කැම්පස්‌වලටත් එච්.අයි.වී ටෙස්‌ට්‌ එක අනිවාර්යයි
- සෞඛ්‍ය අමාත්‍ය රාජිත

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමේදී එච්. අයි. වී ඇතුළු අනෙකුත් රෝග සම්බන්ධයෙන් රුධිර පරීක්‍ෂාව අනිවාර්ය කිරීමට රජය බලාපොරොත්තු වන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම රුධිර පරීක්‍ෂාව එච්. අයි. වී. සඳහා බව නොපවසා සිදු කිරීමට අදහස්‌ කරන බව කී ඇමැතිවරයා සියලු පාසල් සිසුන් ද, තරුණ සංවිධානවල සාමාජිකයන් ද මෙවැනි රුධිර පරීක්‍ෂාවකට ලක්‌ කෙරෙනු ඇතැයි ප්‍රකාශ කළේය.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳව පාසල් විෂය මාලාවට ඇතුළත් කරන බවද කී ඇමැතිවරයා උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සාමාන්‍ය පෙළ විභාගයේදී සෞඛ්‍ය විෂයය සාමාර්ථ වීම අනිවාර්ය කරන බවද ප්‍රකාශ කළේය.

එච්අයිවී ආසාදිත අය අතර වයස අවුරුදු 9 දක්‌වා දරුවන් හැත්තෑ එක්‌දෙනෙක්‌ සිටින බවද ඒ අතර ගැහැනු දරුවන් 31 ක්‌ සහ පිරිමි දරුවන් 40 ක්‌ සිටින බවද ඇමැතිවරයා කීය.

වයස අවුරුදු 10-14 අතර පිරිමි දරුවන් 5 ක්‌ සහ ගැහැනු දරුවන් 2 ක්‌ ද වයස අවුරුදු 15 -19 අතර ගැහැනු දරුන් 6 ක්‌ සහ පිරිමි දරුවන් 7 ක්‌ සිටින බවද ඇමැතිවරයා සඳහන් කළේය.

වයස අවුරුදු 20 -29 අතර පිරිමි දරුවන් 319 ක්‌ සහ ගැහැනු දරුවන් 159 ක්‌ එච්අයිවී ආසාදිතයන්ව සිටින බව ද වයස අවුරුදු 30 -39 අතර පිරිමි 496 ක්‌ ගැහැනු 326 ක්‌ ද, වයස අවුරුදු 40 ට ඉහළ ගැහැනු 290 ක්‌ හා පිරිමි 527 ක්‌ සිටින බවද ඇමැතිවරයා කීවේය. වයස්‌ කාණ්‌ඩය සඳහන් නොවන පිරිමි 31 ක්‌ සහ ගැහැනු 26 ක්‌ ද ලෙස මේ වනවිට එච්අයිවී ආසාධිතයන් 2265 ක්‌ ශ්‍රී ලංකාවෙන් හඳුනා ගෙන තිබෙන බව ද කීවේය.

එච්අයිවී ආසාදිතයන් අතර පාසල් සිසුන් 20 ක්‌ සිටින අතර 2010 සිට 2015 ඔක්‌තෝබර් දක්‌වා එච්අයිවී ආසාදිතයන් 1062 ක්‌ හඳුනාගෙන තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.