ජාතික ආරක්‍ෂාව බිඳ වැටිලා! එල්ටීටීඊය
යළි හිස ඔසවනවා යෑයි කියමින්
කොළඹ ඉඳන් කෑගසන අන්තවාදීන් උතුරට ඇවිත්
ඒ ජනතාව හමුවන්න උතුරට යන්න කැමතිනම්
වාහන දෙන්නම්
තෙල් දෙන්නම්
නැව් දෙන්නම්
ඒත් බැරිනම් ගුවන් යානා වුණත් දෙන්නම්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මම එන බව ඒ ජනතාවට නොදන්වායි මා එතැනට ගියේ. ගොස්‌ ඒ අය හමුවී කතා බහ කළා. මම ඒගොල්ලන්ගේ ගෙවල් ඇතුළට ගියා. ඒගොල්ලෝ කන බොන භාජන, බත් මුට්‌ටියත් මම බැලුවා. ළිපත් බැලුවා. ඒ දරුවන්ගෙන් ඇහුවා කොහොමද ඉස්‌කෝලේ ඉගෙන ගන්නේ කියලා. දෙමව්පියන්ගෙන් ඇහුවා කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඒ සියලු දෙනා අත් උස්‌සලා එක හඬින් කතාවක්‌ කිව්වා. අවුරුදු 25 කට කලින් අපිට හිටපු තැනට ගෙනෙහිල්ලා දාන්න කියලා ඉල්ලුවා.

ජාතික ආරක්‍ෂාව බිඳ වැටිල, එල්ටීටීඊයට ඔළුව උස්‌සන්න අපේ ආණ්‌ඩුව ඉඩ දෙනවා කියන අන්තවාදීන්ට මම ආරාධනා කරනවා උතුරට ඇවිල්ල උතුරේ ජනතාව හමුවෙන්න කියා යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ යාපනයේ පෙරේදා (20 වැනිදා) පැවැති රාජ්‍ය නත්තල් උත්සව අවස්‌ථාවට සහභාගි වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

රාජ්‍ය නත්තල් උත්සවය යාපනයේ පවත්වන මේ අවස්‌ථාවේදී එයට සහභාගි වීමට ලැබීම ගැන ඉතාමත් සතුටු වෙමින් ඔබ සියලු දෙනාටම සුබ නත්තලක්‌ වේවායි ප්‍රථමයෙන් සුබ ප්‍රාර්ථනා එක්‌ කරනවා. එලෙසම මේ අවස්‌ථාවට මට ආරාධනා කිරීම පිළිබඳව ජෝන් අමරතුංග අමාත්‍යතුමාට මගේ ස්‌තුතිය පුද කරනවා.

ලෝකයේ බිහිවූ සියලු ආගම්වල සහ ආධ්‍යාත්මික දර්ශනයන් තුළ මූලිකම ඉගැන්වීම වන්නේ සාමය සංහිඳියාව සහ මානව දයාවයි. නත්තල් දිනයෙනුත් කියවෙන්නේ මුළු ලෝක වාසී සියලු දෙනාටම සාමය මානව දයාව ආදරය සහ කරුණාව පැතිරවීම පිළිබඳවයි. ඡේසු සමි¹ණන් ලෝකයට සාමය ලබාදීම සඳහා මහා පරිත්‍යාගයක්‌ කැපවීමක්‌ කළ බව අප දන්නා කාරණයක්‌ම ලෝකය පුරා ආගම් සහ භාෂාවන් දහස්‌ ගණනක්‌ තිබෙනවා. ලෝක ජනගහනයෙන් වැඩි පිරිසක්‌ ක්‍රිස්‌තියානි හෝ කතෝලික ආගම්වලට අයත් වනවා.

අපේ රටේ මුළු ජනගහනයෙන් සියයට 7 ක්‌ පමණ කතෝලික ක්‍රිස්‌තියානි ජනතාව සිටිනවා. මුළු ලෝකවාසී ජනතාව සමඟ අපේ රටත් නත්තල සමරනවා. සෑම මිනිසෙකු සේම සෑම සත්වයෙකුද නිදහස අගයනවා. නත්තලෙහි පණිවුඩය වන්නේ සාමය, සමාදානය ආදරය සහ කරුණාවයි. ඒ නිසා මේ අසිරිමත් නත්තලේදී ලක්‌වාසී සියලු දෙනා ඒ පණිවිඩය බෙදා දීමට එක්‌විය යුතුයි. මනුෂ්‍යත්වය බිහිවන්නේ එවිටයි.

ඒ සාමයේ පණිවිඩය ලෝකයට දෙන අවස්‌ථාවක උතුරට පැමිණෙන්නට ලැබීම පිළිබඳව මා සතුටු වනවා. අපි සෑම වසරකම දෙසැම්බර් 25 දාට නත්තල සමරනවා සේම වෙසක්‌ පුරපසළොස්‌වක පොහෝදාට බුදුන් වහන්සේගේ තෙමඟුල සිහි කරනවා. තවද ජනවාරි මාසේ 14 වැනිදා තෛපොංගල් උත්සවය සමරනවා. ඒ වගේම අනිකුත් ආගම්වලත් ඒ විශේෂිත දිනවල ඒ ඒ සැමරීම් සිදුකරනවා.

අපි සෑම කෙනෙක්‌ම ඒ සෑම දේට එකතු වෙනවා. සියලු ආගමික දර්ශන තුළ කියවෙන්නේ සාමය, සමාදානය සහ මනුෂ්‍යත්වයයි. කුමන ආගමක කුමන භාෂාවකට අයත් වුණත් සෑම කෙනෙක්‌ම සහෝදරත්වයෙන් සහ සාමකාමීව මිත්‍රශීලීව ජීවත් විය යුතු බව ඒ ඒ ආගමික දර්ශන තුළ කියෑවෙනවා.

උතුර දකුණ ලෙස නොබෙදී එක්‌ රටක්‌ යන හැඟීමෙන් සියල්ලන්ටම ජීවත් වීම සඳහා රටේ සාමය ස්‌ථාපිත වී තිබිය යුතුයි. මේ නත්තලේදී අපි ලබාදෙන විශේෂිත පණිවිඩය වන්නේ ඒ සාමය රැක ගැනීමේ අගයයි.

නව රජය බලයට පත්වී වසරකට ආසන්න වෙනවා. රටේ සාමය, සංහිඳියාව සහ ජාතික එකමුතුව ගොඩනැඟීමට රජයක්‌ විදිහට අපි කැපවී සිටිනවා. සාමය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා රජය ගෙන යන ප්‍රතිපත්තිය සහ දර්ශනය මේ රටේ බුද්ධිමත් උගත් පිරිස්‌ වගේම පොදුවේ මහජනතාව පැහැදිලිව තේරුම් ගෙන තිබෙනවා.

එහෙත් මෙම වැඩපිළිවෙළ තේරුම් ගැනීමට නොහැකි ඉතා සුළු පිරිසක්‌ මේ රටේ සිටිනවා. අපි ඒ අය හඳුන්වන්නේ අන්තවාදීන් විදිහටයි. කොළඹ නගරයේ ඕනෑම තැනක සිට ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ තියලා ඕන කෙනෙකුට රජය විවේචනය කරන්න පුළුවන් වාතාවරණයක්‌ දැන් තිබෙනවා.

මේ රටේ කතා කිරීමේ සහ ලිවීමේ නිදහස අපි සහතික කර තිබෙනවා. ඒ වාගේම මාධ්‍යයටත් ඕනෑම දෙයක්‌ පළ කිරීමේ නිදහස අප ලබාදී තිබෙනවා. තවද පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ මේ ඕනෑම තැනකත් කතා කිරීමේ නිදහස තිබෙනවා. නමුත් ඒ නිදහස සැමවිටම පාවිච්චි කළ යුත්තේ ජාතික සමගිය සහ සංහිඳියාව රැක ගැනීම සඳහායි.

ඕනෑම කෙනෙක්‌ නිදහසේ කතාකළ පමණින් ඒ සෑම කෙනෙක්‌ම මේ රටේ තිබෙන සෑම ප්‍රශ්නයක්‌ම තේරුම් අරගෙන තිබෙනවා කියලා අප විශ්වාස කරන්නේ නැහැ. අපේ ආණ්‌ඩුව බලයට පත්කරන්න උතුර දකුණ නැඟෙනහිර, බටහිර සියලු ජනතාව ඡන්දය පාවිච්චි කළා. ඒ සියල්ලන්ටම පොදු බලාපොරොත්තු තිබෙනවා. අංක එක වන්නේ රටේ සාමය, සංහිඳියාව සහ ජාතික එකමුතුව ගොඩනැඟීමයි. ඊළඟට රටේ දුගී බව හා දුප්පත්කම නැති කිරීමයි. අපේ රට ලෝකයේ අනෙක්‌ සංවර්ධිත රටවල් මට්‌ටමට සංවර්ධනය වූ රටක්‌ බවට පත් කිරීම තවත් අපේක්‍ෂාවක්‌.

ඒ පොදු අරමුණු අපේ නිල කාලය තුළ අපි ඉෂ්ට කරනවා. අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ තිබෙන නියමිත කාලය වන වසර පහක කාලය තුළ ඒ වගකීම් ඉටුකිරීම සඳහා තමයි අපි ජනතාවගෙන් බලය ඉල්ලා සිටියේ. අපි ඒ දේ වසරකින් කරනවා කියලා කිව්වේ නැහැ. වසර පහක්‌ ගතවන තැන අපි කළ දේවල් කුමන ආකාරයට සාර්ථක ද කියලා ආපසු හැරිලා බලන්න පුළුවන්.

මම ඉහතින් ද සඳහන් කළ මේ රටේ අන්තවාදී සුළු පිරිසක්‌ කියනවා අපේ රජය බලයට පත්වුණාට පස්‌සේ මේ රටේ ජාතික ආරක්‍ෂාව කඩා වැටිලා කියලා, එයාලා කියනවා අපි ආපහු මේ රටේ යුද්ධයක්‌ ඇති කරන්න හදනවා කියලා. ඒ අන්තවාදීන් කියනවා මේ රටේ නැවත එල්ටීටීඊයට ඔළුව උස්‌සන්න පටන් අරගෙන කියලා.

මම ඉතා පැහැදිලිව කියනවා මේ රටේ ජාතික ආරක්‍ෂාව ශක්‌තිමත් වෙලයි තියෙන්නේ. අපේ රජයේ කාලසීමාව තුළ මේ රටේ නැවත යුද්ධයක්‌ ඇතිවෙන්න කිසිසේත් අපි ඉඩ තියන්නේ නෑ කියන එකට මම සහතික වෙනවා. මේ රටේ ජනතාවට සතුටින් ඉන්න පුළුවන් පරිසරයක්‌ ගොඩනඟන්න අපි ජීවිත පරිත්‍යාගයෙන් අපේ වගකීම සහ යුතුකම් ඉටුකරනවා. මේ රටේ අවුරුදු 26 ක බරපතළ යුද්ධයක්‌ තිබ්බා. 2009 දී යුද්ධය අවසන් වී සාමය ඇති වුණා. නමුත් ප්‍රශ්නය අවසන් වුණේ නෑ.

යුද්ධය ඇති වීමට හේතු සොයා බලා ඊට පිළියම් කිරීම අත්‍යවශ්‍යයි. මේ රටේ ජාතික ආරක්‍ෂාව බිඳ වැටිලා කියන අය යුද්ධය ඇති වීමට හේතු සොයා බැලිය යුතුයි. ඒ නිසයි මම කියන්නේ යුද්ධය අවසන් වුණා සාමය ඇති වුණා එහෙත් ප්‍රශ්නය ඉවර වුණේ නෑ කියලා.

ජාතික ආරක්‍ෂාව බිඳ වැටිලා එල්ටීටීඊයට ඔළුව උස්‌සන්න අපේ ආණ්‌ඩුව ඉඩ දෙනවා කියන අන්තවාදීන්ට මම ආරාධනා කරනවා උතුරට ඇවිල්ලා උතුරේ ජනතාව හමුවෙන්න කියලා. ඒ ගොල්ලන්ට කොළඹ ශාලාවක්‌ ඇතුළට වෙලා ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ තියන්න එච්චර වියදමක්‌ යන්නේ නැහැ. ඒ අයට කොළඹ ඉඳන් උතුරට එන්න වාහනවලට තෙල් දෙන්න පුළුවන්. කොළඹ ඉඳලා එන්න වාහන දෙන්නත් පුළුවන්. කොළඹ ඉඳලා මුහුදෙන් එන්න ඕන නම් මුහුදෙන් එන්නත් මට නැවක්‌ දෙන්නත් පුළුවන්. ඒ දෙකෙන්ම එන්න බැරිනම් උඩින් එන්න ගුවන් යානයක්‌ දෙන්න පුළුවන්. මම ඒ අයට කියනවා අවුරුදු 25 ක්‌ තිස්‌සේ අවතැන්වෙලා හිටිය උතුරේ ජනතාව හමුවෙන්න කියලා.

මම අද ආවේ නත්තල් උත්සවයටයි. නමුත් විජයකලා මහේෂ්වරන් ඇමැතිතුමිය සහ අංගජන් මන්ත්‍රීතුමා අවතැන් කඳවුරුවල ඉන්න මේ ජනතාවත් හමුවෙන්න කියලා මගෙන් ඉල්ලීමක්‌ කළා. ඒ නිසා අවතැන් කඳවුරුවල ඉන්න ජනතාව හමුවෙන්න මම ගියා.

මම එන බව ඒ ජනතාවට නොදන්වායි මා එතැනට ගියේ. ගොස්‌ ඒ අය හමුවී කතා බහ කළා. මම ඒගොල්ලන්ගේ ගෙවල් ඇතුළට ගියා. ඒගොල්ලෝ කන බොන භාජන, බත් මුට්‌ටියත් මම බැලුවා. ළිපත් බැලුවා. ඒ දරුවන්ගෙන් ඇහුවා කොහොමද ඉස්‌කෝලේ ඉගෙන ගන්නේ කියලා. දෙමව්පියන්ගෙන් ඇහුවා කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඒ සියලු දෙනා අත් උස්‌සලා එක හඬින් කතාවක්‌ කිව්වා. අවුරුදු 25 කට කලින් අපිට හිටපු තැනට ගෙනෙහිල්ලා දාන්න කියලා ඉල්ලුවා. මම කොළඹ ඉඳන් කෑගහන අන්තවාදීන්ට කියනවා උතුරට ඇවිල්ලා ඒ ජනතාව හමුවෙලා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ඒ ප්‍රශ්නය කොතැනද තියෙන්නේ කියලා තේරුම් ගන්න කියලා. ඒ පිළිබඳ ප්‍රධාන කාරණයක්‌ මම අද විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන.

ඉදිරි මාස හයක කාලයක්‌ තුළ මේ අවුරුදු 25 ක්‌ තිස්‌සේ අවතැන් වෙලා ඉන්න මේ ජනතාවගේ ප්‍රශ්නය විසඳන්න මම සියලු කටයුතු කරනවා. මේ සඳහා මම හදිසි කාර්යය සාධක බළකායක්‌ පත් කරනවා. මේ සඳහා දේශපාලන නායකත්වයන්, හමුදාව, පොලිසිය, ත්‍රිවිධ හමුදාව සියල්ල එකතු කර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්නය වහ වහා විසඳිය යුතු ප්‍රශ්නයක්‌ කියන එක මමත් තේරුම් අරගෙන තිබෙනවා. කෑගහන අයටත් කියනවා බොරුවට කෑගහන්නේ නැතුව ප්‍රශ්නය තේරුම් ගන්න කියලා. ජාතික ආරක්‍ෂාව බිඳ වැටිලා කියල ඉක්‌මනින් ආණ්‌ඩුවක්‌ හදන්න ඔය අන්තවාදීන් බලාපොරොත්තු වෙනවා. අන්තවාදීන්ට ආණ්‌ඩු හදන්න මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ.

පාර්ලිමේන්තු කුමන්ත්‍රණවලින් මේ රටේ අලුතෙන් ආණ්‌ඩු හදන්න මමත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ඉඩ තියන්නේ නැහැ. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ වන එක්‌සත් ජාතික පක්‍ෂයත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් එකට එකතු වෙලා ආණ්‌ඩුව කරන්නේ ඔබ සැම කෙනෙක්‌ම දැක්‌කා උතුරේ ජනතාව නියෝජනය කරන ද්‍රවිඩ සන්ධානය අපේ අයවැය සම්මත කරන්න ඡන්දය පාවිච්චි කළා. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු සංඛ්‍යාව 225 යි කියලා ඔබ දන්නවා. එයින් 160 ක්‌ම අපිට ඊයේ මුණගැසුණ බව ඔබ දන්නවා. ජනතාවගේ ඡන්දයෙන් මිසක්‌ කුමන්ත්‍රණවලින් ආණ්‌ඩුව හදන්න දෙන්නේ නැහැ කියලා මම ඒ සියලු දෙනාට කියනවා.

මේ කෑගහන සෑම කෙනෙකුටම මම ආරාධනා කරනවා රට වෙනුවෙන් වැඩ කරන්න එකට එකතු වෙන්න කියලා. රටේ ජනතාවගේ නිදහස, සාමය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා එකතු වෙන්න මේ රටේ දුගී බව දුප්පත්කම නැති කරන්න එකතු වෙන්න. මේ රට සංවර්ධනය කරන්න එකතු වෙන්න. මේ රටේ නැවත යුද්ධයක්‌ ඇති නොවීමට කටයුතු කරන්න සියලු දෙනා එකට එකතු වෙන්න කියලා.

මේ උතුම් නත්තලේ මේ රටේ ජනාධිපතිවරයා විදියට ප්‍රධාන මහජන සේවකයා විදියට මම රටේ ජනතාවට දෙන පණිවිඩය එයයි. ඡේසු සමි¹ණන්ගේ ප්‍රේමය, ආදරය, මානව දයාව ඇති කවුරුත් තේරුම්ගත යුතුයි. ඒ උතුම් අරමුණ අප විසින් ඉටුකළ යුතුයි.

මීට දවස්‌ හයකට පෙර මම වතිකානුවට ගොස්‌ අති උතුම් µ්‍රeන්සිස්‌ පාප් වහන්සේ හමුවුණා. උන් වහන්සේ ශ්‍රී ලංකා ජනතාවට සාමය සහ සමාදානය පිළිබඳව ආශීර්වාදයේ පණිවුඩය මා වෙත ලබා දුන්නා. මේ රටේ සාමය ස්‌ථිරව පවත්වා ගැනීම සඳහා සැමවිටම උන්වහන්සේගේ සම්පූර්ණ සහයෝගය සහ ආශීර්වාදය තිබෙන බව උන්වහන්සේ අනුශාසනා කළා.

යාපනයට පැමිණි අවස්‌ථාවේ රදගුරුතුමා ඇතුළු ඒ පූජකතුමන්ලා හමුවීමට ලැබීම ගැන මා ඉමහත් සතුටට පත්වෙනවා. උන්වහන්සේලා දෙන ලද අනුශාසනා සහ ආශීර්වාදයන් අපි ගෞරවයෙන් පිළිගන්නවා. මේ අවස්‌ථාව ලබාදීම පිළිබඳව ජෝන් අමරතුංග අමාත්‍යතුමා ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන්ටත් සියලු දෙනාටත් මගේ ගෞරවය පුදකරමින් ඔබෙන් සමුගන්නවා. ස්‌තුතියි. තෙරුවන් සරණයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.