පරිපාලන සේවයෙන් මැති සභයට

දියවඩන නිලමේ තනතුරට පත් වූ සිවිල් නිලධාරියා ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විජයරත්න


ශ්‍රී ලාංකේය දේශපාලන ව්‍යාපාරය තුළ පරම්පරා තුනක ද, ශ්‍රී දළදා මාලගාවේ දියවඩන නිලමේ තනතුර හෙබ වූ පරම්පරා දෙකක ද හිමිකම සනිටුහන් කළ, ලංකා සිවිල් සේවයේ කීර්තිමත් නිලධාරියකු ලෙස ගෞරවයට පාත්‍ර වූ නිශ්ශංක පරාක්‍රම විජයරත්න මහතා අවංක දේශපාලනඥයකු වශයෙන්ද ජනතා ප්‍රසාදය දිනාගැනීමට සමත් වූවෙකි. ඉහත කී හිමිකම් පිළිබඳව තවදුරටත් කරුණු විස්‌තර කරන්නේ නම් මෙසේ දැක්‌ විය හැකිය. ඔහුගේ පියාණන් වූ, කෑගල්ලේ දක්‍ෂ නීතිඥයකු වශයෙන් නමක්‌ දිනා සිටි සර් එඩ්වින් විජයරත්න මහතා 1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ කෑගල්ල ආසනය සඳහා තේරී පත්විය. එම මැතිවරණයේදී ඡන්ද 14515 ක්‌ ලබාගත් ඔහු තම ප්‍රතිවාදියා වූ ඩබ්ලිව්. ඊ. බැස්‌ටියන් මහතා (ඡන්ද 11118) පරාජයට පත් කර වැඩි ඡන්ද 3307 ක ජයග්‍රහණයක්‌ ලැබීය. සර් එඩ්වින් විජයරත්න මහතා 1936 දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට ඉදිරිපත් වූයේ නැති නමුත් සෝල්බරි ව්‍යවස්‌ථාව යටතේ පිහිටු වූ උත්තර මන්ත්‍රී මණ්‌ඩලයේ සාමාජිකයකු ලෙස පත් කරන්නට යෙදුණි. ඩී. ඇස්‌. සේනානායක මහතාගේ කැබිනට්‌ මණ්‌ඩලයේ ස්‌වදේශ කටයුතු සහ ග්‍රාම සංවර්ධන ඇමැති තනතුර දැරූ උත්තර මන්ත්‍රී ඔලිවර් අර්නස්‌ට්‌ ගුණතිලක මහතා ලන්ඩනයේ මහ කොමසාරිස්‌ ධුරයට පත්වීමෙන් පසු සර් එඩ්වින් විජයරත්න මහතා ස්‌වදේශ කටයුතු භාර ඇමැති පදවියට පත්විය. නිශ්ශංක විජයරත්න මහතාගෙන් පසු ඔහුගේ පුතණුවන් වූ මනෝද් විජයරත්න මහතා (1989 මනාප 28065, 1994 මනාප 51531, 2004 මනාප 44271) කෑගල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රිවරයකු වශයෙන් තේරී පත් විය. වර්ෂ 1975 සිට 1985 දක්‌වා වර්ෂ 10 ක්‌ විජයරත්න මහතා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර දැරූ අතර, ඔහුගේ පුත්‍ර නෙරංජන් විජයරත්න මහතා පුරා වසර 20 ක්‌ ම දියවඩන නිලමේ තනතුරට පත්ව සිටියේය. දැන් අපි නිශ්ශංක විජයරත්න මහතාගේ සිවිල් සේවා ඉතිහාසය සංක්‍ෂිප්ත වශයෙන් විමසා බලමු. කොළඹ රාජකීය විද්‍යාලයෙන් ශාස්‌ත්‍ර හදාරා, ලංකා විශ්වවිද්‍යාලයෙන් බී. ඒ. (ලංකා) (ගෞරව) උපාධිය හිමිකර ගෙන, අනතුරුව ලංකා සිවිල් සේවයේ කැඩෙට්‌ නිලධාරියකු ලෙස පත්වීම ලබන්නේ 1948-05-01 දිනදීය. අනතුරුව මාතලේ, මහනුවර (1948) මඩකලපුව (1949) ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව (1950) යන ආයතනවල සේවය කරමින් සිට වර්ෂ 1959 දී අනුරාධපුර ආණ්‌ඩුවේ ඒජන්තවරයා වශයෙන් පත් වීම ලබයි ඒ සමගම අනුරාධපුර සංරක්‍ෂණ මණ්‌ඩලයේ සභාපතිධුරය භාර ගනිමින් ඓතිහාසික අනුරාධපුරය පූජා භූමියක්‌ වශයෙන් දෙස්‌ විදෙස්‌හි ප්‍රචලිත වන ආකාරයෙන් සංවර්ධනය කිරීමට පියවර ගත්තේය. පසු කාලීනව, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලකයකු වශයෙන් ඔහු දැරූ තනතුරු අතරට ග්‍රාම සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, සංස්‌කෘතික අමාත්‍යාංශයේ ලේකම් ගුවන් විදුලි සංස්‌ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල්, ආයුර්වේද ඖෂධ සංස්‌ථා සභාපති යන ඒවා ද ඇතුළත් වෙයි. කවර දේශපාලන පක්‍ෂයකින් බලයට පැමිණියද, මෙරට බිහි වූ ආණ්‌ඩු රටේ අර්බුදකාරි අවස්‌ථාවල ඔහුගේ සේවය නොපැකිලව ලබාගත් ආකාරය ඉතිහාසයේ සටහන්ව තිබේ. 1958 අවුරුද්දේ මතු වූ පළමුවැනි ජාති භේදවාදී කෝලාහල සමයේ උතුරු ප්‍රදේශයේ පරිපාලනය භාරව කටයුතු කිරීමට යාපනය දිසාපති වශයෙන් පත් කළේ විජයරත්න මහතා ය. 1961 වර්ෂයේ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ පාලන සමයේදී ද්‍රවිඩ මන්ත්‍රීවරුන් පිරිසක්‌ ආරම්භ කළ "සත්‍යග්‍රහ" ව්‍යාපාරය හේතු කොටගෙන උද්ගත වන්නට තිබූ නොසන්සුන් වාතාවරණය පාලනය කිරීමට එවකට හමුදාපති ධුරය දැරූ රිචඩ් උඩුගම මහතා සමග යාපනය දිස්‌ත්‍රික්‌කය භාරව කටයුතු කළේ නිශ්ශංක විජයරත්න මහතාය. මේ සෑම අවස්‌ථාවකදීම ප්‍රඥාගෝචරව, මිත්‍රශීලීව ද්‍රවිඩ නායකයන් සමග කටයුතු කිරීමට හෙතෙම සමත් විය. රාජ්‍ය සේවයේ ඉහළ නිලයන් දරමින් සිටිය දී ඔහු සිංහල, බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් නොපැකිලිව ක්‍රියා කළේය. "සිංහලේ ආර්ය සමාජය" නම් වූ සංවිධානය බිහි කළ එතුමා එමගින් සිංහල බෞද්ධ හැදියාව ඔප් නංවා, චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම ගුණ ධර්ම ද රාජ්‍ය සේවය හරහා පොදු සමාජය තුළට ගෙන යැමට වෑයම් කළේය. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් ඉක්‌බිති දේශපාලනයට නැඹුරු වූ විජයරත්න මහතා ෙ-. ආර්. ජයවර්ධන මහතාගේ ආරාධනයෙන් 1976 දී කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ දැදිගම ආසනයේ සංවිධායක ධුරය භාර ගත්තේය. ප්‍රථම වරට 1977 මහා මැතිවරණයේදී අංක( 144 - දැදිගම ආසනයට එ. ජා. ප. අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත්ව වාර්තා ගත ජයග්‍රහණයක්‌ ලබා ගත්තේ 1970 දී ද සමගි පෙරමුණ යටතේ තරග කළ (ශ්‍රී ල. නි.ප.) ධර්මසිරි සේනානායක මහතා පරාජයට පත් කරමිනි. සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය මෙසේය. නිශ්ශංක විජයරත්න (එ. ජා.ප.) 24436, ධර්මසිරි සේනානායක (ශ්‍රී ල. නි. ප.) 17704, ආර්. ඒ. වික්‌ටර් රාජපක්‍ෂ (ස්‌වාධීන) 2071, එම්. එස්‌. ෙ-. රත්නායක (ල. ස. ස.ප. 829, ඒ. ආර්. විජයරත්න (ස්‌වාධීන) 152 වැඩි ඡන්ද සංඛ්‍යාව 6732 -1977 පිහිටු වූ එ. ජා. ප. රජයේ අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන අමාත්‍ය ධුරය ඔහුට හිමි විය. මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය පේරාදෙණිය, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය ආදී වශයෙන් විමධ්‍යගත කෙරුණේ ඔහු උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ වකවානුවේදීය. ඉක්‌බිති 1980-02-14 දින සිදු කළ කැබිනට්‌ සංශෝධනයේ දී නිශ්ශංක විජයරත්න මහතාට අධිකරණ අමාත්‍ය ධුරය හිමි විය. කොළඹ අලුත්කඩේ නව උසාවි සංකීර්ණයක්‌ ලෙස උපරිමාධිකරණ දැවැන්ත ගොඩනැඟිලි චීන මහජන සමූහාණ්‌ඩුවේ ආධාර ඇතිව ඉදි කෙරුණේ ද ඔහු අධිකරණ ඇමැති ධුරය හෙබ වූ කාලය තුළදීය. ලංකා විශ්වවිද්‍යාලයේ සම්මානිත ආචාර්ය පදවියකින් ද, "දේශමාන්‍ය" රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලත් නිශ්ශංක විජයරත්න මහතා පසුව සෝවියට්‌ දේශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වී රට වෙනුවෙන් අමිල මෙහෙවරක්‌ ඉටු කළේ පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනාගේ ගෞරවාදරය හිමිකර ගනිමිනි.

ආචාර්ය සරත් අමුණුගම මැති සබයේ නම රැන්දූ ලේඛකයා

සරත් ලීලානන්ද බණ්‌ඩාර අමුණුගම, හෙවත් වර්තමාන ශ්‍රී ලාංකේය දේශපාලන සමාජය තුළ මෙන්ම, ලේඛක, පාඨක, විචාරක යන තුන් වැදෑරුම් පිරිස ඇතුළු මුළු රටම මැනවින් දැන සිටින නාමයෙන් හඳුන්වතොත් " ආචාර්ය සරත් අමුණුගම" දේශපාලනඥයන් අතර බුද්ධිමතෙකු වශයෙන්ද, කෘතහස්‌ත පරිපාලකයකු, ලේඛකයෙකු මෙන්ම විචාරකයකු වශයෙන් ද කීර්තිමත්නාමයක්‌ හිමිකරගෙන සිටින්නෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බී. ඒ. (ලංකා) (ගෞරව) උපාධිය හිමිකරගෙන පශ්චාත් අධ්‍යාපනය අවසන් කළ සරත් අමුණගම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලංකා සිවිල් සේවයේ ආධුනිකයකු ලෙස 1962-07-02 සිට පත් කරනු ලබන්නේ මහා භාණ්‌ඩාගාරයට අනුයුක්‌ත කරමිනි. ඉන්පසු, කළුතර කච්ෙච්රියට (1962) පත් කෙරෙන ඔහු රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ උප ඒජන්තවරයකු ලෙස දිස්‌ත්‍රික්‌ පරිපාලනයට සම්බන්ධ වෙයි. පසු කාලීනව, ඒකාබද්ධ සේවා අධ්‍යක්‍ෂ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ, 1978 ස්‌ථාපනය කළ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වැනි උසස්‌ තනතුරුවල වගකීම් ඉටු කළ ආචාර්ය සරත් අමුණුගම ලේඛකයකු සහ විචාරකයකු වශයෙන් ද සමාජයේ පිළිගැනීමට ලක්‌විය. 1978 පෙබරවාරි 04 දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කළ "දෙසතිය" පුවත් සඟරාව සමාරම්භයේදීම ආචාර්ය සරත් අමුණුගම ප්‍රධාන සංස්‌කාරක විය. එම සඟරාව ප්‍රථම වරට හඳුන්වා දුන් "කවරයේ කතාව" සඟරා සංස්‌කරණයේ නවතම සොයා ගැනීමක්‌ විය. දීර්ඝකාලීන රාජ්‍ය සේවා වෘත්තියට සමුදුන් ඔහු එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන සන්නිවේදන වැඩසටහනේ අධ්‍යක්‍ෂවරයා ලෙස පත්ව ගිය අතර, "දෙසතිය" ට සය වසක්‌ සපිරුණ 1984 වර්ෂයේ දිවයිනට පැමිණි මොහොතක පෙබරවාරි කලාපයට දැක්‌ වූ අදහස්‌ මෙසේය.

"හය වසරක්‌ පුරා අඛණ්‌ඩව පවත්වාගෙන යැමට දෙසතියට අවශ්‍ය ශක්‌තිය ලැබී තිබෙන්නේ ඒ සඳහා රටේ හොඳ ඉල්ලුමක්‌ හා පිළිගැනීමක්‌ පවතින නිසාය. දෙසතිය මගින් සාර්ථක සංස්‌කෘතික ගවේෂණයක්‌ ඉටු කෙරිණි. මීට පස්‌ වසරකට පෙර රටේ සංනිවේදන කටයුතු මෙහෙය වූ ගුවන් විදුලි සංස්‌ථාව, රූපවාහිනිය, පුවත්පත් ආයතන, පොත්පත් පළකරන සංස්‌ථා හා පෞද්ගලික ආයතන වෙනුවට, දැන් චිත්‍ර කතා, කැසට්‌, වීඩියෝ වැනි නවීන පොදු සංස්‌කෘතිකාංග මුල් තැන ගෙන තිබේ. වර්තමාන පුවත්පත් කලාව ද මේ ග්‍රහණයට හසු වී සිටී. දෙසතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කළ මුල්ම පුවත් සඟරාවයි. මීට පෙර මෙරට නොයෙකුත් සඟරා බිහි වී තිබුණි. ඒවා හුදෙක්‌ ලේඛකයන්ගේ අදහස්‌ උදහස්‌ වමාරන යල් පැනගිය අදහස්‌ උදහස්‌ මත පිහිටා සංස්‌කරණය කළ ගතානුගතික ආකෘතියකින් යුත් සඟරා විය. මෙයින් අදහස්‌ කරන්නේ එම සඟරාවන් හෙළා දැකීම නොව ඒවා පාඨකයාගේ අවශ්‍යතාවන් මත නොව සංස්‌කාරකවරුන්ගේ අවශ්‍යතාවන් මත බිහි වූ සඟරාවන් බව අවධාරණය කිරීමයි මේ නිසා අසුරු සැණින් වෙනස්‌ වන ලෝකයක සිංහල පාඨකයා සිටියේ කල්ප ගණනාවක්‌ පිටුපසිනි. තමා අවට ලෝකයේ සිදුවන දෑ කුමක්‌ ද යන්න නොදන් ඔහු ළිං මැඩියෙකුට සමාන විය. "දෙසතිය" බිහි වූයේ මේ සංකල්පයට එල්ල කළ ප්‍රතිචාරයක්‌ හැටියටය."

ආචාර්ය සරත් අමුණුගම විසින් රචනා කරන ලද "සංස්‌කෘතිය සමාජය හා පරිසරය" සමාජ විද්‍යාත්මක අගයක්‌ සහිත පර්යේෂණාත්මක ග්‍රන්ථයක්‌ වශයෙන් හඳුන්වා දිය හැකිය. සිංහල හා ඉංග්‍රීසි පුවත් පත්වලට වරින් වර ලියූ ලිපි ඇතුළත් මෙම ග්‍රන්ථය, විවිධ විෂයයන් පිළිබඳව අධ්‍යයනය කරන පර්යේෂකයන්ට මෙන්ම උසස්‌ අධ්‍යාපනය හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට දැනුම් සම්භාරයක්‌ ලබා ගැනීමට උපකාරී වෙයි. විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව හදාරා, එම විෂය ගැන පේරාදෙණිය, කොළඹ හා විෙද්‍යාaදය වැනි විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කළ තමා විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කරනු ලැබුයේ, එවකට ජාතික උසස්‌ අධ්‍යාපන සහතික පත්‍ර විභාගය සඳහා ආරම්භ කළ " අපේ සංස්‌කෘතිය උරුමය හා සමාජ ආර්ථික පරිසරය" නම් වූ පාඨමාලාව උගන්වන ආචාර්යවරුන්ට හා ඉගෙනීම ලබන ශිෂ්‍ය ශිෂයාවන්ට අතිරේක කියවීම සඳහා ග්‍රන්ථයක්‌ සම්පාදනය කරන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම මත බව පොතේ " හැඳින්වීමේ" දක්‌වා තිබේ. (1977-08-04) "සිංහල ගැමි සමාජය - චන්ද්‍රිකා වැව" ( සමාජය හා පරිසරයට අතර ඇති සම්බන්ධය පිළිබඳ සමාජ විද්‍යාත්මක පර්යේෂණයක්‌) "උඩරට විවාහ හා බන්ධුක්‍රම" (සමාජ සංස්‌ථා කෙරෙහි සමාජ ආර්ථික පරිසරය බල පාන හැටි)," ඌරා මස්‌ කිරීම හා ආරච්චි කෝලම" (සිංහල ගැමි නැටුම් දෙකක්‌ පිළිබඳ සමාජ විද්‍යාත්මක විග්‍රහයක්‌)" කොහොඹා කංකාරිය හා සිංහල ශාන්තිකර්ම රටාව" මෙම ග්‍රන්ථයට ඇතුළත් විශිෂ්ට රචනා අතර වෙයි. මේ අයුරින් ලාංකික ජන සමාජය හැඳිනගෙන සිටි ආචාර්ය සරත් අමුණුගම ජාතික දේශපාලනයට අවතීර්ණ වෙනුයේ 1994 මහා මැතිවරණයේදීය. එ. ජා. ප. අපේක්‍ෂකයකු ලෙස මහනුවර දිස්‌ත්‍රික්‌කයෙන් තරග කළ ඔහු, ප්‍රථම අවස්‌ථාවේදීම මනාප ඡන්ද 53997 ක්‌ ලබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට තේරී පත් විය. ඊළඟට පැවති 2000 මහා මැතිවරණයේ දී පොදු ජන එක්‌සත් පෙරමුණට සම්බන්ධ වූ ආචාර්ය සරත් අමුණුගම එවර, මහනුවර පො. එ. පෙ. දිස්‌ත්‍රික්‌ ලැයිස්‌තුවේ හතරවැනි ස්‌ථානයට පත්ව මනාප ඡන්ද 68738 ක්‌ ලබා ගනිමින් නැවත වරක්‌ මැති සබයට පිවිසියේය. 2001, 2004 මැතිවරණයන්හිදීද ස්‌වකීය ජයග්‍රහණය තහවුරු කරගත් ඔහු 2010 දී මනාප ඡන්ද 44478 ක්‌ හිමි කරගෙන යළිත් මැති සබයට පිවිසියේය. 2015-08-17 මහ මැතිවරණයෙන් පසු, පොදු ජන එක්‌සත් පෙරමුණේ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරයට පත් විය.

එදා මෙදා තුර කාලය තුළ ආචාර්ය සරත් අමුණුගම වගකිව යුතු අමාත්‍ය ධුර ගණනාවකම කටයුතු කර තිබේ. වාරි මාර්ග හා ජල කළමනාකරණ (2000) අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන, (2001-09-25 ශ්‍රී ල. නි.ප. ජ. වි. ප, පරිවාස ආණ්‌ඩුව) මුදල් සහ ක්‍රම සම්පාදන (2004), කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන (2005-07-18 සිට) රාජ්‍ය පරිපාලන සහ ස්‌වදේශ කටයුතු (2005-11-18 ජනාධිපතිවරණයෙන් පසු) ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන (2007-01-28 සිට) ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය, මුදල් නියෝජ්‍ය අමාත්‍ය (2010) ඉන් සමහරකි. වර්තමානයේ ඔහු විශේෂ කාර්ය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටී.

ජී. ආර්. ඩී. බණ්‌ඩාර
දැරණියගල හිටපු උප දිසාපති
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.