හිතට සහනයක්‌ බිඳුණු හදවත්
නැවත එකතු කිරීම


ජීවිතයේ හට ගන්නා ප්‍රශ්න නසා හදවතේ මෘදු මොලොක්‌ ගතිය නැතිවී, දැඩිවී එය ගලක්‌ බවට පත් වෙමින් ආදරණීය බව, දයාව සෙනෙහස සිඳී ගිය අය අද අප අතර ඕනෑතරම් සිටිති. එවැනි අයට නැවත පෙර පැවැති තත්ත්වයටම මනස පත් කර ගනිමින්. සැහැල්ලු, ආදරය, දයාව සෙනෙහස පිරුණු හදවත් යළි සාදා ගැනීමට අවස්‌ථාව ඇත. පසුගිය සතියේ තැපෑලෙන් අපට ලැබුණ සහ ඉදිරියේදී අප වෙත ලැබෙන ප්‍රශ්න ආශ්‍රයෙන් සැකසෙන මෙම ලිපි පෙළ මගින් අප උත්සාහ ගන්නේ ආදරය, ජීවිතය, විවාහය යන සංකල්ප තේමා කොටගෙන ඇතිවන විවිධ ගැටලු නිසා හදවත් බිඳීයැම අවම කර දීමටත්, දැනටමත් පළුදු වී ඇති සිත්සතන් නැවත අලුත්වැඩියා කිරීමට උපකාර කිරීමත් ය.

බේබදු සැමියාට බෙහෙතක්‌·

පැල්මඩුල්ලේ රංජනීගේ ගැටලුව -

මා විවාහ වී අවුරුදු 7 ක්‌ වෙනවා. මගේ සැමියා විවාහ වන අවස්‌ථාවේ මට කීවේ ඉඳලා හිටලා සාදයකදී මත්පැන් ටිකක්‌ බොන බවයි. නමුත් එදා පටන් අද දක්‌වාම නිතර දෙවේලේ මත්පැන් බීමට ඔහු ඇබ්බැහි වී සිටිනවා. විවිධ ක්‍රම මගින් එය නැවැත්වීමට උත්සාහ ගත්තත් සාර්ථක වුණේ නැහැ. දැන් මම එයා ගැන හොඳටම කලකිරිලා ඉන්නේ. මම හිතන්නේ නෑ අපේ හදවත් නැවත යා කරන්න පුළුවන් කියලා. කරුණාකර මෙයට පිළිතුරක්‌ ලබාදෙන්න.

පිළිතුර - යම්කිසි කෙනකු බීමත්කමට ඇබ්බැහි වෙන හේතු කීපයක්‌ තිබෙනවා. ඒවායින් ප්‍රධාන එකක්‌ තමයි යාළුවෝ මිත්‍රයා නිසා බීමට පුරුදු වීම. දෙවැන්න කුමන හෝ හේතුවක්‌ නිසා බීමට පුරුදු වීම. ගතේ සිතේ ආතතිය නැතිකර ගැනීමට ඇති හොඳම විසඳුම බීම යෑයි සිතීම. තුන්වැන්න විසඳුම් නැති ගැටලුවලට හොඳම විසඳුම බීම යෑයි සිතීම. විසඳීමට අමාරු ඕනෑම ගැටලුවකට යම් විසඳුමක්‌ තිබෙන බව මුලින්ම මතක තබා ගන්න. විවිධ ක්‍රම මගින් ගැටලුව විසඳුනේ නැතැයි කියන විට අදාළම ක්‍රමවේද අනුගමනය කරා දැයි ඔබගෙන් විමසිය යුතුයි. පුරුද්ද නිසා බීමට හුරු වූවකු නම් උපදේශනය මගින් පුරුදු වෙනස්‌ කිරීමේ ක්‍රියාවලි තුළින් නොගැලපෙන යාලු මිත්‍රාදීන්ගෙන් ඈත් කිරීමෙන්. පදිංචිය වෙනස්‌ කිරීමෙන්, හොඳ අය ඇසුරට සැලැස්‌වීමෙන්, ආගම දහමට යොමු කිරීමෙන් වෙනස්‌ කළ හැකියි.

පවතින ගැටලුවකින් තාවකාලිකව නිදහස්‌ වීමට බීමට හුරු අයෙක්‌ නම්, ඔහුගේ අවබෝධ මට්‌ටම වෙනස්‌ කරමින් ප්‍රජානනය දියුණු කරමින් බීමත් කමට වඩා ගැටලු විසඳීමේ නිසි විකල්ප ක්‍රමවේද ඇති බව ඔහුට ඒත්තු ගැන්විය යුතුයි. සමහර බිරිඳකට එය කළ හැකි වුවත් සමහර බිරිඳකට තම ස්‌වාමිපුරුෂයා වෙනුවෙන් එය නොකළ නොහැකි වන්නේ ඇය ද එම ගැටලුවේ ප්‍රධාන කොටස්‌කාරියක්‌ විය හැකි නිසයි. මුලින්ම ඔබට සැබවින්ම නැවත ප්‍රීතිමත් ජීවිතයකට මුලපිරීමට අවශ්‍ය නම් කොන්දේසි විරහිතව අතීත සියලු වැරදිවලට ඔහුට ඔබේ හදවතින්ම සමාව දිය යුතුයි. ඔහුව කුඩා කාලයේ ඔහුගේ මව කොන්දේසි විරහිතව රැක බලා ගත්තා මෙන් ආදරයෙන් දයාවෙන් සෙනෙහසින් ඔහුගේ ජීවිතය පිරවිය යුතුයි. ඔහු බීමත්වී යකා නටන විට ඔබ කිසිවක්‌ නොබීS යකා නැටීමෙන් වැළකිය යුතුයි. ගින්නක්‌ නිවීමට ගින්නක්‌ නොව වතුර අත්‍යවශ්‍ය සාධකයක්‌. ඔහුව සුවපත් කිරීමට මුලින්ම ඔබ සුවපත් වී සිටිය යුතුයි. හිත ඇතුළේ නැතත් මතුපිටින් හෝ මුලින්ම ආදරය කරන්න පටන් ගන්න. ඔබට අදාළ යුතුකම් සියල්ල නොපිරිහෙලා ඉටු කරන්න. ඔබ ඔහුට ආදරය කරන බව කියන්න. පෙනෙන්න සලස්‌වන්න. දරුවන්ට ඔහු වටිනා පියකු බව දැනෙන්න ඉඩ අරින්න. බැනීමෙන්. දොස්‌ පැවරීමෙන්. පළි ගැනීමෙන් වැළකී සිටින්න. වැරැද්ද සහ වැරදි කරන මිනිසා වෙන්කොට හඳුනාගන්න ඉගෙන ගන්න. මිනිසා කරන වැරැද්ද වැරදි වුණත් ඔහු අහිංසක බව මතක තබාගන්න.
ෆේස්‌ බුක්‌ ආදරය අහිමිවෙයිද?

බෙල්ලන්විල කමනීගේ ප්‍රශ්නය -
ෆේස්‌ බුක්‌ එකෙන් මම කැමැතිම වර්ගයේ කෙනකුට ආදරය කරන්න මට ලැබුණා. එයා පිටරටක වැඩ කරන්නේ. අපි ගොඩක්‌ ළං වුණා. එයා ලංකාවට ඇවිත් එයාගේ දෙමව්පියන්ටත් අපගේ සම්බන්ධය කියලා මාව බලන්න අපේ ගෙදර ආවා. අපි දුප්පත් නිසා එයාගේ අම්මා අපි බඳිනවට කැමැති නැහැ. මගේ පවුලේ සියලුදෙනා යෑපෙන්නේ මගේ පඩියෙන්. මගේ තාත්තයි අම්මයි රැක ගන්න වගකීමක්‌ මට තියෙනවා. බැන්දම අම්මලා තාත්තලාගෙන් වෙන්වෙලා එම වගකීම් වලින් නිදහස්‌ වෙන්න ඕනෙ කියලා නැන්දම්මා කියනවා. මාව ඉතා වෙහෙසක්‌ දරමින් ඇති දැඩි කළ දෙමව්පියන් අමතක කිරීමට මට නොහැකියි. මාගේ දෙමාපියන් මේ නිසා මෙම විවාහය සිදුවනවාට අකැමැති වුණා. මෙය මට ලොකු ගැටලුවක්‌. කෙසේ හෝ මෙම විවාහය කර ගැනීමට මට අවශ්‍යයි. මම එයාට ගොඩක්‌ ආදරෙයි.

පිළිතුර - විවාහය නම් වසර ගණනාවක්‌ මුළු ජීවිත කාලයක්‌ එකට ඉන්න සම්බන්ධතාවක්‌. ඒකට ඉතා හොඳින් ගැලපෙන දෙන්නෙක්‌ වුණොත් ලේසියි. ලංකාවේ සංස්‌කෘතිය අනුව ජෝඩුව ගැලපෙනවාද කියලා බලන්නේ දෙමාපියන්. ජෝඩු දෙකත් ගැලපෙනවා නම් තමයි විවාහ වීමට පෙර මතුවන මෙවැනි ගැටලු විවාහ වුණාට පසු උග්‍ර වෙනවා මිස විසඳෙන්නේ නැහැ. එම නිසා මෙවැනි අවස්‌ථාවකදී ඔබ ඉතාම කල්පනාකාරී විය යුතුයි. දරුවකුගෙන් අනාගත යෑපීමක්‌ බලාපොරොත්තු වන දෙමාපියන් ගැනත් වරදක්‌ කියන්නට බැහැ. එය අපේ සංස්‌කෘතියයි. පවුලෙන් වෙන්වීම සහ වෛවාහක පවුලට මුල්තැන දීමට කියන නැන්දම්මා ද වැරදි නැත. කෙසේ හෝ දෙමාපියන්ගෙන් තොරව ඔවුන්ගේ ආශිර්වාදය නොමැතිව විවාහ වීමද ගැටලුවකි. මේ සඳහා දිය හැක්‌කේ එකම පිළිතුරකි. මෙම ගැටලුව පැහැදිලිව කුමන හෝ ආකරයකින් නිරාකරණය කරගෙන මිස විවාහය සිදු නොකළ යුතු බවයි. හේතුව අප සියලු දේ කරන්නේ සතුට සඳහාය.s විවාහයේ සැබෑ සතුට ලැබෙන්නේ දෙපාර්ශ්ව දෙමාපියන්ගේ සම්පූර්ණ ආශිර්වාදය ලැබෙන විටයි. අනාගතයේ ගැටලු ගොඩක්‌ මතු කරගෙන දුක්‌ වෙනවාට වඩා දැන්මම මෙම ගැටලුව පැහැදිලිව විස¹ ගැනීමට කටයුතු කරන්න. හොඳම දේ ලෙස මනෝවිද්‍යා උපදේශකයකු වෙත යොමු වීම අත්‍යවශ්‍යයි කියා මට සිතෙනවා.

මගේ පාළිකාව මගේ බිරිඳයි

රත්නපුරේ රොෂාන්ගේ ප්‍රශ්නය -

අපි විවාහ වුණේ ආදරය කරලා. මගේ බිරිඳ විවාහ වූ දවසේ සිට අද දක්‌වාම මාව පාලනය කරනවා. මට අවශ්‍ය ලෙස කිසිම තීරණයක්‌ ගැනීමට ඉඩ දෙන්නේ නැහැ. එයාට යටත් වූ ජීවිතයක්‌ තමයි මම ගත කරන්නේ. අපිට දරුවෝ දෙන්නෙක්‌ ද සිටිනවා. නෝනා ඉතා දක්‍ෂයි. ඒ වුණත් මම ඉන්නේ අධික මානසික පීඩනයකින්. එයා අසභ්‍ය වචන වලින් දරුවන්ටත්. සමහරවිට මාගේ දෙමාපියන්ටත් බැන වදිනවා. ඒවා එයාට සාමාන්‍යයයි. මගේ පවුලේ සහෝදර සහෝදරියන් පවා මාගේ බිරිඳගේ චර්යාවට අකැමැතියි. මා කුමක්‌ කළ යුතුද?

පිළිතුර - විවාහය යනු අපිට ගැලපෙනම තැනැත්තා හෝ තැනැත්තිය හමුවී ඇතිවන පරිපූර්ණ සතුට ලැබෙන සන්සිද්ධියක්‌ නොවෙයි. එය ඔට්‌ටු ඇල්ලීමක්‌ වැනියි. සමහර කෙනකුට එක්‌තරා තරමකට ගැලපෙන අය හමුවුණාට සමහර කෙනකුට එහෙම ලැබෙන්නේ නැහැ. ආදරය කරන කාලේ මුලදී ගැලපුනත්. පසුව නොගැලපීම් හට ගන්නවා. ඔබ විවාහ වී දරුවන් ද සිටින පියකු නම් ඇත්ත ඇති සැටියෙන් පිළිගන්න. ඔබට ඇය සමග පොඩි පොඩි ගැටලු සහිතව හෝ විවාහය ගෙන යා හැකි නම් දරුවන්ගේ යහපත උදෙසා එය එසේ කරන්න. ඔබගේ බිරිඳගේ අඩුපාඩු රැසක්‌ තිබුණත් ඒවා ඔබට දරා සිටිය හැකි නම් එසේ දරා සිටීම ආතතියෙන් වේදනාවෙන් නොව අවබෝධයෙන් කරන්න. ඇයගේ අවබෝධය වැඩි කිරීමට හැකිවන පරිදි කටයුතු කරන්න. පොත්පත්, ලිපි, දේශන, උපදේශන, බණ, දහම් ආදිය තුළින් ඇයගේ අවබෝධ මට්‌ටම පුළුල් කරන්න. ගැටලුව පරිපූර්ණව විසඳුනේa නැතත් ජීවිතය එක්‌තරා සතුටකින් ගත කිරීමට එය උදව් වේවි.

මට හරිම නිදිමතයි

නිවිතිගල පුෂ්පලතාගේ ප්‍රශ්නය -

මට රාත්‍රි කාලයටද දවල් කාලටයද අධික ලෙස නිද්‍රdශීලී බව දැනේ. මේ නිසා කිසිම වැඩක්‌පලක්‌ හරියට කිරීමට නොහැකියි. කුමක්‌ කළ යුතු ද?

පිළිතුර - රාත්‍රී කාලයට පැය 7 ක 8 ක පමණ ප්‍රමාණවත් නින්දක්‌ ලැබූ පසුත් නිද්‍රdශීලී බව තිබේ නම් එය කායිකව හෝ මානසිකව පවතින ආනතිත තත්ත්වයක්‌ හෝ රෝගී තත්ත්වයක්‌ විය හැකියි. ඔබට තිබෙන්නේ සෙම් රෝග බහුල සිරුරක්‌ නම් නිද්‍රdශිලී බව සාමාන්‍ය දෙයකි. එවැනි කෙනකු සෙම අධික සිසිල් ආහාර හැකි තරම් අඩුවෙන් ගත යුතුයි. යම්කිසි ව්‍යායාමයක්‌ දිනපතා කිරීමෙන් ඇඟට දහඩිය දැමීමට සැලැස්‌විය යුතුයි. ආහාර ගැනීමේදී ආහාරවල ගුණාත්මක ස්‌වභාවය වැඩිකොට ආහාර ගන්න ප්‍රමාණය සමබල, සමබර විය යුතුයි. දිනකට ප්‍රමාණවත් ලෙස වතුර පානය කළ යුතුයි. තත්ත්වය දිගටම පවතී නම් වෛද්‍යවරයකු කරා යොමු වී උපදෙස්‌ ගත යුතුයි. තයිරොක්‌සින් වැනි හෝමෝන ගැටලු ද මෙවැනි තත්ත්වයන්වලට බෙහෙවින් බලපෑමට ඉඩ තිබෙන නිසා වෛද්‍ය උපදෙසක්‌ ලබා ගැනීම සුදුසු යෑයි මට හැඟේ.


රාජගිරියේ සංජීවගේ ප්‍රශ්නය -

මගේ බිරිඳ ඉතාම ආදරණීය කාන්තාවක්‌. ඇගේ දෙමාපියන්ටත්, මාගේ දෙමාපියන්ටත් මෙන්ම වෙනත් අයෙකුටත් ආදරෙයි මටත් ආදරෙයි. ඒ වුණාට එයාට මමත් ආදරෙන් කියන කරන දේවල් එයා තේරුම් ගන්නේ වැරදි විදිහට. එයාගේම යහපතට මම දෙන උපදෙසත් වුණත් කිසිම දවසක එයාට ඒත්තු ගැන්වීමට මට නොහැකියි. අනුන්ට සවන්දීමේ දුර්වලතාවකින් ඇය විශාල ලෙස පෙළෙන බව මට සිතෙනවා. මම කටවහගෙන, ඇයට කිසිදෙයක්‌ සම්බන්ධව උපදෙස්‌ නොදී සිටියහොත්. සියල්ල සාමාන්‍ය පරිදි සිදුවෙනවා. කවර හෝ අවස්‌ථාවක ගැටලුවක්‌ මතුවීමට පෙර යම් උපදෙසක්‌ දීමට මා උත්සාහ කළොත් එය නිම වන්නේ අප දෙදෙනා අතර විශාල අඩදබර වීමකිනි. දරුවා ගැන, ඇය ගැන ව්‍යාපාර කටයුත්තක්‌ ගැන කෑමක්‌ බීමක්‌ ගැන එවැනි කිසිම දෙයක්‌ ගැන ඇයට උපදෙස්‌ දීමට හෝ කියා දීමට නොහැකියි. වහාම එයට ප්‍රතිවිරුද්ධව කතාකොට මා කීමට උත්සාහ කරන දේ වැරැද්දක්‌ ලෙස දකිනවා. මේ නිසා මා ජීවිතය ගත කරන්නේ ඉතා කනස්‌සල්ලෙනි.

පිළිතුරු - පිරිමි සහ ගැහැනු දෙගොල්ලෝම වෙන් වෙන් පෞරුෂත්ව වර්ගවලට අයිති වෙනවා. ඒ ඒ පෞරුෂත්ව වර්ගවල අය කතා කරන්නේ. සවන් දෙන්නේ, වැඩ කරන්නේ එක්‌ එක්‌ ආකාරයටයි. ඔබගේ බිරිඳ ද තවත් එක්‌ පෞරුෂත්ව වර්ගයක්‌ ලෙස නිගමනය කළ හැකියි. බටහිර මනෝවිද්‍යාවට අනුව ප්‍රධාන පෞරුෂත්ව වර්ග 12 ක්‌ හා අනු පෞරුෂත්ව වර්ග එක්‌දහස්‌ ගණනක්‌ තිබෙනවා. ඒ කින්නේ පුද්ගලයන් විවිධාකාර වන බවයි. එම අතරේ සම්පූර්ණම ධනාත්මක පෞරුෂයන් ද සම්පූර්ණම සෘණ පෞරුෂයන් ද තිබෙනවා. එම සෘණ පෞරුෂයන් තුළ දක්‌නට ලැබෙන සෘණ ගති, නොගැලපෙන ගති, උග්‍ර වූ විට මානසික රොග ලෙස ප්‍රතිකාර ලැබිය යුතු වශයෙන් නිර්දේශ කෙරෙනවා. සමහර අයට උපදේශනාත්මක ප්‍රතිකාර අවශ්‍යයි. සමහර අයට මොන ප්‍රතිකාර දුන්නත්. මොන උපදෙස්‌ දුන්න්ත වෙනස්‌ වීම තාවකාලිකයි. ජානමය වශයෙන් උරුම කරගත් මූලික ගති ලක්‍ෂණ නැවත මතු වෙනවා.

ඔබගේ බිරිඳ සම්බන්ධව පැහැදිලිව නිගමනයක්‌ කිරීමට නම් තවදුරටත් ඇය ගැන සහ ඔබ දෙපල ගැන කරුණු විමසිය යුතුයි. ඔබගේ චර්යාව ඇයගේ චර්යාවට අනිවාර්යයෙන් බව ඔබ මතක තබා ගත යුතුයි. දැනට ඇය වෙනස්‌ කළ නොහැකි තත්ත්වයක සිටී නම් ඔබට ඔබගේ චරිතය විවිධාකාරයෙන් වෙනස්‌ කොට බලන්න. එවිටද ඇයගේ චර්යාව තුළ කිසිදු වෙනසක්‌ සිදු නොවන්නේ නම් අනිවාර්යයෙන්ම ඔබ දෙදෙනා මනෝ විද්‍යා උපදෙස්‌ සහ ප්‍රතිකාර සඳහා යොමු වන්න. මනෝ විද්‍යා උපදෙස්‌ ලබාගැනීම හා එවැනි උපදෙස්‌ ලබාදෙන වැඩසටහන්වලට සම්බන්ධවීමට මානසික රෝගියකුම වීම අවශ්‍ය නැති බව මතක තබාගන්න.

දික්‌කසාදයක ඇරඹුම කොතැනද?

මතුගම රවිඳු - දෙදෙනාම නොගැලපෙන නිසා දික්‌කසාද වීම අනිවාර්ය වන විටත් දරුවන් නිසා එසේ නොකර සිටිය යුතු ද? ඒ කියන්නේ දරුවන් නිසා දෙමාපිය දෙදෙනා ජීවිත කාලයම දුක්‌විඳිය යුතු ද?

මෙය ඉතා ගැඹුරු ප්‍රශ්නයකි. කෙටි පිළිතුරක්‌ දෙන්නම්. දෙදෙනාම නොගැලපෙන බව ඔබට සිතුනත් එය ඔබ දෙදෙනාගේ අවබෝධ මට්‌ටම අනුව දැනෙන විදිහයි. දික්‌කසාද වෙන්නම සිටි සමහර අය උපදේශන හා වැඩසටහන් මගින් සම්පූර්ණව වෙනස්‌ වී ඉතා ප්‍රීතිමත් ජීවිත ගත කරන අය බවට පත්වී සිටිනවා. එම නිසා මෙතෙක්‌ දෙදෙනා අතර ගැටලුව විසඳීමට නොගත් වෙනස්‌ම වූ ක්‍රමවේදයක්‌ ඔස්‌සේ විසඳුම් සෙවීමට උත්සාහ ගැනීම හොඳයි. දරුවන් සිටින දෙමාපියන් දික්‌කසාද වීමෙන් කුඩා දරුවන්ට සිදුවන අගතිය ගැටලු සහගත විවාහ දිවියක්‌ ගත කරමින් දෙමාපියන් ලබන අගතියට වඩා ඉතා විශාල විය හැකියි. එම නිසා තවදුරටත් ඉවසිලිවන්තව විවාහය සාර්ථක කර ගැනීමට හැකි බව විශ්වාස කරමින් ඒ සඳහා ක්‍රමවේද සොයන්න.


මනෝ වෛද්‍ය නීතිඥ පෞරුෂත්ව පුහුණ විශේෂඥ කුමා ඉද්දමල්ලෙන ගෙන එන 'හිතට සහනයක්‌' උපදේශන සේවාවෙන් පිළිතුරු ලබාගැනීම සඳහා ඔබේ ප්‍රශ්නය පැහැදිලිව ලියා පහත ලිපිනයට එවන්න.

'හිතට සහනයක්‌', නැකත දිවයින ඉරිදා සංග්‍රහය නො. 223 බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.