මහින්දට දැන් ඕනෑ නීති උපදේශක කාර්යාලයක්‌
රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ

අකිත පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට මේ මොහොතේ අවශ්‍ය වන්නේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක්‌ නොව නීති උපදේශක කාර්යාලයක්‌ බව විදේශ වෙළෙඳාම් රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසීය.

බත්තරමුල්ලේදී මහින්ද රාජපක්‌ෂ මහතා විසින් ඊයේ (12 දා) විවෘත කරනු ලැබූ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය සම්බන්ධයෙන් 'දිවයින'ට අදහස්‌ දක්‌වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

දේශපාලන බලය තිබූ කාලයේදී රාජපක්‌ෂ මහතා සහ එම පවුලේ සාමාජිකයන් කරන ලද ජාවාරම් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු හෙළිවී ඇති බව කී සේනසිංහ මහතා ඒ අනුව ඉදිරි කාලයේදී ඒවා පිළිබඳව පරීක්‌ෂණ සිදු කෙරෙන විට ඒ මහතාට නීතිමය උපදෙස්‌ අනිවාර්යයෙන් අවශ්‍ය වනු ඇතැයි ද සඳහන් කළේය.

මෙතෙක්‌ හෙළි නොවූ රාජපක්‌ෂවරුන්ගේ දූෂණ වංචා - සම්බන්ධව ඉදිරියේදී තවත් තොරතුරු හෙළිවනු ඇති බවත් හිටපු ජනාධිපතිවරයාට එබැවින් නීති උපදේශක කාර්යාලයක්‌ දැඩිව අවශ්‍ය වන බවද ඒ මහතා සඳහන් කළේය.

මේ වන විට නව නීතිපතිවරයකු පත්කර රාජ්‍ය සේවය ස්‌වාධීන කර ඇති මොහොතක හොරුන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා සුදුසුකම් සහිත දක්‌ෂ නිලධාරීන් අදාළ තනතුරුවලට පත් කර ඇති බවත් සුජීව සේනසිංහ මහතා කීය.

හිටපු ජනාධිපතිවරයා පත් කරනු ලැබූ නිලධාරීන් ඉහළ තනතුරු වල සිටි නිසා රාජපක්‌ෂවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වූ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.