සිල් බිඳින සුමන සාධු

* මාසයක ටියුෂන් වියදම රුපියල් හතලිස්‌ දාහයි
* කෙල්ලෝ සාධුට වහ වැටිලා

වසර ගාණක්‌ තිස්‌සේ අප රට තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් එන ටියුෂන් මාෆියාව ගැන දැන් දැන් බොහෝ දෙනකුගේ ඇස්‌ ඇරෙමින් අවධානය යොමු වෙමින් පවතී.

'' මටත් තියෙනව ටියුෂන් ගුරෙක්‌ ගැන කතාවක්‌ කියන්න.''

''අපිට වෙන අසාධාරණ ගැන අපිට කියන්න කෙනෙක්‌ නැතිව හිටියෙ. ''

''අපිත් කැමතියි අපේ රටෙන් ඔය වසංගතය නැති කරල දාන්න අපෙන් මොනාද වෙන්න ඕනි ''

''දරුවන්ව කන්නේ ඔය අමතර පන්ති තමයි ''

මෙවන් අදහස්‌ සිත් දරාගත් අප රටේ බහුතරයක්‌ දෙමාපියන් සිටින්නේ මෙම අතිරේක පන්ති මාෆියාව ගැන කලකිරීමෙනි, වේදනාවෙනි, කෝපයෙනි.

ටියුෂන් හෙවත් අතිරේක උපකාරක පන්ති මුලින්ම ආරම්භ වූයේ ගුරුතුමා හෝ ගුරුතුමිය විසින් පන්තියේ සිටින අදක්‍ෂ දුර්වල සිසුවා පන්තියෙන් පසුව වෙනම ගෙන ඔහුව හෝ ඇයව පාසලේම හෝ තම නිවසට ගෙන්වා අමතර දැනුමක්‌ ලබා දි පන්තියේ අනෙකුත් සිසුන්ගේ තත්ත්වයට ගෙන ඔහුව හෝ ඇයව විභාගයෙන් සමත් කරන අරමුණෙන් බව දැන් ජීවත්වන බොහෝ අය නොදනිති. ඇත්තෙන්ම අතිරේක ඉගැන්වීම් යනු උතුම් ක්‍රියාවකි. මෙවන් සද්කාර්යන් නිසා එකල ගුරුවරුන් ඇමතුවේ ගුරුදේවයන් ලෙසිනි.

අද ටියුෂන් ගුරුවරු සහ සිසුවෝ මෙම උතුම් සංකල්පයෙන් බැහැරව වෙන වෙන අත හැසිරෙති. කොටින්ම කිවහොත් අද ටියුෂන් වැඩියෙන්ම ගන්නේ පන්තියේ සිටින අදක්‍ෂ දුර්වල සිසුවා නොව දක්‍ෂතම දිප්තිමත්ම දරුවායි. බහුතරයක්‌ දෙමාපියන් සහ සිසු සිසුවන් කියන අන්දමට දරුවන් විෂයයන් ඉදිරියේ අවුල් නොවී ෂේප් වී සිටින්නේ දහස්‌ ගාණක්‌ ගෙවා සහභාගීවන අමතර අතිරේක පන්තියට පින් බැර වෙන්නටයි වෙනත් අයුරකින් කිවහොත් පන්ති කාමරය වෙත පැමිණ උගන්වන ගුරුවරයාට වඩා වැඩියෙන් මුදල් ගෙවා ඉගෙනගන්නා ස්‌ථානයෙන් දරුවා හොඳ දැනුමක්‌ ලබයි. මෙයට මූලික වශයෙන් වගකිව යුත්තේ අද පවතින යල් පැන ගිය පාසල් අධ්‍යාපන ක්‍රමය සහ එයට දායකත්වය දෙන අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරු ඇතුළු ගුරුවර ගුරුවරියන් බව අපගේ අදහසයි.

ඇත්තටම මෙයට කලකට පෙර කොල්ලෙක්‌ හෝ කෙල්ලෙක්‌ ටියුෂන් යන්නේ නම් වැඩිදෙනෙක්‌ ඒ අය දෙස බැලුවේ නෝන්ඩි බැල්මකි. ඔහුව හෝ ඇයව ගණන් ගත්තේ මොලේ අඩු මැට්‌ටෙක්‌ හෝ මැට්‌ටියක්‌ ගාණටයි. එම නිසාම දරුවන් ගණන් වැනි අමාරු විෂයයකට අමතර පන්ති ගියේ ඉතා හොර රහසිනි. නමුත් බලාගෙන ගියාම සිසුහු බොහෝ දෙනෙක්‌ එක තැනකදී එකිනෙකාට හමුවෙයි. සමහරවිට ඒ නිමල් සර්ගේ පන්තියේදීය නැත්නම් නුගේගොඩ සිඩ්නි පියදාස සර්ගේ ගෙදර ගරාජයේදිය. එසේත් නැත්නම් සුනේත්‍රාගේ හෝ සුභද්‍රාගේ බණ මඩුවේදීය. ඒ එකාට හොරා අනෙකා ටියුෂන් ගන්න ආ නිසාය.

බණ මඩු ධර්ම ශාලා ගැන කියද්දි පන්සල් තුළ කෙරෙන අමතර පන්ති ගැනද කතා නොකරම බැරිය. සමහර පන්සල්වලින් කෙරෙන මෙම කාර්යය ඉතා අගය කළ යුතුය. නමුත් අවර ගනයේ ටියුෂන් කෙරෙන පන්සල් ද බොහෝය. ඒවා ගැන ලොකු ලොකු හාමුදුරුවරු දන්නේ නැත

කොට්‌ටාවට ආසන්නයේ ඇති සුමන සාධුගේ තාර්කික විද්‍යා පන්තිය අමුතුම රසගුලාවක්‌ බව අපට කීවේ පන්නිපිටියේ තරුණ ගැටයෙකි. ඔහුත් සමග ඔහුගේ පෙම්වතියත් මෙහි ඉගෙනුම ලබයි.

''සාධු හොඳයි හොඳටම උගන්වනවා. ඒත් ඉතින් දෙන ටෝක්‌වලට කෙල්ලො බඩ නොවී ඉන්න එකයි පුදුමෙ. මම එක පැයක්‌ අතඅරින්නැතිව හැමදාම පන්ති එන්නේ ඉගෙන ගන්න ආසාවට වඩා මගෙ කෙල්ල පරිස්‌සං කරගන්නයි. පන්තියෙ අනික්‌ කෙල්ලො සාධුට වහ වැටිල. සුමන සාධු පන්සලේ ශාලාව බද්දට අරන් පන්ති කරාට අපි කවුරුත් දන්නෙ නැහැ එයා කොහෙන් එනවද කොහාට යනවද කියල. අම්මෙක්‌ අප්පෙක්‌ නැති රටක්‌ ගමක්‌ කියන්නැති සුමන සාධු මරු වැඩකාරයා. මාසෙන් මාසෙට වාහන මාරු කරනව. ෙµdaන් එක වටිනව අසුදාහක්‌ විතර. ඒකෙ තියෙන වැල ක්‌ලිප්ස්‌ පෙන්නල සාධු කෙල්ලන්ගෙ විතරක්‌ නෙමෙයි කොල්ලන්ගෙත් සිල් බිඳිනව ''

ඉහත කී සුමන සාධු පිළිබඳව අප සොයා බැලු අතර ඔහුට පන්සලක්‌ නැත. පන්සලක්‌ තියා අසපුවක්‌ ආරාමයක්‌ හෝ කුටියක්‌ වත් නැත. නමුත් සියලු සුඛෝපභෝගී පහසුකම් සහිත මාළිගාවක්‌ වැනි මන්දිරයක හේ වැඩ වසයි. ගමන් බිමන් යන්නේ ලක්‍ෂ අසුවකට වඩා වටිනා අලුත්ම අලුත් කිරි කිරි ටොයියෙක්‌ වැනි බෙන්ස්‌ කාරයකිනි. සමහරදාට සුමන සාධු රියදුරු මහතා නැතිව ඩෙනිමක්‌ සහ ටී ෂර්ට්‌ එකකින් සැරසී හයිවේ එකේ මාතර පැත්තට යන බවටද ටයි කෝට්‌ ඇඳගෙන කටුනායක ගුවන් තොටුපලේ සිටි බවටද ඇහින් දුටු සාක්‍ෂි ඇත.

''සාධු බොන්නේ ඩන්හිල් සිගරට්‌. නිතරම පැකට්‌ එකයි ලයිටරයයි ඉණේ හැබැයි පන්තියේ කාටවත් පේන්න එහෙම බොන්නෙ නැහැ. ළඟින් ආස්‌සරේ කරන අපි කීප දෙනෙක්‌ විතරයි එයාගේ නියම පැටිකිරිය දන්නෙ. ''

පන්සලක්‌ නැති ගුරු හාමුදුරුනමක්‌ සහ උපසම්පදාවක්‌ නැති මේ සුමන සාධු වැනි ටියුෂන් දෙන අමන චීවරධාරින් රැසක්‌ ගැනම අපට කරුණු ඉදිරිපත් කළ හැකි වුවද භික්‍ෂුq විනය සහ කැප අකැප දේ පිළිබඳ කතිකාවතකට සැරසෙන මේ කාලයේ ඒ ගැන කතා කිරීම එතරම් ගුණදායක නොවනු ඇතැයි සිතමි.

සමහර පන්සල් සහ බණ මඩු හරියට මහ විද්‍යාල මෙනි. ගැහැනු පිරිමි සිංහල දෙමල මුස්‌ලිම් බර්ගර් ආදි ජාති භේදයකින් තොරව සැම දරුවෙකුටම එහිදි අමතර අධ්‍යාපන පන්ති පවත්වයි. සමහර මුස්‌ලිම් පල්ලිවලද අමතර අධ්‍යාපන පන්ති පවත්වයි. නමුත් ඒවායේ ඉගෙන ගන්නේ ඉස්‌ලාම් දරුවන් පමණි. අප උත්සාහ කළද ඒ තුළට ඇතුල්වීම ඉතා අසීරුය. ඒ නිසා ඒවායේ මොනා උගන්නනවාද නොදනිමු.

ක්‍රිස්‌තියානි සහ කතෝලික පල්ලිවලද අමතර පන්ති පවත්වනවා අපි දැක ඇත්තෙමු. අපගේ විමර්ශනයන්ට අනුව එවන් පන්ති වල යටි අරමුණ වන්නේ දරුවන්ට පාසල් අධ්‍යාපනය සමගම දේව වාක්‍යය සහ දෙවියන් වහන්සේ ගැන ඉගැන්වීමත් ආගම ප්‍රචාරය කිරීමත්ය. එනිසා මෙවන් පල්ලිවල වැඩියෙන්ම සිටින්නේ එම ආගමට අයත් දරුවන් බව අපි දුටිමු.

අද බොහෝ අම්මලා තාත්තලා දෙස්‌ දෙවොල් තියන්නේ ටියුෂන් ගුරුවරු අය කරන ඉතා අධික මිල ගණන් ගැන කියමිනි. සාමාන්‍යයෙන් අද එක්‌ විෂයක්‌ සඳහා අවම මාසික ගාස්‌තුව රුපියල් පන්සීයකි. උපරිමය සීමාවක්‌ නැත. මා දන්නා එක්‌ දැරිවියක්‌ තමන් උගන්නා සෑම විෂයකටම ටියුෂන් යයි. එක්‌ විෂයයක මාසික ගාස්‌තුව රුපියල් පන්දාහකි. වැඩ අටට ඇයගේ දෙමාපියන් මාසයකට රුපියල් හතළිස්‌ දාහකට එහා ගෙවනු ලබයි. මෙම සිසුවිය අධ්‍යාපනය ලබන්නේ ජාත්‍යන්තර යයි ලේබලය අලවා ඇති නගරයේ ඉහළ යෑයි සම්මත අධ්‍යාපන ආයතනයකයි.

''මොනා කරන්නද මල්ලි බැඳගත්ත බෙරේ නිකං බිම තියල බැහැනේ කොටි වල්ගෙ අල්ලගත්ත වගේ තමයි. සල්ලි, සල්ලි කියල වැඩක්‌ නැහැ. අනික ඉස්‌කෝලෙ නම විතරයි. හතර පහ ශ්‍රේණිවලින් පස්‌සේ ළමයින්ට උගන්නන්න හොඳ පලපුරුදු දක්‍ෂ ගුරුවරු නැහැ. සමහරු මහා බොරු ඉංග්‍රීසියෙන් කතා කරන්නේ මොනා උගන්නනවද දන්නෙ නැහැ. දැනුම තියෙන උගත් ටීචර්ලා පොඩි පඩියට දැන් වැඩ කරන්නෙ නැහැ. වෙන හොඳ රස්‌සාවකට හරි පිට රටකට හරි යනවා. ඉතින් අපි ඉස්‌කෝලෙටත් අවුරුද්දකට ලක්‍ෂ ගාණක්‌ ගෙවල අමතර පන්ති වලටත් තව ලක්‌ෂ ගාණක්‌ ගෙවනව. ''

ඒ මා ඉහත කියූ දැරියගේ මවගේ අඳෝනාවයි. තව මෙවන් අම්මලා තාත්තලා බොහෝය.

අප දන්නා අතිරේක පන්ති ගුරුවර ගුරුවරියෝ රාශීයක්‌ සිටී. සමහරු වැලිකෙළියේ පටන් මිතුරෝය. සමහරු සමකාලීන පාසල් ගජයෝය. තවත් අය අතරමග නවාතැන් වල සෙට්‌ වුණ ඇහින්දාස්‌ලාය. තවත් අය මාධ්‍ය ලෝකයේ වෘත්තිමය මිත්‍රයෝය. ඔය කවුරු වුණත් මා දකින්නේ ඔවුන් තම කාර්ය කරගෙන යන්නේ දරුවන්ට දැනුම ලබා දීමට වඩා වෙන යමක්‌ තම රහස්‌ න්‍යාය පත්‍රයේ දමාගෙන වෙනත් අරමුණු රාශියක්‌ම පෙරදැරිකරගෙන බව ඔවුන් මා සමග අමනාප වුවත් කියන්නට මැලි නොවෙමි. මොවුන් වැඩිදෙනෙකුගේ ඒකායන අරමුණ මුදල් ඉපයීමයි. උගුර ලේ රස වන තුරු කෑගසා උගන්වා ගාණක්‌ හොයාගෙන ගෙයක්‌ දොරක්‌ හදාගෙන වාහනයක්‌ අරගෙන පැත්තකට වී ඉන්නට උන්ට කැමැත්තක්‌ නැත. මරුටියක්‌ ගත්ත එකා උත්සාහ කරන්නේ ඩොල්පින් එකකට යන්නයි. ඉන්පසු ඇලියොන් එකක්‌ හයිබ්‍රිඩ් එකක්‌ හෝ වන් ටු වන් එකක්‌ ගනී. අවසානයේ නවතින්නේ ප්‍රාඩෝ එකක්‌ හෝ ඩිෆෙන්ඩරයක්‌ ගැනීමෙනි. කුළි ගෙයින් යන්තම් පර්චස්‌ පහක ඉඩමක්‌ අරන් ගෙයක්‌ හදාගෙන පදිංචි වුණාට තන්හාව නිම නොවෙයි. මද කලකින් උත්සාහ කරන්නේ නගරයේ හොඳම තැනකින් දෙමහල් නිවසක්‌ මිලට ගන්නයි. ඉන්පසු පොඩි රබර් කෑල්ලක්‌ ඊටත් පසුව කඳුකරයේ තේ අක්‌කර පහකට හිමිකම් කියයි.

ස්‌වෝත්සාහයෙන් මුදල් උපයා ධනවත් වීම ඉතා ආදර්ශමත් ක්‍රියාවකි. අප එය අගය කළ යුතුය .සතේ අතේ නැතිව හිටිය එකා රූං ගාගෙන හමර් එකක ඉගිලෙද්දි අපට ඇතිවිය යුත්තේ ඉරිසියාවක්‌ නොව සන්තෝසයකි. නමුත් අසරණ දරුවන් රවටා අහිංසක දෙමාපියන්ගේ රීරි මාංසයම හූරා කා ලබන සැප සහ ධනවත්කම බලු නොවටී. එය මහා පාපයකි.

අපේ තාත්තා අපට අප පොඩි කාලයේ පටන්ම උගන්වා ඇති හරිහම්බ කිරීමේ න්‍යාය සහ හීනමානය යනු කුමක්‌දැයි මට තේරුණේ දිනක්‌ මා හිතවත් ටියුෂන් දෙන මිතුරෙකුගේ නිවසේ ගත කළ පැයක කාලය තුළදීය. ඔහුගේ දරුවන් එදා ගේ වටේ දුවමින් හොරා පොලිස්‌ සෙල්ලම් කළේ එවකට පැවති නවීනතම ජංගම දුරකථන කීපයක්‌ පරිහරණය කරමිනි. ගේ පුරා තැන් තැන් වල පොඩි සල්ලි කොළ සහ කාසි මලු ඔහේ දමා තිබුණි. ඔවුන් ඒවා ගණන් ගත්තේ වත් නැත. කුඩා කල කිසිවක්‌ නැතිව අන්ත දුප්පත් කටුක ජීවිතයක්‌ ගත කළ ඔහු අද ඒ සියල්ල වසා දමමින් අනවශ්‍ය භාණ්‌ඩවලින් නිවස පුරවා හීනමානය වසා දමන්නට උත්සුක වන අයුරුද දිටිමි. තමා කුඩා කාලයේ පටන් හදා වඩා ගත් දෙමාපියන් ගැන බලනවා තියා ඔවුන් ගැන කතා කරනවාටද මේ ගුරා කැමති නැත. ගෙදර මෙහෙකාරියට සහ කඩේ යන කොල්ලාට සලකන්නේ බල්ලන්ට බළලුන්ට මෙනි.

තවත් සමහර ටියුෂන් ගුරාලාගේ අරමුණක්‌ වන්නේ දරුවන්ගේ කරපිටින් ගොස්‌ රටේ නමගිය පොරක්‌ වීමටයි. ඒ සමහර විට දේශපාලනයට අවතීර්ණව පළාත් සභාවට හෝ පාර්ලිමේන්තුවට ගොස්‌ බලය වැඩිකර ගැනීමටයි. ඔවුන් ඒ සඳහා ඡන්ද රැස්‌ කරන්නට පටන් ගන්නේ සාමාන්‍ය පෙළ සිසුවාගේ සිටයි.

එමෙන්ම නාට්‍ය කලාවට සහ සිනමාවට දායක වන මාස්‌ටර්ලාද අප දනිමු. අප රටේ සිටින කෝටිපති ටියුෂන් සර්ලාගෙන් කී දෙනෙක්‌ රජයට ආදායම් බදු ගෙවනවාදැයි අපි නොදනිමු. සමහරු නම් කියන්නේ කෝටිපති මාස්‌ටර්ලා කලාවට අත ගහන්නේ ආදායම් බද්දෙන් බේරිමට බවයි. මෙහි ඇත්ත නැත්ත මා නොදිනිමි.

කුඩාවට පන්තියක්‌ දෙකක්‌ අරඹා මේ වන විට ජාත්‍යන්තර තලයේ පාසල් පවත්වාගෙන යන ඒ හරහා ලක්‍ෂ ගණන් මුදල් උපයන ජනප්‍රිය සර්ලා කීප දෙනෙක්‌ම මම හඳුනමි. එමෙන්ම දේශපාලනයට පිවිස මේ වන විට ඇමතිකම් දරණ ප්‍රසිද්ධ දේශපාලනඥයින් වූ සර්ලාවද දනිමි. එකල අප නුගේගොඩ සුප්‍රසිද්ධ ටියුටරියක අමතර අධ්‍යාපනය ලබද්දි දිය පිපාසය ආ කල මුලු ටියුටරියටම තිබූ එකම පයිප්පයෙන් වතුර උගුරක්‌ තොලගෑමට පෝලිමේ ඉඳිද්දි ඉස්‌සරහින් පැමිණ අපෙන් අවසර ගෙන පයිප්පය ළඟ දෙකට නැමී දෙඅත්ල ලංකොට දෝතින් වතුර බිවු සර්ලා කීප දෙනෙක්‌ම අද ඉන්නේ ඉතාම ඉහළ තැන්වලය.

නිවසට පැමිණ අධික මිලක්‌ අය කර පෞද්ගලිකව ඉන්ඩිවිජුවල් ක්‌ලාස්‌ කරන සර්ලා මිස්‌ලා ගැනද අවධානයෙන් සිටිය යුතු බව තරුණ දරුවන්ගේ දෙමාපියන්ට අවධාරණය කරන්නට කැමැත්තෙමි. එක්‌තරා ආයතනයක්‌ අහඹු ලෙස කළ සමීක්‍ෂණයකට අනුව නිවසට පැමිණ උගන්වන තරුණ සර්ලාගෙන් සිසු සිසුවියන් පමණක්‌ නොව තරුණ දෙමාපියන්ද නිවසේ මෙහෙකාරියන්ද ප්‍රවේසම් විය යුතුය.

සුපිරි පන්තියේ නාගරික පාසල්වල උගන්වන ගුරුවරියන් මුදල් ඇති පවුල් වල දරුවන් සඳහා කුඩා කණ්‌ඩායම් අතිරේක පන්ති තම නිවසේ පැවැත්වීමේ පුරුද්දක්‌ කාලයක සිට පවතී. මෙයින් ඔවුන් උපයන තම මාසික ගුරු වේතනය මෙන් දෙතුන් ගුණයක්‌ බව අප දනිමු. උන් කීයක්‌ හෙව්වත් අපට අවුලක්‌ නැත. නමුත් ප්‍රශ්නය වන්නේ පාසලේ වගකීම නොසලකා හැර එය සවස පන්තියේ උපරිමයෙන් කර මුදල් ඉපයීමයි.

අවසාන වශයෙන් කිවයුත්තේද ටියුෂන් දීම ටියුෂන් ගැනීම අද සුවකළ නොහැකි රෝගයක්‌ ලෙස ඔඩු දුවා ඇති බවයි. මෙයට ප්‍රධාන හේතුව අපේ අධ්‍යාපන ක්‍රමයයි මෙය වෙනස්‌ කළ යුතුය. නීති මගින් ටියුෂන් අවම කර හෝ නැත්තටම නැති කොට පාසල් අධ්‍යාපනය තව තවත් වැඩි දියුණු කළ යුතුය. දරුවන්ගේ මනසට වඩා දෙමාපියන්ගේ මනසේ පැලපදියම්ව සිටින ටියුෂන් මකරා පලවා හැරිය යුතුය.

මිත්‍ර ශ්‍රී කරුණානායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.