ඉන්දීය ශ්‍රී ලංකා සේවා ගිවිසුමෙන් ඉන්දියාවේ වෘත්තිකයන් ශ්‍රී ලංකාව ආක්‍රමණය නැවැත්විය නොහැකිවෙයි
ජී. එල්. පීරිස්‌

අනුර බාලසූරිය

ආණ්‌ඩුව ඉන්දියාව සමඟ ඇතිකර ගැනීමට සූදානම් වන සේවා ක්‍ෂේත්‍රයට අදාළ ගිවිසුමෙන් ඉන්දියාවෙන් මෙරටට වෘත්තිකයන් පැමිණියහොත් එම ආක්‍රමණය නැවැත්විය නොහැකි බව මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා සඳහන් කළේය.

බොරැල්ල කොටාපාරේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පෙරේදා පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවැසීය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජී. එල්. පීරිස්‌ මහතා

අප රටේ ස්‌වාධීනත්වයට එල්ල වූ ප්‍රධාන අභියෝගයෙන් අපි ගොඩආවේ 2009 මැයි මාසයේදී. අපේ නිදහස සමරන මේ අවස්‌ථාවේ අප රටට නැවතත් එල්ලවී තිබෙන විශාල අභියෝග අපි මෙනෙහි කළ යුතුයි. නමුත් අභියෝගවලට මුහුණදීම සඳහා මේ ආණ්‌ඩුව කිසිදු පියවරක්‌ ගන්නේ නෑ.

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට සූදානම් වන සේවා ක්‍ෂේත්‍රයට අදාළ ගිවිසුමේ බරපතල කාරණා තිබෙනවා. පසුගියදා ධීවර ඇමැතිවරයා කන්කසන්තුරේ ගොස්‌ ඩෝරා යාත්‍රවකට ගොඩවෙලා ඉන්දියානු බෝට්‌ටු සිය ගණන් නිරීක්‍ෂණය කළා.

අනතුරුව එතුමා ඉතා ආවේගශීලීව ඉල්ලීමක්‌ කළා. ඉන්දියානු ඇමැතිවරුන්ගෙන් මේ වන විනාශය සියසින් බලාගන්න එන්න කියලා ඔහු ආරාධනා කළා. ඉන්දියානු ආක්‍රමණය මැද්දේ අපි ඉතා බෙලහීන තත්ත්වයකට පත්ව ඇති බව රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා කියා තියෙනවා. ඔහු කියා සිටියා ගිය වසරේ ඉන්දියානු ධීවර යාත්‍රා 35000 ක්‌ අපේ මුහුදු සීමාවට ඇතුළුවුණා කියලා. එම යාත්‍රා නීති විරෝධීව අපේ ජල තීරයට ඇතුළුවෙලා සියලුම සම්පත් නෙලා ගෙන ඉන්දියාවට ගෙන යනවා. වන්නි ප්‍රදේශයෙන් පමණක්‌ මාළු ටොන් 30,000 ක්‌ ගෙන ගිය බව ඇමැතිවරයා කියා තිබුණා.

මේ පිළිබඳව ඉන්දියාව සමඟ අනන්තවත් සාකච්ඡා කර තියෙනවා. මෙය ඉන්දියානු වෙරළ ආරක්‍ෂක සේවයට නැවැත්විය හැකිවූවත් ඔවුන් එය නැවැත්වීමට කිසිදු පියවරක්‌ ගන්නේ නැහැ.

අපිට තිබෙන ආර්ථික අලාභයට වඩා මේ තුළින් මුහුදු පතුල විනාශ වෙනවා. මේක සදාකල් අපට එය විඳින්න වන ව්‍යසනයක්‌. අපේ අයිතීන් ආරක්‍ෂා කරගැනීමට බැරි තත්ත්වයට පත්වෙලා. මෙවැනි පසුබිමක්‌ තුළ සේවා ක්‍ෂේත්‍රයේ ගිවිසුමක්‌ ඉන්දියාව සමඟ අත්සන් කිරීමට මූලික රාමුව සකස්‌ කරගෙන යනවා.

ඉදිරි දිනවල ලංකාවට පැමිණෙන ජගත් මානව හිමිකම් කොමසාරිස්‌වරයා හා ඉන්දියානු විදේශ ඇමැතිවරයා හමුවී උද්ගතව ඇති ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්‌ථාවක්‌ ඉල්ලා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා

නීත්‍යානුකූල නොව පොලිස්‌ රාජ්‍ය සංකල්පයට මග පාදන මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ස්‌ථාපිත කරලා පෙබරවාරි 13 දිනට වර්ෂයක්‌ සම්පූර්ණ වෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට්‌ අනුකමිටුව මගින් මෙය ස්‌ථාපනය කළ බව ගැසට්‌ නිවේදනයේ සඳහන් වෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරටයි අගමැතිවරයා මෙහෙයවන පොලිස්‌ ඒකකයක්‌ ස්‌ථාපිත වෙන්නේ. මෙයට පැමිණිලි ඉදිරිපත් කළ හැක්‌කේ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය හරහායි. අතිශයින්ම දේශපාලන දඩයම් කරණය සඳහා රජයට පක්‍ෂ නැති සියලුදෙනා දණ ගැස්‌සීම, මර්දනය කිරීම, තර්ජන ගුලිය එසවීමටයි මෙම මූල්‍ය අපරාධ කොට්‌ඨාශය සංස්‌ථාපිත කළේ.

අපි මෙයට විරුද්ධව ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව ගැසට්‌ නිවේදනය කථානායකවරයාගේ අවධානයට යොමුකළා. දෙවනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති 19 ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවැති පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී තමා ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම වෙනුවෙන් මෙම පොලිස්‌ රාජ්‍යයක්‌ සෑදීමේ ගැසට්‌ නිවේදනය ඉදිරිපත් කළා. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ඔහු මේ සම්බන්ධව කිසිවක්‌ දන්නේ නැති බවත් එය සම්පූර්ණයෙන් නතර කරන බවත් ප්‍රකාශ කළා. එවැනි දේ මින්පසු වෙන්න ඉඩතියන්නේ නෑ කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඉන්පසුව පාර්ලිමේන්තු මැතිවරණය ආසන්නයේදී හිටපු ජනාධිපති හා වර්තමාන ජනාධිපතිවරයා ඒකාබද්ධ කිරීමට පැවැති සාකච්ඡාවේදීත් මෙම ප්‍රශ්නය විසඳී නැතිබව ජනාධිපතිවරයාට දැන්වූවා.

නමුත් තාමත් දිගින් දිගටම පාර්ලිමේන්තු ඇතුළු අනෙකුත් මහජන නියෝජිතයන් අමාත්‍යංශ ලේකම්වරු, රාජ්‍ය නිලධාරීන්, විද්වතුන් කලාකරුවන්, ක්‍රීඩකයන් ආදී සියලු දෙනා තොග වශයෙන් මේ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට ඔසවාගෙන යාමේ ක්‍රියාවලිය සිදුවෙනවා. ගෙන ගොස්‌ තර්ජනය කරනවා. වරද පිළිගන්න කියනවා.

මෙය නතර නොවන නිසා පසුගියදා රැස්‌වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ විධායක සභා රැස්‌වීමේදීත් ජනාධිපතිවරයා දැනුවත් කළා. මෙම මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ හිරිහැර සිදුකරන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන්ට පමණයි. කිසිදු එක්‌සත් ජාතික පාක්‍ෂිකයෙක්‌ මෙතනට ගෙනියන්නේ නෑ. ශ්‍රීල.නි.ප.ය ප්‍රගතිශීලී ව්‍යාපාරය මර්දනය කිරීමට මෙම මර්දනය යාන්ත්‍රණය යොදාගෙන තිබෙනවා. ඒ නිසා වහාම ක්‍රියාත්මකවන පරිදි හිතුවක්‌කාරී මෙම පොලිස්‌ රාජ්‍ය ගොඩනැගීමට ඉඩනොදෙන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

ඒ කියල දින කීපයක්‌ යනවිට මාධ්‍ය ආයතනවලටත් මෙම මර්දනය පැමිණ ආයතනවල කටයුතු කරපු රොහාන් වැලිවිට, නිශාන්ත රණතුංග, යෝෂිත රාජපක්‍ෂ ඇතුළු පිරිසක්‌ අත්අඩංගුවට ගෙන සෙනසුරාදා දිනයේ උසාවිය පවත්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කළා.

13 වැනිදා මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට වසරක්‌ පිරෙන විට රටේ ස්‌වාධීනත්වය - ස්‌වෛරීභාවය පාවාදීලා මේ රටේ දෙමුහුන් අධිකරණ පිහිටුවීම, මාධ්‍ය දඩයම, මූලික මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව ලබන 6 වැනිදා රටේ ජනතාවට ආරාධනය කරනවා පොල් ගෙඩියක්‌ අරගෙන ඇවිත් සීනිගම දේවාලයේ පොල්ගසා කන්නලව් කරන්න කියා.

මූල්‍ය අපරාධ කොට්‌ඨාසය නීත්‍යානුකූල නොවන බවට අධිකරණයේ නඩු පවරා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආණ්‌ඩුවේ සිටින ඇමැතිවරුන් මේ අපරාධ කොට්‌ඨාසයට විරුද්ධයි. මෙයට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විරෝධතා රාශියක්‌ දියත් කෙරෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා

සෞඛ්‍ය ඇමැතිවරයාට පොලිස්‌ කාර්යාලයේ කටයුතු සඳහා වැඩිපුර කාලයක්‌ ගත කිරීමට සිදුව ඇති නිසා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතු කෙරෙහි අවධානය යොමුකිරීම අඩුවෙලා. වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර සඳහා ඖෂධ හිඟයක්‌ ඇතිබව ප්‍රකාශ කර තිබුණා.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.