'දණගස්‌සන මන්ත්‍රී' ආරාධිතයකු වීම ගැන
ගුරු සංගමය පරීක්‌ෂණයක්‌ ඉල්ලයි


නිලන්ත මදුරාවල

මහත් ආන්දෝලනයකට ලක්‌ වූ නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරිය දණ ගැස්‌වීමේ සිද්ධියට සම්බන්ධ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා එම පාසලේ පෙරේදා (11වැනිදා) පැවැති නිවාසාන්තර ක්‍රීඩ උළෙලේ ආරාධිතයකු ලෙස ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් යළි ආන්දෝලනයක්‌ උද්ගත වී ඇත.

පසුගිය 2013 වසරේ ජුනි මස 4 වැනිදා එම සිද්ධියට මුහුණ දුන් සුසිලා ප්‍රියානි හේරත් ගුරු මහත්මිය වෙනත් පාසලකට මාරු වූ අතර එම සිද්ධියට අදාළව ආනන්ද සරත් කුමාර මහතා අධිකරණයේදී දඬුවමටද ලක්‌විය.

සරත් කුමාර මහතා වෙනුවෙන් බොරු සාක්‍ෂි දුන් බව කියන එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකුට අදාළව පරීක්‍ෂණ පවා සිදු වෙමින් පවතින මොහොතක හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ප්‍රධාන ආරාධිතයා ලෙස කැඳවීම පාසලේ ආචාර්ය මණ්‌ඩලයේද දැඩි විරෝධයට හේතුවී තිබිණි. හෙතෙම ආරාධිතයකු ලෙස ගෙන්වා ඇත්තේ එවැනි විරෝධයක්‌ ද තිබියදී බව පවසන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්‌ටාලින් මහතා මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට එරෙහිව පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් ලිතව ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දුන් විදුහල්පති මැල්කම් පීටර්සන් මහතා ප්‍රකාශ කළේ ක්‍රීඩා උළෙල සංවිධානය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ එකඟතාව මත සරත් කුමාර මහතාද ආරාධිතයෙකු ලෙස සහභාගී කර ගත් බවය. මෙම උළෙල සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පළාතේ අධ්‍යාපන ඇමැතිවරයාට ආරාධනා කළබවද තවත් දේශපාලඥයන් කීපදෙනෙකුට හා හිටපු පළාත් සභා, ප්‍රාදේශීය සභා දේශපාලන නියෝජිතයන් කීපදෙනෙකුටද ආරාධනා කළ බවත් විදුහල්පතිවරයා කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.