ඇඹිලිපිටියේ මරණය ගැන පොලිස්‌ කොමිසමෙනුත් පරීක්‍ෂණයක්‌

නෝමන් පලිහවඩන සහ හේමන්ත රන්දුණු

ඇඹිලිපිටිය නගරයේදී සුමිත් ජයවර්ධන නමැති එක්‌දරු පියාගේ අබිරහස්‌ මරණය සම්බන්ධයෙන් ජාතික පොලිස්‌ කොමිසම ද විශේෂ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ඇඹිලිපිටිය මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයාව සිටි එස්‌. ආර්. ඡේ. ඩයස්‌ මහතා ඇතුළ නිලධාරීන් සිව්දෙනකුගෙන් ජාතික පොලිස්‌ කොමිසම ඊයේ (12 වැනිදා) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මෙම නිලධාරීන්ගෙන් පැය තුනකට ආසන්න කාලයක්‌ පොලිස්‌ කොමිසමේ විශේෂ කණ්‌ඩායමක්‌ විසින් ප්‍රශ්න කර තිබේ.

මෙම තරුණයාට පහරදීම ඇතුළු ඊට අදාළ සියලු විස්‌තර පොලිස්‌ කොමිසමේ නිලධාරීන් විසින් අදාළ පොලිස්‌ නිලධාරීන්ගෙන් ලබාගෙන ඇත.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඇඹිලිපිටිය මූලස්‌ථාන පොලිසියේ හිටපු ස්‌ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ ලබන 14 සහ 15 යන දිනවල රහස්‌ පොලිසිය වෙත කැඳවා තිබේ.

ඇඹිලිපිටිය එක්‌දරු පියාගේ අබිරහස්‌ මරණය සම්බන්ධයෙන් මේ වනවිට ඇඹිලිපිටිය සහකාර පොලිස්‌ අධිකාරිවරයා බන්ධනාගාරගත කර සිටියි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.