දකුණේ නත්තල අරගෙන මෛත්‍රී උතුරට ගිය හැටි

උඳුවප් මාසයේ සීතල පරයමින් නත්තල් අසිරිය කරළියට පැමිණියේය. එහි තේජස උණුසුම තවමත් පහව නොගිය සෙයකි. වෙනදාටත් වැඩියෙන් නත්තල් උණුසුම මෙරට කිතුණු බැතිමතුන්ගේ හදවත්වලට දැනෙමින් තිබුණු අයුරක්‌ රටේ හැම තැනින්ම දිස්‌ විය. ඔවුහු කති. බොති. ප්‍රීති වෙති.

රටම එසේ නත්තල් අසිරියෙන් සැරසෙද්දී රාජ්‍ය නත්තල් උත්සවය පැවැතියේ යාපනයේය. තමන් නිදා සිටින අතරේ නත්තල් සීයා පැමිණ තම කොට්‌ටය ළඟින් තෑගි තියා යනු ඇතැයි දරුවෝ විශ්වාස කරති. දෙමවුපියෝ දරුවන්ට එසේ කියා ඇත.

යාපනයේ රාජ්‍ය නත්තල් උත්සවයට කොළඹින් නෑදැයෝ ගියේද තෑගි බෝග පිරිවරාගෙනය. ඒ නෑදැ පිරිවරේ නායකයා රටේ ජනාධිපතිය. ජනාධිපති යාපනයේ නත්තල් උත්සවයට පැමිණෙනවා යෑයි යන සිතුවිල්ලම යාපනයේ ජනතාවට නත්තල්ය.

යාපනයේ ජනතාව එය ආශිර්වාදයක්‌ යෑයි සිතූහ. ඒ ආශිර්වාදය පිළිගැනීමට ඔවුහු සැදී පැහැදී සිටියහ. මේ එන්නේ දකුණේ පමණක්‌ නොව අප සැමගේ නායකයා යෑයි එම ජනතාවගේ සිත් සතන් තුළ විය. සෑම ජාතියකටම, සෑම ආගමකටම එක ලෙස සලකන ජනාධිපතිවරයෙක්‌ දැන් අපට සිටින බවට ඔවුන් තුළ විශ්වාසයක්‌ තිබේ. කොටින්ම අපටත් දැන් රජෙක්‌ ඇතැයි ඔවුහු සිතති.

රාජ්‍ය නත්තල් උත්සවයට ජනාධිපතිවරයාට ආරාධනා කර තිබුණේ ඇමැති ජෝන් අමරතුංග මහතාය. ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිණී විජයකලා මහේෂ්වරන් මහත්මියද, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාද එහි වූහ.

එකී උත්සවයේ සිටියත් විජයකලා මහේෂ්වරන් ඇමැති තුමියගේත්, රාමනාදන් මන්ත්‍රිතුමාගේත් හිත තිබුණේ වෙන තැනකය. ඒ අවතැන් කඳවුරුවල ඉන්න ජනතාව ගැනය. හැමදාමත් ඔවුහු එම ජනතාවගේ දුක ගැන පාලකයන්ට කිවුහ. ඔවුහු එම ජනතාවගේ දුක දැස්‌වලින් දැක කන්වලින් ඇසූහ. හදවතේ එම දුක තැන්පත් වී තිබිණි. එහෙත් පිළිසරණක්‌ දෙන්නට ඉදිරිපත් වූවෝ නොවූහ. දැන් ඔවුන්ගේ ජනාධිපතිවරයෙක්‌ අගමැතිවරයෙක්‌ රටේ සිටී. ඒ පිළිබඳව ඔවුහු පාලකයන් දැනුවත් කළහ. පාර්ලිමේන්තුවේ හඬ නැගූහ.

එහෙත් ජනාධිපතිවරයාට ඔවුන් විඳින දුක ඇස්‌ පනාපිටම පෙන්වන්නට හැකි නම් කෙතරම් අගේදැයි මේ ජනතා නියෝජිතයෝ සිතූහ. ඒ සඳහා හොඳම අවස්‌ථාව මෙය යෑයිද සිතූහ. එහෙත් ජනාධිපතිවරයෙක්‌ එතනට යයිද? ආරක්‍ෂාව ප්‍රමාණවත්ද? සැලසුම් නොකළ ගමනක්‌ යාමට එතුමා කැමැති වේද? ඔවුන්ගේ සිත් තුළ මෙවැනි නොයෙක්‌ ප්‍රශ්න නැගිණි.

එහෙත් තවත් කල් බලා නොසිට ඔවුහු තම යෝජනාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළහ.

"සර් තෙලිප්පලෙයි අනාථ කඳවුරේ මිනිස්‌සු බොහෝම දුක සේ ඉන්නේ. සර්ට පුළුවන්කමක්‌ තිබෙනවා නම් ඔවුන්ගේ දුක සැප බලන්න ගිහින් එන්න".

ඔවුන්ගේ යෝජනාව ගැන ජනපති මෛත්‍රී තවත් වරක්‌ නොසිතුවේය.

"බොහොම හොඳයි, බොහොම හොඳයි. රාජ්‍ය නත්තල් උත්සවයේදී හොඳ ආදර්ශයක්‌".

එසේ කිවු ජනාධිපතිවරයා තම ආරක්‍ෂක අංශවලට එහි යාමට සුදානම් වන ලෙස උපදෙස්‌ දුන්නේය. අනෙක්‌ නිලධාරීන්ටද ඒ පිළිබඳව දැනුවත් කළ ජනාධිපතිවරයා විනාඩි පහක්‌ යන්නට මත්තෙන් මෝටර් රථයටද ගොඩ වූයේය. ඒ තෙලිප්පලෙයි අනාථ කඳවුරට යාමටය. මයිලඩි, මයිලිටි, පලාලි සහ කන්කසන්තුරේ අනාථ වූ ජනතාව විසිපස්‌ වසරක්‌ තිස්‌සේ එම කඳවුරේ වාසය කරති. එම පිරිස එක්‌දහස්‌ පන්සියයකට වැඩිය.

අනාථ කඳවුර ආසන්නයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෝටර් රථයෙන් බැස ගත්තේය. අනතුරුව ඔහු ඒ දෙසට පයින් ඇවිද ගෙන ගියේය. බුමුතුරුණු, රතු පලස්‌ නොවුණු ඒ වීදිය කර්කශය. කටුකය, එහෙත් ජනාධිපතිවරයාට එය කිසිම අසුවක්‌ එක්‌ කළ මගක්‌ බව දිස්‌ නොවුණි. පුංචි දරු පැටවු ඒ වීදිය දිගේ ඒ මේ අත දිවූහ.

"පුතාලා මොකද කරන්නේ? ඉස්‌කෝලේ යනවද? කීයේ පංතියේද ඉන්නේ? විභාග වැඩ ලේසිද".

ජනාධිපතිවරයා බොහෝම හිත මිතුරුව ලෙංගතුව ඒ දරු දැරියන්ගෙන් විමසුවේය. ඉන් ඇතැම්හු මේ අප රටේ ජනාධිපතිවරයා යෑයි නොදැන සිටියහ. ඔවුහු කෙළිදොළෙන්ම ජනපතිවරයාට පිළිතුරු දුන්හ.

එම මග දිගේ ගිය ජනපතිවරයා අනාථ කඳවුරේ පිහිටි තාවකාලික නිවසකට ගොඩ විය. එහි තිබුණ පුංචි බංකුවේ ජනාධිපතිවරයා ඉඳ ගත්තේය. එහි ඇවිද ගන්න වාරු නැති වියපත් අසරණ මවකි. එහි කුස්‌සිය යෑයි සිතිය හැකි කොටසටද ජනපතිවරයා ගියේය. උයලා තිබෙන දේ පිළිබඳව ජනාධිපතිවරයා විමසිලි කර බැලීය. බත් මුට්‌ටියත්, ළිපත් බැලීය. ඔවුන් ගත කරන්නේ කෙතරම් දුෂ්කර ජීවිතයක්‌ දැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිතෙන්නට ඇත.

"මොනවද ඔබලාට වෙන්න ඕන"

ජනාධිපතිවරයා ඔවුන්ගේ අසරණ දැස්‌ දෙස බලමින් විමසීය.

"අපව මුල් පදිංචි ස්‌ථානයේ පදිංචි කර දෙන්න ජනාධිපතිතුමා. අවුරුදු 25 ක්‌ තිස්‌සේ අපි මේ අනාථ කඳවුරේ ඉන්නේ. මාළු අල්ලගෙන විකුණලා තමයි අපි දවස ගැට ගහ ගන්නේ. අපිට ඉන්න තැනක්‌ දුන්නොත් ඒක ගොඩක්‌ වටිනවා".

ඔවුහු පැවසූහ

යාපනයේ සංචාරයෙන් පසු පලාලිවලින් ගුවන් යානයෙන් බැස ගත් ජනාධිපතිවරයා බිෂොප් තුමා හමු විය. අනතුරුව ආණ්‌ඩුකාර පලිහක්‌කාර මහතාගේ නිවසින් දිවා ආහාරය ලබා ගත්තේය. රාජ්‍ය නත්තල් උත්සවයට පැමිණියේ ඉන් අනතුරුවය. ඒ හැම දෙයක්‌ම කලින් සුදානම් කර තිබූ අවස්‌ථාවන්ය. එහෙත් සුදානමකින් තොරව ගිය තෙලිප්පලෙයි ගමන තරම් ඒ කිසිවක්‌ ජනාධිපතිවරයාගේ සිතට දැනුණා දැයි කිව නොහැක. ඒ පිළිබඳව රාජ්‍ය නත්තල් උත්සවය අරභයා කළ කතාවෙන්ම පැහැදිලි වේ.

"අවුරුදු 25 ක්‌ තිස්‌සේ අවතැන් වෙලා ඉන්න ජනතාවගේ මේ ප්‍රශ්නය විසඳන්න ඉදිරි මාස 6 ක කාලය තුළ කටයුතු කරනවා. මේ සඳහා මම හදිසි කාර්ය සාධක බළකායක්‌ පත් කරනවා. ජාතික ආරක්‍ෂාව බිඳ වැටිලා. එල්ටීටීඊයට ඔළුව උස්‌සන්න අපේ ආණ්‌ඩුව ඉඩ දෙනවා කියලා කියන අවස්‌ථාවාදීන්ට මම ආරාධනා කරනවා උතුරට ඇවිල්ලා උතුරේ ජනතාව හමු වෙන්න කියලා. ඒ ගොල්ලන්ට කොළඹ ශාලාවක්‌ ඇතුළට වෙලා ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ තියන්න එච්චර වියදමක්‌ යන්නේ නැහැ. ඒ අයට කොළඹ ඉඳන් උතුරට එන්න වාහනවලට තෙල් දෙන්න පුළුවන්. කොළඹ ඉඳලා එන්න වාහන දෙන්නත් පුළුවන්. කොළඹ ඉඳලා මුහුදෙන් එන්න ඕනෑ නම් මුහුදෙන් එන්නත් මට නැවක්‌ දෙන්න පුළුවන්. ඒ දෙකෙන්ම එන්න බැරි නම් උඩින් එන්න ගුවන් යානයක්‌ දෙන්න පුළුවන්. මම ඒ අයට කියනවා අවුරුදු 25 ක්‌ තිස්‌සේ අවතැන් වෙලා හිටිය උතුරේ ජනතාව හමුවෙන්න කියලා".

ජනාධිපතිවරයා රාජ්‍ය නත්තල් උත්සවයේ කළ සම්පූර්ණ කතාවම වාගේ ගොඩනැගුණේ මේ පිළිබඳව පවසන්නටය. සාමය, සංහිඳියාව සහ මානව දයාව පිළිබඳ පවසන්නටය.

තෙලිප්පලෙයි අනාථ කඳවුරට පමණක්‌ නොව මුළු උතුරටම නත්තල් තෑග්ගක්‌ තිළිණ කිරීමේ පොරොන්දුව දෙමින් ජනාධිපතිවරයා ඉන් නික්‌මුණේය. දැන් එම ජනතාවට බලාපොරොත්තුවක්‌ තිබේ. ඒ තම මුල් බිම්වල අයිතිය තමන්ට යළි හිමිවන බවය.

කවදාවත් රාජ්‍ය නායකයෙන් එසේ යාපනයේ අනාථ කඳවුරකට මීට පෙර පැමිණ තිබුණේ නැත. දුක සැප අසා තිබුණේ නැත. ලෙංගතුව, කුළුපගව කතා කර තිබුණේ නැත. එමතු නොව විසිපස්‌ වසරක්‌ පුරා තම හදවත් තුළ දැවී දැවී තිබුණු ප්‍රශ්නවලට තමා ළඟටම ඇවිත් විසඳුම් දෙන්න පොරොන්දු වුණේ නැත. ඉතින් ඒ ජනතාවට මීටත් වඩා නත්තල් තෑග්ගක්‌ තවත් තිබිය හැකිද?

කුෂාන් සුබසිංහ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.