පවුලක්‌ වෙනුවෙන් ශ්‍රීලනිපය කඩන්න බහුතරය ලෑස්‌ති නැහැ
- දුමින්ද දිසානායක

ප්‍රියදර්ශන ලියනගේ

එක පවුලක අනාගතය වෙනුවෙන් කෝටි දෙකක ජනතාවගේ සිහිනය කඩා බිඳ දැමීමට නොහැකි නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය කඩා බිඳ දැමීමේ කුමන්ත්‍රණයට තමන් සහභාගි නොවන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු  ප්‍රබලයන් බහුතරයක්‌ පක්‌ෂයට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා "දිවයින"ට ඊයේ (12 වැනිදා) පැවැසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා සමස්‌ත ශ්‍රී ලාංකික ජනතාවගේම බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් මල් ඵල ගැන්වීමේ හැකියාව තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයටයි. එම නිසා රටට ආදරය ඇති කිසිම කෙනෙක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයට සහභාගි වෙන්නෙ නැහැ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අද උපරිම ලෙස තහවුරු කර තිබෙනවා. ඉස්‌සර පක්‌ෂය තුළ මෙහෙම නිදහසක්‌ තිබුණේ නැහැ. එම නිසා තමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු අපිට එදා පක්‌ෂයෙන් එළියට බහින්න සිදු වුණේ. නමුත් අපි අලුත් පක්‌ෂ හැදුවේ නැහැ.

පසුගිය දවස්‌වල පක්‌ෂයට විරුද්ධව අදහස්‌ දක්‌වපු පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක්‌ අද මෙම කුමන්ත්‍රණය නිවැරදිව තේරුම් අරගෙන පක්‌ෂයට දැනුම් දී තිබෙනවා තමන් දිවි හිමියෙන් පක්‌ෂය ආරක්‌ෂා කරනවා කියලා.

ඒ වගේම ආණ්‌ඩුවේ ඇමැතිකම් කරන සියලු දෙනාත් විපක්‌ෂයේ සිටින මන්ත්‍රීවරුනුත් පළාත් සභාවල මැති ඇමැතිවරුනුත් පක්‌ෂය සමඟ ඉදිරියටත් සිටින බව තහවුරු කර ඇතැයිද ඇමැතිවරයා පැවැසීය.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.