අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල
සත්කෝරළය යළි අවදි කළ ශ්‍රේෂ්ඨ පුරුෂයා

(අභාවප්‍රාප්ත වී 43 වසරක්‌ සැපිරීම නිමිත්තෙනි)

20 වැනි සියවසේ සිව් වන දශකය ලක්‌ ඉතිහාසයේ අතිශයෙන් ම වැදගත් යුගයකි. එකදාස්‌ නමසිය තිස්‌ ගණන්වල හටගත් ජාතික උද්‍යෝගය ප්‍රධාන වශයෙන් ම මෙරටට නිදහස ලබා ගැනීම උදෙසා ය. මේ සඳහා මිනිසුන් පෙළ ගැසුණේ හුදු දේශපාලන මුහුණුවරකින් නොව දේශයේ අභිමානය දැක්‌වෙන භාෂාව හා සංස්‌කෘතිය මුල් කොට ගත් දේශීය උද්‍යෝගයකිනි. මේ සඳහා මාක්‌ස්‌වාදී හා සමාජවාදී මත සෑහෙන පමණකට ජනතාව අතර ප්‍රචාරය වුවද මිනිසුන් වැඩි වශයෙන් ආසක්‌ත වූයේ අමද්‍යප ව්‍යාපාරය, සිංහල භාෂාව හා සංස්‌කෘතිය නගා සිටුවීමේ සුවිශේෂී අවශ්‍යතාව සලකාගෙනය.

කුලියාපිටිය ප්‍රදේශයේ මෙකී උද්‍යෝගයට ප්‍රධානතම හේතුව වූයේ 1945 දී පමණ පූජ්‍ය හෙණ්‌ඩියගල සීලරතන, රතුපොළ ආනන්ද ඇතුළු භික්‍ෂුන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් ප්‍රදේශයේ පාඨශාලා ආචාර්යවරුන්, විදුහල්පතිවරුන් හා රජයේ වෙනත් ආයතනවල උගත්a ගිහියනුත් මීට සහභාගි වීමයි. යථෝක්‌ත පිරිස විසින් පිහිටුවා ගන්නා ලද සත්කෝරළ සාහිත්‍ය සංගමයට ගිහි නායකත්වය සපයන ලද්දේ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා විසිනි.

1948 ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමට පෙර පාර්ලිමේන්තුවට ප්‍රාදේශීය මට්‌ටමින් මන්ත්‍රී අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇති වූ විට සත්කෝරළ සාහිත්‍ය සංගමයේ ඒකමතික තීරණය වූයේ ඒ සඳහා අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා සුදුසු බව ය. මෙම සුදුසු තත්ත්වය ලැබීමට ඔහු සිදුකළ ප්‍රධානම කරුණු දෙකක්‌ විය. පළමු කොට ඔහු දැනට වයඹ යෑයි සැලකෙන සත්කෝරළයේ ඓතිහාසික ප්‍රෙෘඪත්වය ද බතින් බුලතින් සපිරුණ දේශයක්‌ හෙයින් සත්කෝරළය 'බත්කෝරළය' යෑයි ප්‍රකට ව තිබූ බව ද ප්‍රදේශවාසීන්ට කියා දීම අවශ්‍ය විය. එවකට දිවයිනේ සුප්‍රකට පඬිවරුන් හා දේශකවරුන් වූ පූජ්‍ය තල්පාවිල සීලවංශ හිමි, බඹරැන්දේ සිරිසීවලී හිමි, වල්පොළ රාහුල හිමි යන පැවිදි පක්‍ෂය ද ගිහි පක්‍ෂයෙන් පුරාවිදු කොමසාරිස්‌ සෙනරත් පරණවිතාරණ, එච්. ශ්‍රී නිශ්ශංක ආදි වියතුන් දේශන සඳහා ඊරියගොල්ල මහතා ගෙන්වා ගත්තේය.

කුලියාපිටිය ආසනය හා සත්කෝරළය දියුණු කිරීම සඳහා කළ යුතු ප්‍රධාන ම කාර්යය මෙම ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීම බව ඊරියගොල්ල මහතා ඉතා නිවැරැදිව හඳුනාගෙන සිටියේය. මෙම ප්‍රදේශය සතුව විශාල පොල් ඉඩම් ද, තැන් තැන්වල කොහු කර්මාන්ත ශාලා ද තිබුණු මුත් එහි වත්කම් කොළඹ විසූ පොහොසත් අයිතිකරුවෝ පැහැර ගත්හ. ගැමියන් සතුව තිබූ කුඩා කුඹුරුවලින් ඔවුන්ට අයත් වූයේ යෑපුම් ආර්ථිකයක්‌ පමණි. කුලියාපිටිය ආසන්නයේ කංකාණියම්මුල්ල ග්‍රාමයේ ඉපිද ළමා කාලය ගමේ ම හැදුන වැඩුන ඊරියගොල්ල දරුවා ගැමියන් පිළිබඳ නිවැරැදි වැටහීමක්‌ ලබා සිටියේය.

ආනන්ද හා නාලන්ද යන විදුහල්වලින් උසස්‌ අධ්‍යාපනය ලද එම වකවානුවේදී මෙත්තානන්ද, කුලරත්න, මලලසේකර යන අධ්‍යාපනඥයන්ගේ ඇසුර ලැබීමට ඔහු වාසනාවන්ත විය. තව ද ත්‍රිපිටක ධර්මය, බුද්ධාගම හා ප්‍රාචීන භාෂා හැදැරීමට විෙද්‍යාaදය පිරිවෙනේ අති පූජ්‍ය කහවේ ශ්‍රී රතනසාර නාහිමියන්ගේ මඟÊපෙන්වීම මොහු ලද්දේ ය. මීට අමතරව අතට අසුවන සෑම ඉංග්‍රීසි මෙන්ම සිංහල පොත පත - සඟරා හා පුවත්පත්, නොතිත් ආශාවෙන් කියෑවීමෙන් මහත් භාෂා පරිචයක්‌ හා පටුත්වයක්‌ ඔහු ලබා ගත්තේය.

ඊරියගොල්ල මහතා තම 18 වැනි වියේ දී පොලිස්‌ පරීක්‍ෂකවරයකු ලෙස රජයේ සේවයට බැඳෙයි. එවකට පොලිස්‌පති වූ අධිරාජ්‍යවාදී හර්බට්‌ ඩයිබිගින්ගේ ආකල්ප නොරිස්‌සූ ඔහු එම සේවයෙන් අස්‌වෙයි. ඉතා සුළු කලක්‌ ඔහු සුරාබදු නිලධාරියවරයකු ලෙස ක්‍රියා කරයි. එයින් ද සමුගත් ඊරියගොල්ල මහතා වැඩිදුර අධ්‍යාපනය සඳහා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙයි. එහිදී විජාතික කථිකාචාර්යවරයකු සමඟÊඇතිකරගත් අර්බුදයක්‌ නිසා ඔහු එම විදුහලෙන් අස්‌වන්නේ තමන්ගේ ඉතිරි ජීවිත කාලය ස්‌වාධීන මිනිසකු ලෙස පුවත්පත් කලාව හා ලේඛන කලාව සඳහා කැප කිරීමේ අදිටනිනි. ඔහු මේ සඳහා පළමුව ලේක්‌හවුස්‌ ආයතනයට බැඳෙයි. ඊරියගොල්ල මහතා සිය ප්‍රථම සාහිත්‍ය කෘතිය වන 'අනංගයාගේ දුන්න' නමැති කවි පොත ලියන විට ඔහු 19 වැනි වියේ පසුවිය.

අසාමාන්‍ය නිර්භීත භාවයකින් හා අචල අධිෂ්ඨාන ශක්‌තියකින් යුත් ඊරියගොල්ල මහතාගේ ජීවිත ගමන මැනවින් පිළිවෙළ වන්නේ සිංහල භාෂාව හා සංස්‌කෘතිය පිළිබඳව ඔහු තුළ වූ නිපුණ බව ද පුවත්පත් කලාව නිසා ඔහු ලත් අත්දැකීම් සම්භාරය ද නිසාය. දේශපාලනඥයකු - විශේෂයෙන් ම අධ්‍යාපනය හා සංස්‌කෘතික කටයුතු පිළිබඳ ඇමැතිවරයකු - වශයෙන් ඉටු කළ ජනහිතවාදී කාර්ය භාරය ඊරියගොල්ල මහත්මා තුළ ජීවත් වූ නිර්මාණශිලී සාහිත්‍යකරුවා ගේ මෙහෙයවීමෙන් සිදු වූවක්‌ බඳුය. එතුමා ඒ තරමටම වර්තමානය හා අනාගත අවශ්‍යතාවන් පිළිබඳව නිර්මාණශිලීව බැලීමේ හැකියාවකින් යුක්‌ත විය.

දේශපාලනඥයකු වශයෙන් ඊරියගොල්ල මහතා පසු කලෙක ලැබූ කීර්තිරාවය මානව භක්‌තියෙන් පිරි ඔහුගේ අධ්‍යාත්මික විකාශයක්‌ වන සාහිත්‍ය කෘතීන් වර්තමානයේදී යම් කිසි සැඟවුනු තැනකට පත් කරනු ලැබූවක්‌ මෙන් පවතී. මේ තත්ත්වය හුදෙක්‌ තාවකාලික සංසිද්ධියක්‌ විය හැකිය. ඊරියගොල්ල මහතාගේ කලින් ද සඳහන් කරන ලද ''අනංගයාගේ දුන්න' ද 'වහලාගේ සිහිනය' (අනුවර්තනයකි) යන පද්‍ය කාව්‍යයන්ගෙන් ද. 'කතා පහ', 'දේව වරය' යන කෙටි කතා පොත් ද. 'සුදර්ශනය' තම බිරිඳ සමඟ ලියූ 'පූර්ණ විප්ලවය' යන නිර්මාණාත්මක ග්‍රන්ථ ද 'දේවතාපය', 'මනුතාපය' යන අනුවර්තන ද පාසල් දරුවන් සඳහා ප්‍රබන්ධ කරන ලද 'ලෝකෙන් උතුම් රට ලංකාවයි' හා ප්‍රගති ගීතය වන 'සැම දන මන දිනු සුජාත ධරණී' යන ගීතයත් සිංහල සාහිත්‍ය පෝෂණය කිරීමෙහිලා යෝධ කර්තව්‍යයක්‌ ඉටු කළේය.

ඊරියගොල්ල මහතා 1934 සිට සෑහෙන කාලයක්‌ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන භාෂා පරිවර්තක ලෙස සේවය කළ බවත්, සෝල්බරි කොමිෂන් සභා වාර්තාව සිංහලයට පරිවර්තනය කරන ලද්දේ එතුමා බවත් බොහෝ දෙනෙක්‌ නොදනිති. තව ද දෙවැනි ලෝක යුද්ධ සමයේදී යුද පුවත් බලධරයා ලෙස මෙතුමා කටයුතු කළ බව අද දන්නෝ විරලය හ.

දේශපාලන වශයෙන් ඊරියගොල්ල මහතාගේ ජීවිතය ඉතා කාර්ය බහුල හා හැල හැප්පෑම්වලින්යුක්‌ත විය. 1948 පෙබරවාරි හතර වැනි දින ශ්‍රී ලංකාව නිදහස ලැබීමට පෙර පාර්ලිමේන්තුව රැස්‌ කිරීමේ වුවමනාව නිසා 1947 අග භාගයේදී පාර්ලිමේන්තු මැතිවරණයක්‌ තැබීම අවශ්‍ය විය. මීට එක්‌සත් ජාතික පක්‍ෂය (එජාප), ප්‍රබල තනි පක්‍ෂයක්‌ ලෙස ද, වාමාංශික පක්‍ෂ ගණනාවක්‌ විසින් ස්‌වාධීන අපේක්‍ෂකයන් ගණනාවක්‌ ඉදිරිපත් කරනු ලැබූහ. එජාපයෙන් පමණක්‌ රජයක්‌ පිහිටුවීමට එක්‌ ඡන්දයක්‌ අඩු විය. ඒ අඩුව පිරවීම සඳහා ඊරියගොල්ල මහතා තම ඡන්දය දුන් විට විරුද්ධ පාක්‍ෂිකයන්ගේ මහත් දෝෂයට හා පරිභවයට ඔහු ලක්‌ විය. තමා එසේ කළේ රජය සමඟ සිටීමෙන් තම ආසනය සංවර්ධන කටයුතු සඳහා සම්පත් ලබා ගැනීමට බව ඔහු තම ඡන්දදායකයන්ට පැවැසීය.

1952 ඡන්දයෙන් ද ඊරියගොල්ල මහතා කුලියාපිටිය ආසනයේ නියෝජිතයා ලෙස තේරී පත්විය. ඩී. එස්‌. සේනානායක මහතාගේ අකල් අභාවය 1952 දී සිදු වූ විට ඩඩ්ලි සේනානායක මහතා හා සර් ජෝන් කොතලාවල මහතා සමඟ ඇති වු දේශපාලන අසහනකාරී තත්ත්වයේදී මොහු ඩඩ්ලි සේනානායක මහතාගේ පිල ගනිමින් සර් ජෝන් කොතලාවල මහතා විවේචනයට බඳුන් කිරීම හේතුවෙන් ඔහු ආණ්‌ඩු පක්‍ෂයෙන් නෙරපන ලදි. 1956 අප්‍රේල් මස පාර්ලිමේන්තුව විසුරුවන ලද අතර යූ.ඇන්පියට එරෙහිව 'මහජන එක්‌සත් පෙරමුණ' නිර්මාණය කිරීමෙහිලා ඊරියගොල්ල මහතා පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළ ද කැබිනට්‌ මණ්‌ඩලය පත් කරන අවස්‌ථාවේ දී බණ්‌ඩාරනායක මහතා විසින් මොහු අමතක කරන ලදී. ඔහු පත් කරන ලද්දේ ස්‌වදේශ රාජ්‍ය කටයුතු භාර ඇමැතිවරයාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා වශයෙනි. නොබෝ දිනකින් මෙම තනතුරෙන් ඉවත් වූ මොහු විපක්‍ෂයේ පසු පෙළක අසුන් ගත්තේය.

පසු කලෙක අන්ත පරාජයට පත් වූ යූ. ඇන්. පි ය යළි පුනරුත්ථාපනය කිරීමෙහිලා ඩඩ්ලි සේනානායක මහතා විසින් කරන ලද ආරාධනය පිළිගත් ඊරියගොල්ල මහතා එම කටයුත්තේ ලා මහත් කැපවීමෙන් ක්‍රියා කරමින් තරුණයන් 25,000 කින් පමණ වූ තරුණ පෙරමුණක්‌ ඔහු සංවිධානය කළේය. 1965 මාර්තු මාසයේදී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී යූ.ඇන්.පී. ය යළිත් ජයග්‍රහණය කළ අතර ඊරියගොල්ල මහත්මාට අධ්‍යාපන හා සංස්‌කෘතික අමාත්‍ය ධුරය ලැබිණි.

විවිධ කථිකයන් විසින් මෙතුමාගේ සේවය ඇගයීම් වස්‌ කරන ලද දේශනවලදී මෙතුමාණෝ බස, දෙස,

රැස නැන්වූ වියතාණ කෙනෙකු ලෙස සත්කෝරළයේ මිණි පහන ලෙස සත්කෝරළ වීරයා ලෙස ද ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයකු ලෙස ද කිසිවකුට යටත් නොවූ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස ආදී නන් අයුරින් හඳුන්වනු ලැබූහ.

නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය යටතේ අපේ පාසල්වලට උදාර සේවයක්‌ කළ අධ්‍යාපන ඇමැතිවරුන් අතරින් අයි. එම්. ආර්¾ ඒ. ඊරියගොල්ල මහතා ප්‍රමුඛස්‌ථානයක්‌ ගන්නා බව මට නිර්භයව කීමට පුළුවනැයි හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා පැවැසීය.

ප්‍රේමචන්ද්‍ර දිසානායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.