාව සිටින පෙම්වතුන්, සහ විනෝද සුවයෙන් පරිසර සුන්දරත්වය විඳින විවිධ වයස්‌ කාණ්‌ඩවල ජනතාවත් මල් වතුවල සාමාන්‍යයෙන් දකින දේවල්. ඒත් ඇත්තටම උද්භිද උද්‍යානයක්‌ කියන්නේ මොකද්ද කියන එක හරියට වටහා ගෙන ඉන්නේ ඉතාම ටික දෙනෙක්‌ පමණයි.

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යා නයේ ආචාර්ය උපාධි සහිත පස්‌දෙනෙක්‌, මාස්‌ටර්ස්‌ උපාධි සහිත අය 15 පමණ, බීඑස්‌සී උපාධි සහිත අය සහ ඩිප්ලෝමාධාරීන් සෑහෙන ගණනක්‌ සේවය කරනවා. හරියට පුංචි විශ්වවිද්‍යාලයක්‌ වගෙයි. මල්පාත්ති ටිකක්‌, තණ පිටි ටිකක්‌ නඩත්තුකරගෙන අතු පතු ගාගෙන ඉන්න එවැනි උගත් කණ්‌ඩායමක්‌ ඕනෙ නැහැනෙ.

අනිත් සෑම දෙයකටම වගේ උද්භිද උද්‍යානය කියන එකටත් අර්ථ දැක්‌වීම් කිහිපයක්‌ තියෙනවා. මෙයින් වඩාත් බහුලව පිළිගැනෙන අර්ථ දැක්‌වීමට අනුව උද්භිද උද්‍යානයක්‌ යනු විද්‍යාත්මක පරීක්‌ෂණ, සංරක්‌ෂණය,

ප්‍රදර්ශණය හා අධ්‍යාපනය පිණිස උද්‍යාන විද්‍යාත්මකව, නම් කර වවා ඇති, සජීවි ශාක එකතුවක්‌. (
Botanic gardens are institutions holding documented collections of living plants for the purp†es of scientific research" conservation" display and education).

උද්‍යාන විද්‍යාත්මක මූල ධර්ම අනුව නානාවිධ විචිත්‍ර ශාක අලංකාරව සකසා ඇති නිසාත් ඒවා වවා ඇති පරිසරය මනාව නඩත්තු කර ඇති නිසාත් උද්භිද උද්‍යාන අනිවාර්යයෙන්ම සුන්දර ස්‌ථාන බවට පත් වෙනවා. නමුත් මෙම සුන්දර ස්‌ථාන වල නියම කාර්ය භාරය ඉතාමත් වැදගත්. කනගාටුවකට කරුණ අපේ රටේ උදවිය දකින්නේ මේ මතුපිටින් පේන සුන්දරත්වය පමණයි.

ඇත්තෙන්ම මල් හා විසිතුරු පැළ වගාවන් දියුණු කරලා කර්මාන්තයක්‌ දක්‌වා එය ප්‍රවර්ධනය කිරීමටත් උද්භිද උද්‍යාන ඉමහත් දායකත්වයක්‌ සැපයුවා. 1970 ගණන්වල බටහිර ජර්මානු ආධාර හා තාක්‌ෂණ දැනුම ලබා ගෙන මේ රටේ මල්වගා කර්මාන්තයට මූලික අඩිතාලම දැම්මේ උද්භිද උද්‍යානයි. අලුතින් හඳුන්වා දුන් නව උඩවැඩියා ප්‍රභේද ප්‍රචාරණය සඳහා ලංකාවේ ප්‍රථම පටක රෝපණ විද්‍යාගාරය පිහිටෙව්වෙත් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තුළයි. නව ප්‍රභේද නිෂ්පාදනය, ශෂ්යර විද්‍යා, ව්‍යාධි විද්‍යාව හා පසු අස්‌වනු ක්‍රම ආදිය ගැන පර්යේෂණ, මෙන්ම තාක්‌ෂණ දැණුම ලබාදීමද උද්භිද උද්‍යානවල මල් වගා අංශයෙන් කෙරෙනවා. 2005 වර්ෂයේ සිට දේශීය මල් හා විසිතුරු පැළ කර්මාන්තය නඟා සිටුවීම සඳහා උද්භිද උද්‍යාන මගින් සුවහස්‌ මල් නැමැති ජාතික මල් හා විසිතුරු පැළ සංවර්ධන ව්‍යාපෘතිය දියත් කර තිබෙනවා. මල් වගා ගොවීන් සංවිධිත කිරීම, සවි බල ගැන්විම හා ඔවුන්ගේ වෙළෙඳ පොළ සපයා දීම මේ ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්‌කයි.

මේ රටේ සියලුම ශාක නාමකරණය කර ග්‍රන්ථාරූඪ කිරීම ද පේරාදෙනිය උද්භිද උද්‍යායනය පිහිටවූ දින සිටම උද්භිද උද්‍යානවලින් කෙරෙන ඉතා වැදගත් කටයුත්තක්‌. ශ්‍රී ලංකාවෙන් මේ දක්‌වා වාර්තාවී ඇති විවෘත බීජ, ආවෘත බීජ, මීවන හා පර්ණාංග ශාක සියල්ලම වෙලුම් 16 කින් සමන්විත ශාක සංග්‍රහයක්‌ මගින් දැනටමත් ප්‍රකාශයට පත් කරලා අවසානයි. ජාතික ශාකාගාරයෙන් මෙහෙයවන ශාක සංගණන හා අදාළ පර්යේෂණ මගින් ශ්‍රී ලංකාවේ දැනට වාර්තාවී ඇති සියලුම ශාක ගැන නිවැරදි තොරතුරු ලබා ගත හැකි අතර මේ ක්‍රියාවලියේ දී එකතු කරන ලද ශාක නිදර්ශක 168,000 ට අධික සංඛ්‍යාවක්‌ පේරාදෙණියෙ රාජකීය උද්භිද උද්‍යානය තුළ පිහිටුවා ඇති ජාතික ශාකාගාරයේ තැන්පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් එකතු කරගත් නිදර්ශකයක්‌ ජාතික ශාකාගාරයේ නිදර්ශකයක්‌ එක්‌ක සැසඳෙන්නෙ නැත්නම් එක්‌කෝ ඒක ශ්‍රී ලංකාවේ මීට කළින් වාර්තා වී නැති ශාකයක්‌. එහෙම නැත්නම් එය මුළු ලෝකටයම අලුත් ශාකයක්‌ විය හැකියි.

මෙම ශාක ගවේෂණ කටයුතුවලට අමතරව ශ්‍රී ලංකාවේ දේශීය ශාක පිළිබඳ රතු දත්ත පොත සැකසීමද ජාතික ශාකාගාරය කේන්ද්‍ර කොට ගෙන සිදුවෙනවා. මෙයට පරිසර අමාත්‍යාංශය මූල්‍යමය දායකත්වය සපයනවා.

ශ්‍රී ලංකාවේ දේශීය සපුෂ්ප ශාක විශේෂ 3,154 ක්‌ විතර තියෙනවා අලුත්ම දත්ත වලට අනුව මේවායෙන් සියයට හතලිස්‌ හතරක්‌ විතර විවිධ තර්ජනවලට ලක්‌වෙලා. මේවා ආරක්‌ෂා කරන්නට ඇති සුදුසුම ක්‍රමය ඒවා දකින්නට ලැබෙන ස්‌වභාවික පරිසර පද්ධති ආරක්‌ෂා කර ගැනීමයි. වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව සහ වන ජීවි සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් ඇප කැපවී විශාල මෙහෙයක්‌ ඉටු කරනවා. ඒත් ඇතැම් අවස්‌ථාවලදී මේ ස්‌ථානගත සංරක්‌ෂණ විධිය (
in-situ conservation) විතරක්‌ ප්‍රමාණවත් වන්නේ නැති බව ඉහත ඡේදයෙන් පෙනෙනවා. ස්‌ථානගත සංරක්‌ෂණ විධියට සමාන්තරව ඇති අනිත් ප්‍රධාන සංරක්‌ෂණ විධි ක්‍රමය වන්නේ ස්‌වාභාවික පරිසර පද්ධතියෙන් ශාක පිටතට ගෙනැවිත් උද්භිද උද්‍යරන වැනි සුදුසු පරිසරයක වවා සංරක්‌ෂණය කිරීමයි. මෙයට විතැන් සංරක්‌ෂණය (ex-situ conservation& ) කියා කියනවා.

මා අදහස්‌ කරන අන්දමට උද්භිද උද්‍යානවල ඉතාමත්ම වැදගත් අරමුණක්‌ වන්නේ විතැන් සංරක්‌ෂණයයි. මේ රටට ආවේණික ශාක වර්ග කිහිපයක්‌ අද මිහිපිට දකින්නට ලැබෙන්නේ පේරාදෙණියේ උද්භිද උද්‍යානයේ විතරයි. (
extinct in the wild) මේවා උද්භිද උද්‍යානයට ගෙනවිත් වවා නොතිබුණා නම් අද ඒවා මේ මිහිපිට නැති වෙන්න තිබුණා.

ඉතින් විතැන් සංරක්‌ෂණය මගින් අපේ රටේ ශාක සංරක්‌ෂණය කරන්නනම් අලුතින් තවත් උද්භිද උද්‍යාන පිහිටුවීමට අවශ්‍යයි. හේතුව මේ රටේ විවිධාකාර දේශගුණ කලාප වල විවිධ ශාක දක්‌නට ලැබෙන නිසා. හම්බන්තොට, අනුරාධපුර පැතිවල ඇති ශාක හක්‌ගල උද්‍යානයේ වවන්න යන එකවත් මස්‌කෙළියේ තියෙන ශාක ගම්පහ උද්‍යානයේ වවන්න යන එක වත් ඥාණාන්විත නැහැ. තවත් උද්භිද උද්‍යාන කිහිපයක්‌ දිවයිනේ සුදුසු තැන්වල ආරම්භ කරන්නට තීරණය කර ඇත්තේ මේ නිසායි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා මහාචාර්ය සාවිත්‍රි ගුණතිලක, මහාචාර්ය නිමල් ගුණතිලක යුවලට අනුව මේ රට විවිධ ශාක කලාප (
floral regions) 15 කට බෙදන්න පුළුවන්. අලුතින් උද්භිද උද්‍යාන ඇති කිරීමේදී මෙම කලාප නියෝජනය වෙන පරිදි ඒවාට සුදුසු ස්‌ථාන තෝරා ගැනීමටයි අදහස. ලංකාවේ ශුෂ්කම වියළි කලාපය නියෝජනය කරන්න හම්බන්තොට තෝරා ගත්තා. (දිවයිනේ අඩුම වර්ෂාපතනය (වාර්ෂික වර්ෂාපතනය මි.මී. 650 ට අඩු) ලැබෙන්නේ මේ ප්‍රදේශයටයි.) මෑතකදී මා සහ දක්‌ෂිනි පෙරේරා විසින් හඳුනාගන්නා ලද ලංකාවේ ඒක දේශික ශාක කලාප නමයෙන් එකක්‌ මෙම කලාපය වීමත් වැදගත්.

හම්බන්තොට ආසන්න මිරි-ජවිල ප්‍රදේශයේ නව උද්භිද උද්‍යානයක්‌ පිහිටුවීමේ වැඩ කටයුතු 2006 වසරේදී ආරම්භ වෙලා 2013 නොවැම්බර් මස විවෘත කරන්න යෙදුනා. එය නිදහසින් පසු ආරම්භ කරන ලද ප්‍රථම උද්භිද උද්‍යානයයි. ශ්‍රී ලංකාවේ වියළි කලාපයට හා අර්ධ ශුෂ්ක වියළි කලාපයට ආවේණික ශාක රැකගැනීමේ අරමුණු පෙරදැරිව අක්‌කර 300 ක භූමි භාගයක ආරම්භ කරන ලද මෙය ලංකාවේ විශාලතම උද්භිද උද්‍යානයත් වෙනවා.

හම්බන්තොට පැත්තේ උද්භිද උද්‍යානයක්‌ හදනවා කිව්වම බොහොමයක්‌ දෙනා බලන්නෙ වපර ඇහින්. මේ තරම් වියළි කලාපයක මොනවා වවන්නදැයි සමහරු අහනවා. මා ඒ අයට මතක්‌ කර දෙන්න කැමතියි විවිධ හේතු නිසා රට මැදට එන්න කලින් ශත වර්ෂ ගණනාවක්‌ අපි උද්‍යාන හැදුවේ වියළි කලාපයේ බව.

ඒ වගේම හම්බන්තොට පැත්තෙ මේ උද්‍යානය හදල තියෙනවා කිව්වම සමහරු හිතන්නේ ඒක පහුගිය කාලෙ කරපු දේශපාලනික ව්‍යාපෘතියක්‌ කියලයි. එහෙම පූර්ව නිගමනයකට ඇවිත් අසාධාරණ වගේම අසත්‍ය කරුණු මත පදනම්ව මේ උද්‍යානය විවේචනය කරන අයත් ඉන්නවා. (එම උද්‍යානයට රත්නපුරෙන් දිනකට වතුර ගැලුම් ලක්‌ෂ අටක්‌ ගේනවා, වවල තියෙන්නෙ ඔක්‌කොම තෙත් කලාපයේ ශාක ආදී අසත්‍ය කරුණු) ඒක හරිම කනගාටුදායක දෙයක්‌. බ්‍රිතාන්‍ය යුගයෙන් පස්‌සෙ දේශීය දැනුමෙන් අපේම විද්‍යාඥයින් විසින් අපේ ශාක විවිධත්වය සංරක්‌ෂණය උදෙසා අපේ රටේ ඉදිකරපු ප්‍රථම උද්භිද උද්‍යානය වන මෙයට තවදුරටත් උදව් දෙනවා වෙනුවට පටු විදියට ඒ දෙස බලන එක කොයිතරම් අවාසනාවන්ත තත්ත්වයක්‌ද?

2008 වසරේ ආරම්භ කරපු අවිස්‌සාවේල්ල ඉලුක්‌ඕවිට ප්‍රදේශයේ පිහිටා තිබෙන සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය මේ වසරේ ජනතා අයිතියට පත් කළා. මෙයත් අක්‌කර 105 ක වපසරියකින් යුක්‌තයි.

බොහෝ දෙනෙක්‌ දන්නෙ නැහැ අපේ රටේ වියළි කලාපයේත් ඉතා සුවිශේෂී ශාක විවිධත්වයක්‌ තියෙන බව. ඒ වගේම වියළි කලාපයේ තරම් ස්‌වභාවික වෘක්‌ෂලතා දර්ශ විනාශවන ප්‍රදේශ තවත් නැති තරම්. වියළි හා ශුෂ්ක ප්‍රදේශවල ඇති ශාක විතැන් සංරක්‌ෂණය (
ex situ conservation) කාලීනව ඉතා වැදගත්.

උද්භිද උද්‍යාන දිහා එක එක්‌කෙනා බලන්නෙ එක එක විදියට. ඒ ඒ කණ්‌ඩායම්වල තියෙන්නෙ විවිධ බලාපොරොත්තු. සාමාන්‍ය මහජනතාව බලන්නෙ ලස්‌සන මල් වවා ඇති මල්වතු විදියට. ඒ අය බලාපොරොත්තුවෙන්නෙ සුන්දර මල් පාත්ති ආදිය. කලාකාරයින් හා චිත්‍ර ශිල්පීන් වැනි අය එහි සුන්දරත්වය පසුබිම් කරගෙන විවිධ නිර්මාණ කරන්න උද්‍යානයට එනවා. කුරුල්ලන් හා අනිකුත් ජීවීන් අධ්‍යයනය කරන අය දකින්නෙ ඒ ජීවින් බහුලව දැකගන්න හා අධ්‍යයනය කරන්න කදිම තැනක්‌ කියල. උද්භිද විද්‍යාඥයින් ශාක හා ඒවායේ විවිධත්වය අධ්‍යයනය කරන්නයි උද්භිද උද්‍යානවලට එන්නෙ. විශ්වවිද්‍යාල හා අනිකුත් ශිෂ්‍යයින් හා පර්යේෂකයින් ඉගෙන ගැනීමට හා නිදර්ශක ලබාගැනීමට උද්භිද උද්‍යාන යොදාගන්නවා. උද්‍යානවල සේවය කරන විද්‍යාඥයින් ඉහත කී සෑම කණ්‌ඩායමකට උදව්කරන ගමන් ශාක විතැන් සංරක්‌ෂණය කරන සහ එවැනි කටයුතු ගැන පර්යේෂණ කෙරෙන ප්‍රධාන පර්යේෂණ මධ්‍යස්‌ථාන ලෙසයි උද්භිද උද්‍යාන දකින්නෙ. මේ සියලු කණ්‌ඩායම් එවැනි විවිධ දෑ උද්භිද උද්‍යාන වලින් බලාපොරොත්තු වෙන අතරේ බොහොමයක්‌ ප්‍රතිපත්ති සම්පාදකයින් දකින්නෙ උද්‍යානවල ඇති සංචාරක ආකර්ෂණය හා එයින් උපයාගත හැකි මුදල් ප්‍රමාණය විතරයි. සමහරුන් දකින්නෙ උද්‍යාsන කියන්නෙ රැකියා ලබාදීමට හැකි තැන් විදියටයි. තවත් සමහරෙක්‌ උද්‍යානවල තියෙන සංචාරක බංගලා ගැන විතරයි උනන්දුව. මේ කාගෙවත් වරදක්‌ කියන්න බැහැ.

උද්භිද උද්‍යාන නරඹන්න පසුගිය වසරේ (2014 ) මිලියන දෙකකට වැඩි දෙනෙක්‌ පැමිණියා. ඒ වගේම රුපියල් මිලියක 483 ක ආදායමකුත් උපයාගන්නට පුළුවන් වුණා. උද්භිද උද්‍යාන පාඩු ලබන ආයතන නොවෙයි.

සංචාරක ආකර්ෂණයක්‌ ඇති උද්භිද උද්‍යානවලින් මුදල් උපයන්න හැකි බව පෙනෙන සමහරුන්ට විවිධ අදහස්‌ හිතට එන බව පේනවා. සමහරුන්ට ඕනෑ මේ උද්භිද උද්‍යාන තේමා උද්‍යාන (
theme parks) විදියට වෙනස්‌ කරලා වැඩි වැඩියෙන් මුදල් හම්බු කරන්න. මට හිතෙන්නෙ ඒක හරියට රූමත් දක්‌ෂ ගුරුවරියක්‌ එයාගෙ ලස්‌සන ගැන හිතල නාටිකාංගනාවක්‌ හරි පුරඟනක්‌ හරි කරලා වැඩියෙන් සල්ලි හම්බකරන්න යනව වගේ වැඩක්‌.

උද්භිද උද්‍යානයක්‌ ප්‍රසිද්ධ වෙලා වැඩි වැඩියෙන් ජනතාව නැරඹීමට පැමිණීමට සෑහෙන කාලයක්‌ ගතවෙනවා. හම්බන්තොට මිරි-ජවිල උද්භිද උද්‍යායනය ගැන තාම බොහෝ දෙනා දන්නේ නැති නිසා එය නරඹන්න එන සංඛ්‍යාව අඩුයි. ඇත්තටම තාමත් ගම්පහ උද්‍යා නයට එන නරඹන්නන් සංඛ්‍යාවත් එතරම් විශාල නැහැ. හක්‌ගලට ජනතාව ඉස්‌සර ආවේ අප්‍රේල් උත්සව සමය හා අගෝස්‌තු කාලය විතරක්‌ තුළදී වුණාට දැන් දැන් අවුරුද්ද පුරා පැමිණෙන නිසා ආදායම වැඩිවෙලා තියෙනවා. ආදායම ගැන විතරක්‌ හිතලා උද්භිද උද්‍යානයක වැදගත්කම මනින්න බැහැ. ඒවායෙන් වන සේවය මිල කළ නොහැකියි. අනික අපේ රටේ උද්භිද උද්‍යානවලට ප්‍රවේශ පත්‍ර නිකුත් කරලා ගාස්‌තු අයකරන්න පටන්ගත්තේ 1973 දී. එතකං උද්භිද උද්‍යානවලට නොමිලේ තමයි ඇතුල් වුණේ. තාමත් සමහර රටවල උද්භිද උද්‍යානනවලට ඇතුළුවීමේ ගාස්‌තුවක්‌ නැහැ.

ඒ කොහොම වෙතත් මෙම උද්භිද උද්‍යාන මගින් මේ රටේ ශාක සංරක්‌ෂණය, නිපුණතා සංවර්ධනය වෙන ගමන් වක්‍රව හා Rජුව ආර්ථික සංවර්ධනයට ද දායක වෙන බවට නම් සැකයක්‌ නැහැ.

සිරිල් විඡේසුන්දර
උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ
හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.