මැදපෙරදිග සල්ලාලයන්ට
දෙන දඬුවම් මොනවාද?

ගත වූ වසර පහක (2010-2014) තුළ මැදපෙරදිග රටවලදී ශ්‍රී ලාංකීය කාන්තාවන් 199 දෙනකු ලිංගික අපයෝජනයන්ට ලක්‌ව තිබෙන බව ඊයේ "දිවයින" වාර්තා කර තිබිණි. මේ බව කියා තිබුණේ විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරලය. ඒ පාර්ලිමේන්තුවේදී ඒ ගැන ප්‍රකාශයක්‌ කරමිනි. පෙනෙන්නට තිබෙන පරිදි තත්ත්වය බරපතළ බව ඇය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛනවලින්ම පෙනේ. ඒ අනුව 91 දෙනකු සවුදි අරාබියේදී ද, කුවේට්‌හිදී 40 ක්‌ද, ජෝර්දානයේදී 26 ක්‌ ද, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේදී 17 ක්‌ද, කටාර්හිදී කාන්තාවන් 11 දෙනකු ද ඔමාන් හි කාන්තාවන් 07 දෙනකු ද බහරේනයේදී 04 දෙනකු ද ලෙබනනයේදී 03 ක්‌ ද අපයෝජනයට ලක්‌ව තිබෙන බව අපිදු සංවේගයෙන් වාර්තා කර තබමු.

ඇඟට ඇණ බස්‌සවා, වස විස පොවා, මහල් නිවාසවලින් බිමට ඇද දමා, අමානුෂික ලෙස ගෙල, ශරීරය කපා මරා දමනවා මදිවට - මෙරටින් විදෙස්‌ගත වන කාන්තා ශ්‍රමිකයන් දූෂණය කිරීම ද විලාසිතාවක්‌ බවට පත්ව ඇති බව පෙනේ. මිනිසකු සමඟ පෙම් සබඳතාවකට මුල පිරීම ගල් ගසා මරා දැමීමට තරම් දරුණු අපරාධයක්‌ වන විට කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක්‌කරන අයට මැදපෙරදිග රටවල් නියම කරන ශරියා දඬුවම කුමක්‌ද යන්න ප්‍රශ්න කරන්නට කවරකු හෝ නැත. 199 දෙනකු ලිංගික අපයෝජනයට ලක්‌ව ඇති බව පාර්ලිමේන්තුවේදී කියන තෙක්‌ම ඒ වෙනුවෙන් මේ රටේ වගකිවයුතු ආයතන තුළ මැදිහත්වීමක්‌ පිළිබඳව ද වාර්තා වී නැත. තලතා අතුකෝරල ඇමැතිනිය මේ ගැන ප්‍රකාශ කර තිබුණේද, මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය. මේ දිනවල හොරු අල්ලනවා හැරෙන්නට වෙන වැඩක්‌ නැති නිසා රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාට මැදපෙරදිග ප්‍රශ්න අමතක වී ඇති බවක්‌ පෙනෙන්නට තිබේ.

කෙසේ හෝ මේ කියන වාර්තාවලින් දැක්‌වෙන හැටියට මැදපෙරදිග හැම රටක්‌ම මේ "ලිංගික අපයෝජන" ක්‍රියාවලියට හවුල් වී ඇති බව පෙනේ. එයින් පෙනෙන්නේ මැදපෙරදිග රස්‌සා සොයාගෙන යැමට පටන් ගත් මුල්ම අවධියට වඩා මේ වන විට තත්ත්වය නරක අතට හැරී තිබෙන බවය. මුල් යුගයේ මෙවැනි කතා අසන්නට හෝ ලැබුණේ නැත. නොඑසේ නම් "වාර්තා වී" නැත.

මැදපෙරදිග රටවල වාසය කරන්නේ තෙල් නිසාම ධන කුවේරයන් වූ පිරිසකි. මේ රටේ ශ්‍රමිකයන් ඇදී යන්නේ ඔවුනට බැලමෙහෙවරකම් කරනු පිණිසය. කවර අපා දුක හෝ විඳ මේ ක්‍රමයෙන් හරි හම්බ කරන්නේ මාලිගා තනන්නට නොවේ. යාන්තම් වේල කා හොඳින් සතුටින් ජීවත් විය හැකි පරිසරයක්‌ තනන්නටය. මෑතකදී කැකිරාවේ ජයවතී නමැති අහිංසක කාන්තාවක්‌ කුවේටයේදී ඝාතනය කර තිබිණි. ඇය එරට රැකියාවකට ගොස්‌ තිබුණේ සිය දියණියගේ විවාහ මංගල්‍යය සඳහා මුදල් සොයා ගැනීමේ අදහසිනි. ගෘහ සේවයට මැදපෙරදිග රටවල් කරා යන බොහෝ දෙනකුට ඇත්තේ එවැනි අහිංසක ප්‍රාර්ථනාවන්ය.

මෑතකදී විදෙස්‌ රැකියා ඇමැතිවරිය කියා තිබුණේ අඩු වැටුප් සහිත කිසිදු රටකට ශ්‍රමිකයන් යෑවීමට කටයුතු නොකරන බවය. අපේ විශ්වාසය මේ වැඩපිළිවෙළ ඊට වඩා පුළුල් එකක්‌ විය යුතු බවය. හොඳ වැටුප්, ශ්‍රමිකයාගේ ආරක්‍ෂාව, ඔවුන්ගේ සුබසාධනය මේ ආදී බොහෝ දේ ගැන වැඩි අවධානයක්‌ යොමුකරන රටවලට පමණක්‌ ශ්‍රමිකයන් යෑවිය යුතුය.

අනෙක්‌ කාරණය මේ ශ්‍රමිකයන් රට පැටවීමේ ක්‍රමවේදයේ ඇති අවිධිමත් බවයි. බොහෝ රටවල ශ්‍රමිකයන්ට අත්විඳින්නට සිදුවන බොහෝ කරදර පිළිබඳව හරිහැටි වාර්තා නොවන්නේ, ඒ කාරියට අත ගසා ඇති හොර ඒජන්සි නිසාය. ශ්‍රමිකයන්ට සිදුවන හිරිහැරවලදී ඔවුන් විදෙස්‌ගතව ඇති ඒජන්සිය ඒ වගකීම නොගන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ඒජන්සිවල බලපත්‍ර අහෝසි කිරීමේ දැඩි තීන්දුවකට පැමිණිය යුතුය. මෙවැනි සරල ක්‍රියාමාර්ගවලින් ශ්‍රමිකයන් බේරා ගැනීමට කටයුතු කරනවා විනා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නොවන බව අපේ හැඟීමයි. එසේ නැත්නම්, තෙල් සල්ලි නිසා තෙල් මන්ද මෝරපු සල්ලාලයන් හා මිනීමරුවන් අපේ ශ්‍රමිකයන් බිල්ලට ගැනීම වැළැක්‌විය නොහැක.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.