විශ්‍රාම වැටුප මේ වසරේ සිට නතරවෙයිද?
අපේ ප්‍රේමය ස්‌ථිරයි. විශ්‍රාම වැටුප් සහිතයි!

පසුගිය වසරේ වරක්‌ හෝ දෙවරක්‌ "අමුතු හාදයෝ" නමින් ප්‍රශස්‌ත වේදිකා නාට්‍යයක්‌ රඟ දැක්‌විණි. ශ්‍රී ලංකාවේ ප්‍රේක්‍ෂකාගාරයේ බහුතරයකට මඟ හැරුණු නමුත් රාජ්‍ය සේවයේ නියුතු බොහෝ දෙනෙක්‌ට නාට්‍යය නැරඹීමේ භාග්‍ය හිමිවිණි. ඊට හේතුව වූයේ එම නාට්‍යයේ නිෂ්පාදනයේ සිට රංගනය දක්‌වා වැඩි දායකත්වයක්‌ දක්‌වා තිබුණේ රාජ්‍ය සේවයේ නියුතු පිරිසක්‌ විසින්ම වීමය. නාට්‍යයේ නිර්මාණකරුවා කවරෙක්‌ද යන්න ගැන පවා වැඩි ප්‍රචාරයක්‌ කෙරුණේ නැත. "අමුතු හාදයෝ" නාට්‍යයේ නිර්මාණකරුවා වූයේ ගබ්සාව, ගුටිකෑමට නියමිතයි වැනි ප්‍රශස්‌ත විශිෂ්ට නාට්‍යවල නිර්මාණකරුවා වූ තිලක්‌ හෙට්‌ටිආරච්චිය. ඔහු ද පරිපාලන නිලධාරියකු ලෙස රාජ්‍ය සේවයේ යෙදී සිටින්නෙකි. මේ උත්සාහ දරන්නේ ඔහු ගැන හෝ නාට්‍ය ගැන කියන්නට නොවේ. එම නාට්‍යයට යොදාගෙන තිබූ අපූරු තේමා පාඨය මේ ලිපියට වැදගත් නිසා ඒ ගැන කියන්නටය.

ඒ තේමා පාඨය වූයේ "මගේ ප්‍රේමය ස්‌ථිරයි, විශ්‍රාම වැටුප් සහිතයි" යන්නය. එය නාට්‍යයේ තේමාව සමඟ බද්ධ වන්නේ කවරාකාරයකට වුවද "විශ්‍රාම වැටුප" සම්බන්ධයෙන් කිවයුතු බොහෝ දේ ඒ තුළ ගැබ්ව පවතින බව කිව යුතුය.

* අලුතෙන්ම එන්නේ දායකත්ව විශ්‍රම වැටුපයි

පසුගිය 2015 වර්ෂය ගෙවී ගොස්‌ 2016 වර්ෂය එළැඹ අදට දින 03 ක්‌ ගතවී තිබේ. 2016 වර්ෂය එළැඹියේ රටේ ජනතාව තුළ එතරම්ම සුභවාදී බලාපොරොත්තුවක්‌ ඇතිකරමින් නොවන බව කිව යුතුය.

2016 වර්ෂය යනු රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් යම් ආන්දොaලනාත්මක ප්‍රවේශයකට පාරක්‌ තැනූ වර්ෂයකි. පසුගිය වර්ෂයේ ඉදිරිපත් කළ 2016 අයවැයෙන් කියෑවුණේ මේ වසරේ සිට විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි වී ඒ වෙනුවට දායකත්ව විශ්‍රාම වැටුපක්‌ ලබාදීමට කටයුතු කරන බවය. කොයි කාටත් හුරු ලෙස කියෑවෙන වචනය වන "පෙන්ෂන්" අහෝසි වීම යන්න සමාජයේ වැඩිදෙනෙක්‌ගේ හදවතට දැනෙන අන්දමේ කම්පනයක්‌ ඇතිකිරීමට සමත්වීම පුදුමයට පත්වීමට තරම් කාරණයක්‌ නොවේ. වත්මන් සමාජයේ බොහෝ දෙනා තමන්ගේ අනාගත ඉලක්‌ක "පෙන්ෂන්" සහිත රක්‍ෂාවක සිට සැලසුම් කරන්නට පෙළඹී සිටින්නාහ. මංගල දැන්වීමකදී පවා "විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියාවක නිරත" යනුවෙන් සටහන් කරන්නේ ඒ තුළ විශාල අනාගත සුරක්‍ෂිතතාවක්‌ ඇතැයි යන හැඟීම රටේ සමාජගතව ඇති බැවිනි. මේ මොහොත වන විට විශ්‍රාම වැටුප අහෝසි කරන්නට පිඹුරුපත් සකසනවා යෑයි කියන්නේ විශ්‍රාම වැටුප ගැන පෙර කී අන්දමේ ප්‍රබල අදහසක්‌ සමාජය තුළ කිยนබැස තිබෙන මොහොතකය.

විශ්‍රාම වැටුප රටේ ආර්ථිකයට බරක්‌ බව කියන්නේ විශ්‍රාම වැටුප අහෝසි කර නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ සකස්‌කර ගැනීමේ මාවත පසක්‌කර ගැනීමටය. මේ කතාව සනාථ කිරීමට ආණ්‌ඩුව ගණන් හිලව් ඉදිරිපත් කරන්නේය. ඒ අනුව 1961 දී විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 83 ක්‌ වැය කර තිබේ.

2011 වර්ෂය වන විට එය රුපියල් මිලියන 93, 961 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබෙන බව එම සංඛ්‍යාලේඛනවල දැක්‌වේ. කෙසේ හෝ 2030 වර්ෂය වන විට රුපියල් කෝටි 40,000 ක මුදලක්‌ විශ්‍රාම වැටුප් සඳහා අවශ්‍ය කෙරෙන බව සඳහන්ය.

දැන් මේ බරක්‌ යෑයි සඳහන් කරනු ලබන සංඛ්‍යා ලේඛනවල "වරදක්‌" නැත. එහෙත් ඇත්ත වශයෙන්ම ඒ කියන මුදල රටේ ජාතික ධනයෙන් හොරා කන සහ රජය ලබාගත් ණය සඳහා ගෙවීමට නියමිත ණය වාරික සහ ණය පොලී ප්‍රමාණයට වඩා අඩු බවය. නිදසුනක්‌ ලෙස 2014 ජනවාරි සිට සැප්තැම්බර් දක්‌වා මාස නවයක කාලය තුළ විශ්‍රාම වැටුප් ගෙවීමට වැයවී ඇත්තේ රුපියල් මිලියන 92,043 ක්‌ (රුපියල් මිලියන අනූදෙදහස්‌ හතළිස්‌ තුනක්‌) පමණි. එහෙත් රජයේ ණය පොලී වාරික ගෙවීමට පමණක්‌ රුපියල් මිලියන 3,63,489 (රුපියල් මිලියන තුන්ලක්‍ෂ හැටතුන්දහස්‌ හාරසිය අසූනවයක්‌) වැයවී තිබේ. ඒ අනුව විශ්‍රාම වැටුප මෙතරම් "කරදරයක්‌" කර ගැනීම කොතරම් අහේතුක දැයි පෙනේ.

දොaෂ පෙනෙන්නට තිබියදීම විශ්‍රාම වැටුප අහෝසි කර දායකත්ව විශ්‍රාම වැටුපක්‌ සකස්‌ කිරීමට ගත් තීරණය "හදිසි" කාරණයකි. මේ ගෙන එන්නට තැත් කරන විශ්‍රාම වැටුප් ක්‍රමවේදය පිළිබඳව කිසිවකුත් සමඟ සාකච්ඡා කර හෝ නොමැති බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ ද සඳහන් කරන්නේය. කෙසේ හෝ මේ වසරේ සිට රාජ්‍ය සේවයට එක්‌වන සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගත් තීරණයට වෘත්තීය සමිති විරෝධතා දැක්‌වීම නිසාම අගමැති පත් කළ කමිටුවේ තීන්දුව දෙන තුරු අයවැයෙන් සිදු කළ යෝජනාව ක්‍රියාත්මක නොකරන බවට රජය තීරණයක්‌ ලබාදී ඇති බවද වාර්තා වේ. එහෙත් ඒ තීන්දුව විශ්‍රාම වැටුප රජයට "බරක්‌" වන එකක්‌ යෑයි ප්‍රකාශ වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. 2002 දීත් මේ යෝජනාව මේ ආකාරයෙන්ම ගෙන ඒමට එවක ආණ්‌ඩුව ද කටයුතු කළ බව සිහිපත් කළ යුතුය. එදා ගෙන එන ලද්දේ ද වර්තමානයේදී කියෑවෙන "දායකත්වය විශ්‍රාම වැටුප" ක්‍රමයම වේ. රජයේ සේවකයන් වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදලට තමන්ගේ වැටුපෙන් සියයට පහක්‌ ලබාදේ. එමෙන්ම අග්‍රහාර රක්‍ෂණය සඳහා ද මසකට රුපියල් 125 ක්‌ ලබාදේ. ලක්‍ෂ 14 කට ආසන්න වූ රාජ්‍ය සේවකයන්ගෙන් මේ මුදල කපා ගැනේ. වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුපට "අරමුදලක්‌" නැත. රජයේ සේවකයන්ගේ කපා ගන්නා ලද මුදල් ආණ්‌ඩුව තමන්ගේ එදිනෙදා වියදම් සඳහා යොදාගනී. එය නිවැරැදි තත්ත්වයක්‌ නොවේ. විශ්‍රාම වැටුප අහෝසි කරන්නට උත්සාහ දරන්නේ එවැනි "පෙර වැරදි" බොහෝමයක්‌ අතේ තබාගෙනය. ඉදිරිපත් කිරීමට යෝජිත දායකත්ව විශ්‍රාම වැටුප හරහා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කර ඒ වෙනුවට සේවක අර්ථසාධක අරමුදලට රජයේ සේවකයන් දායක කර ගැනීමේ ක්‍රියාවලියක්‌ නිතැතින්ම සිදුවේ.

යෝජිත නව විශ්‍රාම වැටුප් ක්‍රමය සම්බන්ධයෙන් ආණ්‌ඩුවේ තීරණය පරමාදර්ශී එකක්‌ නොවේ. ආණ්‌ඩුව කියන පරිදි එය රජයේ සේවකයාට වැඩි ප්‍රතිලාභ හිමිවන එකක්‌ බවට පත් කළ යුතු යෑයි කියන අර්ථයෙන් ගන්නේ නම්, වත්මනෙහි ක්‍රියාත්මක විශ්‍රාම වැටුප් ක්‍රමයම විධිමත් ලෙස කළමනාකරණය කිරීමෙන් එය "වැඩි ප්‍රතිලාභ" හිමි වන එකක්‌ බවට පත් කළ හැකි බව අපේ විශ්වාසයයි. අනෙක්‌ අතට, 2016 න් පසු රාජ්‍ය සේවයට එක්‌ වන අයට විශ්‍රාම වැටුප හිමි වන්නේ නැත්නම් දේශපාලනඥයන්ට (මහජන නියෝජිතයන්ට) ද මේ වන විට ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි විය යුතුය. විශ්‍රාම වැටුප් ලබන මහජන නියෝජිත පිරිස එතරම් විශාල සංඛ්‍යාවක්‌ නොවේය යන ගොන් තර්කය ඊට අදාළ නැත. රජයේ සේවකයකු විශ්‍රාම වැටුපකට හිමිකම් කියන්නේ (වෙනත් කිසිදු ප්‍රතිලාභයක්‌ හිමි වන කවර හෝ වෘත්තියක, සේවාවක හෝ රජයේ සේවකයකු නියෑලෙන්නේ නැත.) අවුරුදු තිස්‌පහක පමණ කාලයක්‌ "දුෂ්කර" රාජකාරි ජීවිතයකින් අනතුරුවය. "දුෂ්කර" යන්න අප අවධාරණය කරන්නේ ප්‍රවාහන පද්ධතියේ සිට අටෝරාශියක්‌ වූ ජීවන අරගලයන්ට මුහුණ දෙමින් රජයේ රැකියාවන්හි යෙදෙන්නන් ගැන ඊට වඩා යහපත් යෙදුමක්‌ සොයන්නට නැති බැවිනි. එහෙත් මහජන නියෝජිතයකු විශ්‍රාම යන්නේ සියලු පහසුකම් සහිතව බොහෝ වරප්‍රසාද ලබාගෙන තවදුරටත් හරිහම්බ කරගැනීමේ මාර්ග සකස්‌ කරගනිමින් ධන කුවේරයකුට සමාන තත්ත්වයකිනි. එසේ නොවන මහජන නියෝජිතයන් ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. ඇත්තෙන්ම කළ යුතුව ඇත්තේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම නොව මහජන නියෝජිතයන් නඩත්තුවට යොදවන අසීමිත වියදම (මුදල) කපා හැරීමය. එය එසේ කළ හැකි එකක්‌ බව නිදසුන් සහිතව පෙන්වා දිය යුතු නොවේ.

යෝජිත දායකත්ව විශ්‍රාම වැටුප මෙරටට අලුත් දෙයක්‌ නොවේ. 1991 වර්ෂයේදී පමණ මේ ක්‍රමය විශ්වවිද්‍යාල සේවකයන් සඳහා යෝජනා කරන ලදී. කෙසේ හෝ රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැය නොකර දීමනා පමණක්‌ ලබාදීමේ ක්‍රියාවලිය නිසා විශ්‍රාම වැටුප ලබා දීමේදී විශ්‍රාමිකයා අතට ලැබෙන්නේ සුළු විශ්‍රාම වැටුපකි.

විශ්‍රාම යන මොහොතේ ලබා ගන්නා විශ්‍රාම වැටුපට සාපේක්‍ෂව බැලුවහොත් වසර හතරක්‌ හෝ පහක්‌ යන විට එය විශ්‍රාමිකයාට ජීවත් වීමට සෑහෙන තරම් මුදලක්‌ වන්නේ නැත. දායකත්ව විශ්‍රාම වැටුප සැකසෙන්නේ මේ අර්බුදයටත් රජයට විශ්‍රාම වැටුප් තබාගෙන යැම අර්බුදයක්‌ හැටියට "පෙනීමත්" යන කාරණාවලට විසඳුමක්‌ හැටියටය. ඒ අනුව විශ්‍රාම වැටුපට රජයේ සේවකයන්ගේ වැටුපෙන් කොටසක්‌ වැය කිරීම සිදුවේ. ඒ සඳහා ගොඩනඟන අරමුදලට රජයෙනුත් යම් මුදලක්‌ එකතු කරයි. ඊට අමතරව මේ අරමුදල බැංකුවේ තැන්පත් කිරීමෙන් ඊට පොලියක්‌ ද එකතු වේ. මේ තුනම දායකත්ව විශ්‍රාම වැටුපට බැර වේ. අරමුදල ප්‍රසාරණය කිරීමේ වෙනත් ක්‍රමද යොදා ගැනීමට යම් හැකියාවක්‌ තිබේ. (කොටස්‌ වෙළෙඳපොළ වැනි තැනක ආයෝජනය කිරීමෙන්)

යෝජිත තත්ත්වය එය නම් මේ වන විටත් වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදලට පඩියෙන් කපා ගන්නා සියයට හතත්, අග්‍රහාර රක්‍ෂණයට කපා ගන්නා රුපියල් 125 ත් විධිමත් ආකාරයට කළමනාකරණය කර යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමයට වඩා සාධාරණ ක්‍රමයක්‌ සැකසිය හැකි බව අපේ විශ්වාසයයි. "විශ්‍රාම වැටුප් ගෙවීමට ආණ්‌ඩුවට සල්ලි නෑ" කීම එතරම් සාධාරණ හෝ නිදහසට කාරණයක්‌ නොවේ.

යෝජිත විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් "කමිටුව" කවර තීන්දුවක්‌ ගත්තද එය මේ සියලු කාරණාවන් වඩාත් පුළුල් ලෙස සංවාදයට ගැනෙන එකක්‌ විය යුතු බව අවධාරණය කරමු.

උදේශ සංජීව ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.