පාතාල කළුවරට එරෙහිව

පාතාලය නැවත වැඩ ආරම්භ කර තිබේ. ඒ වැල්ලම්පිටිය කිත්තම්පහුව ගෙවල් විස්‌ස නිවාස සංකීර්ණයෙනි. නාඳුනන තුවක්‌කුකරුවන් කණ්‌ඩායමක්‌, තිදෙනකු ඝාතනය කර පලාගොස්‌ තිබිණි. පොලිසිය සුපුරුදු පරිදි පරීක්‍ෂණ කරගෙන යන බව කියෑවේ. මේ ඝාතනයන් සිදුවීමට සුළු මොහොතකට කලින් පොලිස්‌ මුර සංචාරක රථය ඒ ප්‍රදේශය පසු කර ගිය බවට ද තොරතුරු වාර්තා වී තිබිණි.

හැම මාධ්‍යයක්‌ ම මෙය වාර්තා කර තිබුණේ 'පාතාල ගැටුමක්‌' විය හැකි බව සැක පහළ කරමිනි. එසේ සැක මතුවීම භයානක ය. ගිනි අවි අතින් ගත් කණ්‌ඩායම් නිවී සැනසිල්ලේ පැමිණ කිහිපදෙනකු ඝාතනය කර නිදහසේ පලා යෑම වැනි චිකාගෝ පන්නයේ කතාන්දර පාතාල ලෝකයෙන් මිස වෙනත් පිරිසකගෙන් බලාපොරොත්තු විය නො හැකි ය. කෙසේ හෝ පාතාලය සුද්ද කළ බව කීවාට එය එසේ නො වන බව සිදුවන සිද්ධි දාමයෙන් පැහැදිලි ය. පසුගිය කාලය පුරාම මෙවැනි සිදුවීම් අතරින් පතර වාර්තා වූ බව කිව යුතු ය.

අපට ඇති ගැටලුව වන්නේ මෙවැනි සිදුවීම් වරින්වර වාර්තාවන තත්ත්වයක්‌ තුළ වුව පාතාලය මර්දනය කිරීම 'මාර ප්‍රශ්නයක්‌' වී ඇත්තේ කවර හේතුවක්‌ නිසා ද යන්න ය. මේ පාතාල නරුමයන් සියලු දෙනාම හඳුන්වන්නේ නාඳුනන කණ්‌ඩායමක්‌ ලෙස හෝ නාඳුනන තුවක්‌කුකරුවන් ලෙස ය. ඒ එම කුලියට මිනී මරන්නන් ඉන්දියාවෙන් හෝ පාකිස්‌තානයෙන් ආනයනය කර ඇති නිසා නොවේ. තවමත් පාතාලයට වැට බැදීමේ නිසි ක්‍රමවේදයක්‌ ක්‍රියාත්මක නො වන නිසා ය. පසුගිය 2015 අගෝස්‌තු මැතිවරණ සමයේ පාතාල සාමාජිකයන් රැසක්‌ නැවතත් සක්‍රීය වී ඇති බව පොලිසිය විසින් සඳහන් කර තිබිණි. ඉන් බොහෝ පාතාල සාමාජිකයන් රටින් පිටව ගොස්‌ සිටි පිරිස බවත් නැවත ඔවුන් මෙරටට පැමිණි බවත් කීවේ පොලිසියයි. ඉන් කියෑවෙන්නේ පොලිසිය සතුව එවැනි කණ්‌ඩායම් ගැන තොරතුරු ඇති බව ය.

එම තොරතුරුවලට අනුව පාතාල කාඩරයන් අත්අඩංගුවට ගැනීම හෝ නීති මගින් කටයුතු කිරීමේ හැකියාවක්‌ නැත්තේ ඇයි දැයි යන්න විමසා බැලියයුතු කාරණයකි. වැල්ලම්පිටියේදී ඝාතනය වූ පිරිස පාතාල නායකයකු ලෙස හැඳින්වූ ප්‍රින්ස්‌ කොලම්ගේ සමීපතමයන් ය. එක්‌ අයකු හැරුණු විට මියගිය අනෙක්‌ දෙදෙනාම තරුණ වියෙහි පසුවූවන් බව කියෑවිණි. අදාළ ආරක්‍ෂක අංශ මේ 'අලුත් පරපුර' පිළිබඳව ද දැඩි අවධානයකින් පසුවිය යුතු බව ඒ සිදුවීම පෙන්වා දෙන්නේ ය. මෙය කජු කිරි කොල්ලන් අතර සිදු වූ කොට්‌ටපොර තරගයක්‌ නොව, විසඳා ගැනීමට නො හැකි බරපතළ කතාන්දරයක අවසානය ගිනි කෙළියක්‌ සටහන් කිරීම බව අවබෝධ කර ගත යුතු කාරණයකි.

රට පුරාම ගිනි අවි පිළිබඳව කතා දිගින් දිගටම ඇසෙන්නේය. දකුණේ පාතාලයක්‌ ගැන ද කියති. ඊයේ පෙරේදා දවසක මිනුවන්ගොඩදී ද වෙඩි තබා පුද්ගල ඝාතනයක්‌ සිදුÊකර තිබිණි. ඒ ඝාතනය සඳහා ටී. පනස්‌හයේ ගිනි අවියක්‌ ද රැගෙන පුද්ගලයන් දෙදෙනකු පැමිණ තිබුණේ මාතර සිට බව වාර්තා විය. අපට සතුටු විය හැකි එක්‌ කරුණක්‌ ගැන එයින් ඉඟියක්‌ ලැබේ. ඒ රටේ ඒ කොනේ සිට මේ කොන දක්‌වා රත්‍රන් පොරවාගත් ගැහැනියකට පමණක්‌ නොව ටී පනස්‌හය, පිස්‌තෝල රැගත් පුරුෂයකුට වුවද බයක්‌ සැකක්‌ නැතුව ගමන් කළ හැකි බවය. ආරක්‍ෂාවේ තරම ද ඉන් සිතා ගත හැකිය.

පාතාල සාමාජිකයන් මැඬලීමට මීට වඩා පුළුල් විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව ඇති බව අපි කියමු. විශේෂ කාර්ය බළකා සෙබළකු, හමුදා සෙබළකු පාර තොටේ දුටු විට රටම මිල්ටේරිකරණය වනවා යෑයි කී උදවියට මේවා සුළු දේවල් විය හැකි නමුත්, තත්ත්වය බරපතළ බව සඳහන් කළ යුතුය. පාතාලය යළි හිස එසවීම යනු සමස්‌ත සමාජයම බරපතළ ගැටලු ගණනාවකට මුහුණ දීමකි. පොලිසියට මෙහිදී පැවරෙන්නේ අතිශය විශාල වූ රාජකාරියකි. පාතාල මර්දනයට පෙරමුණ ගත යුත්තේ පොලිසියයි. එමෙන්ම පොලිසිය කෙරෙහි මේ වන විට ඇති මහජන විරෝධය නිසාම එවැනි විමර්ශනයක යෙදිය යුත්තේ ද ප්‍රවේසමෙනි. කෙසේ හෝ වේවා පාතාලය මර්දනය කිරීම පමා නොකර කළ යුත්තක්‌ පමණක්‌ බව අපි තදින්ම අවධාරණය කරමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.