ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරයි

දයා ලංකාපුර

යුද සමයේ ශ්‍රී ලංකාවෙන් පලාගොස්‌ දකුණු ඉන්දියාවේ කඳවුරුවල ජීවත් වූ උතුරේ වැසියන් යළි මෙරටට පැමිණීමේදී ඔවුන්ගේ පදිංචිය සඳහා නිවාස 6000 ක්‌ ඉදිකර දෙන ලෙසට හා ඔවුන්ට මෙරට යළි ජීවිතය ඇරැඹීම පිණිස ඉන්දීය රුපියල් 6000 ක මුදලක්‌ ලබා දීමට කටයුතු කරන ලෙසට පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය කළ ඉල්ලීමක්‌ ඉන්දීය රජය විසින් ප්‍රතික්‍ෂේප කොට ඇත.

ඉන්දීය රජය විසින් උතුරේ ජනයා වෙනුවෙන් නිවාස 80,000 ක්‌ ඉදිකිරීමට පියවර ගෙන ඇති බැවින් තවත් නිවාස 6000 ක්‌ ඉදිකළ නොහැකි බව පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු ඇමැති සුෂ්මා ස්‌වරාඡ් මහත්මිය පවසා ඇතැයි තානාපති ආරංචි මාර්ග පැවසීය.

එසේ වුවද උඩරට වතුකරයේ ජීවත්වන ඉන්දීය සම්භවයක්‌ ඇති වතු කම්කරු ජනයා වෙනුවෙන් නිවාස 4000 ක්‌ ඉදිකර දීමට ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනිය එකඟත්වය පළ කොට තිබේ.

මෙම නිවාස 4000 න් නිවාස 1130 ක්‌ පළමු අදියර වශයෙන් කඩිනමින් ඉදිකෙරෙනු ඇතැයි වතු යටිතල පහසුකම් ඇමැති පලනි දිගම්බරම් මහතා පැවසීය.

නව නිවාස 4000 ඉදි කරනු ලබන්නේ නාය යැමේ තර්ජන පවතින වතු කම්කරු නිවාස වෙනුවටය. එක්‌ නිවෙසක්‌ පර්චස්‌ 7 ක භූමියක ඉදිකෙරේ. එහෙත් මෙම නිවාස ඉදිකිරීමට ඉඩම් ලබා ගැනීම සඳහා පසුගිය සතියේ පැවැති සාකච්ඡාවකදී වතු සමාගම් බලධාරීන් ඉඩම් ලබා දිය නොහැකි බව පවසා ඇත. එහෙත් තමා මේ සඳහා කෙසේ හෝ ඉඩම් ලබා ගන්නා බව දිගම්බරම් ඇමැතිවරයා එහිදී පවසා තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.