නඩු නැති රටක සරණාගතයන් වූ
තොප්පිගල මායිමේ සිංහල මිනිස්‌සු


දිවුලපොතාන සිංහල ගම්මානයකි. සිංහල ගම් ලංකාවේ හැර වෙනත් කොයි තැනකවත් තිබෙන්නට පුළුවන්කමක්‌ නැත. විශේෂත්වය වන්නේ දිවුලපොතාන තිබෙන්නේ තොප්පිගල කැලෑව මායිමේ වීමය. කොටි ත්‍රස්‌තවා"න් විසින් ස්‌වකීය සංග්‍රාම භූමියේ මර්මස්‌ථානය කරගත් තොප්පිගල තිබුණු සිsංහල ගමෙන් ඒ අසරණයෝ කලකට පෙර පළා ගියහ. ඒ කොටි සංවිධානයේ ම්ලේච්ඡයන් විසින් ගම පිටින් කැතිගෑමෙන් පසුය.

දිවුලපොතාන ගම්මානයට අප යන්නේ පීඩාවට පත් නැගෙනහිර සිංහල ජනයා වෙනුවෙන් සැම විටම පෙනී සිටින අම්පිටියේ සුමනරතන හිමියන් ඇතුළු කිහිපදෙනෙකු සමගිනි. දිවුලපොතානට යා හැකි කෙටිම මාර්ගය වැටී ඇත්තේ තොප්පිගල වන මැදිනි. නමුත් තොප්පිගල වන මැදින් යැමට හැකිවුයේ මඳ දුරක්‌ පමණි. දිගින් දිගටම ඇද හැලෙන වැස්‌සෙන් මාර්ගයේ කීප තැනක්‌ දැවැන්ත වගුරු බවට පත්ව තිබිණි. අපේ කණ්‌ඩායම යළිත් බොහෝ දුරක්‌ ගෙවා මහඔයට පැමණ එතැන් සිට කිලෝමීටර් 36 ක්‌ අරලගංවිල මාර්ගයේ ගමන් ගත්තේය. එතැනින් තවත් කිලෝමීටර් හය හතක්‌ තොප්පිගල දෙසට ගිය විට දිවුලපොතාන ගම්මානය දැකගත හැකි විය.

මිනීමරු කොටින්ගෙන් ජීවිතය පමණක්‌ ඉතිරිකරගත් දිවුලපොතාන ගම්වාසීහු යළිත් සිය ගම් බිම් කරා පැමිණ තිබුණහ. ඒ සාමය උදාවීමත් සමගමය. එහෙත් පැවතුන රජය යටතේද, මේ රජය යටතේද ඒ මිනිස්‌සු අප්‍රමාණ වෙහෙසට පත්වුණහ. උන් මේ ගෙවන්නේ නැගෙනහිර පළාතේදී සිංහලයෙක්‌ වීමේ කරුමයය. ඒ කරුමයේ වපසරිය ගැන දිවුලපොතාන ගමේ මිනිස්‌සු අපට කීහ. මේ ලියන්නේ ඔවුන් අපට කී කතාවය.

දිවුලපොතාන එක්‌සත් ගොවි සංවිධානයේ සභාපති රංජිත් ලියනගේය. මුලින්ම කතා කරන්නේ රංජිත්ය.

''ඇත්ත මේකයි මහත්තයෝ. මේක මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් සිංහල ගමක්‌. ගම සිංහල වීම නිසා රජයෙන් ලැබෙන කිසිම සහනයක්‌ මේ පළාතෙ දෙමළ ජාතිවාදී දේශපාලනයයි, නිලධාරීනුයි අපට දෙන්නෙ නැහැ. 1977 ඉ`දන් තමයි මේ ගම්මානයේ ජනතාව පදිංචිව සිටින්නේ. පවුල් 610 ක්‌ ඒ කාලේ පදිංචිවෙලා හිටියා. 1984 දි කොටි ගහලා 12 ක්‌ මැරුණා. ඊට පස්‌සෙත් කොටි ගහලා ගමේ අය එක දිගට මැරුණා. එන්න එන්නම කොටි කරදර වැඩි වෙච්ච නිසා අන්තිමේදි ගම අතහැරලා පණ බේරාගෙන ගියා. දැන් යුද්ධය නිමාවුණාට පස්‌සේ නැවතත් මෙම ගම්මානයේ අය පැමිණිලා ස්‌ථිර ලෙස පදිංචිවෙලා ඉන්නවා. ඉතිsරි අයත් වගා කරලා නැවතත් යනවා. දැනට මෙම ගම්මානයේ පාසලක්‌ නෑ. දරුවන්ට ඉගෙන ගන්න විදිහක්‌ නැති නිසා දරුවන් තැන් තැන්වල තියලා ඇවිත් තමයි මේ අය වගා කරන්නේ.

ගමට එන්න හරියට පාරක්‌ නැහැ. පොඩි පැල්පත් හදාගෙන තමයි මෙම ජනතාව ජීවත් වෙන්නේ. දරුවන්ට ඉගෙන ගන්න පාසලක්‌ අවශ්‍යයි. නැවත පදිංචියට පැමිණියත් පාසලක්‌ නැති නිසා දරුවන් ගෙන ඒමට නොහැකි වෙලා තිබෙනවා. ඉස්‌සර දිඹුලාගල හාමුදුරුවෝ ඉන්න කාලේ දිවුලපොතාන සිට තොප්පිගල ළඟට යනකම් පවුල් 35000 ක්‌ විතර පදිංචි කළා. ඒ මෙම ගම්මානයට ආරක්‌ෂාවක්‌ ලබා දෙන්න. අද තත්වය වෙනස්‌. දැන් අපට ඉල්ලන්න වෙලා තියනවා. අපට ගෙවල් හදාගන්න උදවු කරන්න. පාරවල් ටික හදලා දෙන්න. අපි වගකිවයුත්තන්ගෙන් මේවා ඉල්ලා සිටිනවා. මේ කැලේ ලී තොග ගණන් කැපෙනවා. ඒව බලන්නෙ නැති වන සරංක්‌ෂණ නිලධාරීන් අපි මේ ගමෙන් එළවන්න උත්සාහ කරමින් ඉන්නවා'' රංජිත් ලියනගේ කීවේය.

නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ටි.එම්. ජයසේනද කීවේ එවැනි කථාවකි.

''අපේ තාත්තලා හැත්ත ගණන්වල තමයි මෙම ඉඩම්වල පදිංචියට ආවේ. මෙම ගම්මානයේ තිබ්බ මාරවිල පාසලට තමයි මම පහේ පංතියට යනකම් ගියේ. යුද්ධය ඉවර වුණාට පස්‌සේ 2009 සිට වසර ගණනක්‌ අපි මෙහි ගොවිතැන් කළා. නමුත් පසුගිය දිනවල වන සංරක්‌ෂණයෙන් ඒ අයගේ භූමිය කියලා අපේ කිහිප දෙනෙක්‌ අල්ලන් ගියා. ඒ අයගේ භූමිය වෙන්නේ කොහොමද? අපි කලින් පදිංචි වෙලා හිටිය ඉඩම්. නැෙ`ගනහිර පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිගේ හරක්‌ පන්දාහක්‌ විතර ඉන්නවා. ඒ අය වගා කරන කාලෙට පළාත් සභාවේ ඇමතිගේ හරකුයි වෙනත් අයිතිකරුවන්ගේ හරක්‌ විසි තිස්‌ දහසක්‌ වාගේ ප්‍රමාණයක්‌ මෙම ප්‍රදේශයට ඇවිල්ලා වගාව මු`ඵමනින්ම වාගේ විනාශ කරලා දානවා.

වන සංරක්‌ෂණ එකෙන් මහවැලි හා වන සංරක්‌ෂණ භූමියට ඇතුළුවීම තහනම් කියලා බෝඩ් එකක්‌ ගහලා අපේ ඉඩම්වලට ඇතුළුවන අය වන සංරක්‌ෂණ එකෙන් අත්අඩංගුවට අරන් උසාවි දාන්න පටන් අරන්. දෙමළ අය වගා කරන කාලේට එයාල හරක්‌ මෙහාට දානවා. එතකොට අපේ වගාවන් හරක්‌ විනාශ කරනවා. වන සංරක්‌ෂණයෙන් බලපෑම් කරලා අපිව පන්නන්න හදනවා. රාජ්‍ය නිළධාරින්ගේ සහ දෙමළ දේශපාලන නායකයන්ගෙ හයිය අරන් අපිව පන්නලා තණ භුමියක්‌ කරන්න තමයි මෙයාලට උවමනාව. මම මේ පිළිබ`දව නැගෙනහිර පළාත් සභාවේ පවා කථා කළා. නමුත් තවමත් කිසිම විස`දුමක්‌ නැහැ'' ජයසේන මන්ත්‍රීවරයා කිවේය.

කවදත් නැගෙනහිර සිංහලයා වෙනුවෙන් දිවිකැප කර ක්‍රියා කරන, ඔවුන් ගැන ළෙංගතු කමින් සොයා බලන ඒ නිසාම මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ අධිකරණවල නඩු 40 කට අධික ප්‍රමාණයකට පෙනී සිටින්නට සිදුවූ මඩකලපුව මංගලාරාම විහාරාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි මෙසේ පැවසූහ.

"දිවුලපොතාන ගම්මානය මඩකලපුවට අයිති වුණත් මෙම ගම්මානය ඒ කාලේ පාලනය කළේ අම්පාර දිස්‌ත්‍රික්‌කයෙන්. මහඔය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්. යුද්ධයෙන් පස්‌සේ මෙම ජනතාව නැවතත් පදිංචි වෙලා ඉතා දුෂ්කර ආකාරයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. වන සංරක්‌ෂණ නිළධාරින් ඇවිල්ලා මෙම ගම්මානයේ ජනතාව වන සංරක්‌ෂණ ඉඩම් වලට ඇතුලූ වුනා කියලා අරන් ගිහින් උසාවි දානවා. නමුත් මෙම ගම්මානයේ එදා පාසලක්‌ තිබ්බා. පවුල් 610ක්‌ හිටියා. අද තමන් හිටිය තැනට ඇවිල්ලා පදිංචි වෙන්න බැරිවෙලා තියෙනවා. වන සංරක්‌ෂණ ඉඩම් කියන නිසා. මෙහමයි මඩකලපුව සිංහල ගම්මානවල තතත්වය.

කැලේ ගස්‌ කපනවා. නමුත් වන සංරක්‌ෂණ නිළධාරින් ඒවා බලන්නේ නැහැ. නමුත් තමන් ඉපදුන හැදුන වැඩුන ගමේ පදිංචි වෙච්ච ජනතාවයි වන සංරක්‌ෂණයෙන් පන්නා දමන්න හදන්නේ. මේවා මෙසේ සිදුවෙද්දි මඩකලපුවෙහි අසරණ සිංහලයන් කිසිවෙකුගේ පිළිසරණක්‌ නැතිව අසරණ වෙලායි ඉන්නේ. මෙම සිංහල ජනතාව වෙනුවෙන් කටයුතු කරන එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම් ලත් හෙළ බිම සංවිධානය හරහා මෙම ගම්මානයට සහනයක්‌ සැලසීමට මං මැදිහත්ව ක්‍රියා කරනවා'' අම්පිටියේ සුමනරතන හිමියෝ කීහ.

''ඒ කාලේ අපි කොටින්ගෙන් පුදුම විදිහට බැට කෑවේ. මේ ගමට කොටි ගහපු වෙලාවේ මගෙ අයියත් මැරුණා. කොටි කපලා මගේ මල්ලිගේ ළමයි දෙන්නෙක්‌ මැරුණා. මහත්තයා ග්‍රාම ආරක්‌ෂකයෙක්‌. පස්‌සේ මගේ මහත්තයාගේ රස්‌සාවත් නැතිවුණා. මම ඉපදුනේ මෙම ගම්මානයේ. මාරවිල කියන හරියේ සමුපකාරයත් පාසලත් තිබ්බා. යුද්ධය නැතිවුනාම තමයි අපි නැවතත් මෙම ගම්මානයට ආවේ. නමුත් කිසිම පහසුකමක්‌ නැහැ. හරිම කරදරයක්‌ තමයි විඳින්න සිදුවෙලා තියෙන්නේ.'' එච් සිරියාවති කීවාය.

ආර්. එම්. ස්‌වර්ණලතා මැණිකේද සිය අතීත අත්දැකීම අප අභිමුව මෙසේ දිග හැරියාය.

''අපි පාසල් ගියේ මේ ගමේ. අපි ආවේ අපේ ගමට. අලුතින් ඉඩම් අල්ලන්න නොවෙයි. අපිට ස්‌වයං රැකියාවක්‌ කරන්න උදව් කරන්න. රජයෙන් මොනවත් අපිට ලැබිලා නැහැ. යුද්ධයෙන් පස්‌සේ ගම්මානවල නැවත පදිංචි කළත් අපව මේ ගමෙන් පන්නන්නයි සමහරු උත්සාහ කරන්නේ. ගමට විදුලිය නැහැ. නිදන්වල දැල් පාලම හමුදා මුරපොළ සහ කිරි පාර හමුදා මුර පොල දැන් අයින් කරලා. වසර පහක්‌ තිස්‌සේ අපේ ගැටලුවලට පිහිට වුණ අපිව ආරක්‌ෂා කළ යුද හමුදාවත් ඉවත් කරලා. අලි කරදරත් හරිම ගැටලුවක්‌ වෙලා'' ඇය කීවාය.

අනතුරුව කතා කළේ එන්.එම්.චන්දරත්නය. ඔහු කතා කරන්නේත් අපේක්‌ෂා භංගත්වයෙනි.

මට දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. මං මේ ගම්මානයේ ස්‌ථිර පදිංචිකරුවෙක්‌. ගමට කිsසිම පහසුකමක්‌ නැහැ. නමුත් ජීවත් වෙන්න ඕන නිසා අපි දුක්‌ වි`දගෙන මේ ගමට වෙලා ඉන්නවා. අපි මහන්සිවෙලා වගා කළත් සමහර වෙලාවට කිසි වැඩක්‌ නැහැ. හරක්‌ කාලා යනවා. අලි කාලා යනවා. බළධාරින් අපිව පන්නන්න හදන්නේ. මට තේරෙන්නෙ නෑ ඒ මිනිස්‌සු ඇයි එහෙම කරන්නෙ කියලා. අපි සාධාරණය බලාපොරොත්තු වෙන්නෙ කාගෙන්ද කියලා අපි දන්නෙ නෑ. '' චන්දරත්න කිවේය.

තමන් එතෙරට ගොස්‌ දහඩිය මහන්සියෙන් උපයා ගන්නා දෙයින් වසර ගණනාවක සිට සිංහල ජනයා හට අනුපමේය සේවයක්‌ කරන හෙළබිම සංවිධානයේ කපිල රන්දීප ගම්මානයේ ජනතාව අමතමින් මෙසේ පැවසුවේය.

''අපි මෙම ගම්මානය පිළිබ`දව මංගලාරාමයේ සුමනරතන හිමියන් හරහා දැනගත් විට තීරණය කලා අප සංවිධානයට හැකි ආකාරයෙන් උදව් කරන්න. කුමන බාධක ආවත් මෙම ජනතාව ඉතා හො`ද ගොවි සංවිධානයක්‌ පිහිටුවා ගෙන තිබෙන නිසා පැමිණෙන ගැටලුවලට මේ ආකාරයෙන් හෝ මුහුණ දීමට හැකියාවක්‌ ලැබී තිබෙනවා. එම නිසා ප්‍රධානම ගැටලුව වෙලා තිබෙන ගවයන්ගෙන් වගාවන් ආරක්‌ෂා කිරීමට අපිට දිය හැකි සහයෝගයත් අපි ලබා දෙන්න සුදානම්. ඒ වාගේම නිවාස ගැටලුවටත් අපි සහයෝගයක්‌ දෙන්න බලාපොරොත්තු වෙනවා.'' ඔහු ශපථ විය.

නැවත පදිංචි කිරීම පිළිබ`ද දෙමළ ජනයා සම්බන්ධව මුස්‌ලිම් ජනයා සම්බන්ධව මහා කතිකාවක්‌ ඇත. නමුත් සිංහල ජනතාව අරභයා මේ විෂය සම්බන්ධයෙන් කියන්නට ඇත්තේ සිත් කළකිරවන සුළු කාලකණ්‌ණි කතාවකි. මඩකලපුවේ ඇතැම් සිංහල ජනයාට ජන්ද අයිතිය නැත. සමෘද්ධියද නැත. ග්‍රාම සේවක සහතිකද නැත. ඒවා ලබා ගැනීමට ඇති සියලූ මාර්ග අවහිර කර ඇත. ඇතැමුන්ට ආදායම් වාර්තාවක්‌ ලබා ගන්නටද මඩකලපුවට ගොස්‌ උද්ඝෝෂණය කළ යුතුය.

ඔවුන් බොහෝ දෙනකු උපන් බිමේ අනාථව ඇත. රජයෙන් ලැබෙනා කිසිදු දෙයක්‌ මඩකලපුවේ අහිංසක සිංහල ජනයාට ලැබෙන්නේ නැත. ඡන්ද අයිතිය ඉල්ලන්නට ගිය දිනෙක මඩකලපුව පොලිසියේ නරුමයෝ මේ අසරණ සිංහල මිනිස්‌සුන්ව නිරුවත් කර නගර මධ්‍යයේ දී පහර දුන්හ. එවකට මේ රටේ ජනාධිපති මහින්ද රාජපක්‌ෂය.

දැන් රටේ ජනාධිපතිවරයා පොළොන්නරුවේ ගොවි පවුලකින් පැමිණි මෛත්‍රීපාල සිරිසේනය. කවුරු බලයට පැමිණියත් මේ රටේ උපන් සිවිල් වැසියෙකු සතු මූලික අයිතීන් සියල්ල අහිමිකළ නැගෙනහිර සිංහල මිනිsසුන් තවමත් ජීවත් වන්නේ කල්ලතෝනින් සේය. යහපාලනයක ශීලාචාරකම අප විසින් ප්‍රශ්න කරන්නේ මේ පසුබිමේදීය.

බදියුදීන් විල්පත්තු කැලෑව ලයිෂන් පිට විනාශ කරනවිට, රටේ නීතිය බල්ලන්ට දමා කටයුතු කරන විට, අධිකරණයට ගල් ගස්‌සනවිට රාජපක්‌ෂ ආණ්‌ඩුවට ඊට විරුද්ධ වීමට නොහැකිවූ පෞරුෂ ප්‍රශ්නයම මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ යහපාලන ආණ්‌ඩුවටත් තිබේ. මේ මොහොතේත් බදියුදීන් ස්‌වකීය ව්‍යසනය යාවත්කාලීන කරයි. වන සංරක්‌ෂණයේ එකෙකුට තබා ආණ්‌ඩුවටවත් ඒ ව්‍යසනය නවත්වන්නට හැකියාවක්‌ නැත. එහෙත් නීතිය නොව, නීතියේ නාමයෙන් දුබලයන් පෙළන අත්තනෝමතික අශිෂ්ටකම තොප්පිගල කැලෑව මායිමේ වූ දිවුලපොතාන සිංහල ගමේ අහිංසක ගැමියන් මත අතහැර තිබේ.

මේ දිගහැරෙන්නේ වාර්ගික ප්‍රශ්නයක්‌ නොව තවමත් නීතිය නීතියක්‌ නොවූ රටක අශිෂ්ට දේශපාලනයේ යථාර්ථය ය.

සුසන්ත අමර බන්දු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.