උපාලි විජයවර්ධන 33 වැනි සැමරුම අද

දයා ලංකාපුර

උපාලි සමූහ ව්‍යාපාරයේ සහ එයට අනුබද්ධ උපාලි පුවත්පත් සමාගමේ හා 'දිවයින' පුවත්පතේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතා ඇතුළු පිරිස අතුරුදන් වී අදට (13 දා) වසර 33 ක්‌ සපිරේ.

ඒ නිමිත්තෙන් එතුමා ඇතුළු පිරිසට සෙත් පතා අද (13 දා) දවස පුරා කැලණිය රජමහා විහාරයේදී පිංකම් මාලාවක්‌ පැවැත්වෙයි. එමෙන්ම ලේ දන්දීම්, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම ඇතුළු දානමය කටයුතු ද සංවිධානය කොට ඇත.

මෙම පිංකම් ඇරැඹෙන්නේ අද (13 දා) පෙරවරු 8.30 ට කැලණිය රජමහා විහාරයේදී උපාලි සමූහ ව්‍යාපාරයේ සේවක මහත්ම මහත්මීන් විසින් සිදු කරනු ලබන ලේ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයෙනි.

අනතුරුව ලේ පරිත්‍යාගශීලීන් සඳහා එහිදී තේපැන් සංග්‍රහයක්‌ පැවැත්වෙන අතර එම අවස්‌ථාවට උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂවරු සහ සේවක මහත්වරු සහභාගි වෙති.

ඉන්පසු කැලණිය හෙලේනා විජයවර්ධන මහා විද්‍යාලයේ අවශ්‍යතා ඇති දරුවන් 10 දෙනකුට ශිෂ්‍යත්ව පිරිනැමෙන අතර කැලණිය රජමහා විහාරයේදී මහා සංඝයා වහන්සේ වෙනුවෙන් සාංඝික දානයක්‌ පිරිනැමීම ද සිදුකෙරේ.

එයට සමගාමීව ජාඇල ළමා නිවාසයේ දරුවන් සඳහා දහවල් ආහාර පරිත්‍යාග කිරීම සිදු කරනු ලබන්නේ උපාලි ටේ්‍රඩිං සමාගමේ සේවක මහත්වරුන් විසිනි.

පස්‌වරු 6 ට කැලණිය රජමහා විහාරයේ පැවැත්වෙන බෝධි පූජා සහ පහන් පූජා පිංකමෙන් පිංකම් මාලාව අවසන් වේ.

මෙයට අමතරව උපාලි විජයවර්ධන මහතා ඇතුළු පිරිස වෙනුවෙන් ඊයේ (12 දා) මට්‌ටක්‌කුලිය කාමලයිට්‌ කන්‍යාරාම දෙව් මැඳුරේදී දේව මෙහෙයක්‌ ද පැවැත්විණි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.