මුදල් කළමනාකාරිනියට නිල ජීප් රියේදී අතවරයට ලක්‌කිරීමට තැත් කළ සැකකරු දැලේ

සිය කාර්ය මණ්‌ඩලයේ සේවයේ නියුතුව සිටි තිස්‌හත් හැවිරිදි විවාහක මුදල් කළමනාකාරිනිය තම නිල ජීප් රථයේ සිටියදී ඇය දූෂණයට ලක්‌කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් පනස්‌ දෙහැවිරිදි සැකකාර අංගොඩ ලංගම ඩිපෝ අධිකාරිවරයා එකළොස්‌වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ අංක 4 දරන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ මහෙස්‌ත්‍රාත් ඔගස්‌ටා අතපත්තු මහත්මිය පෙරේදා 8 දා නියෝග කරනු ලැබුවාය.

මෙසේ රක්‌ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අංගොඩ ලංගම බස්‌ ඩිපෝවේ අධිකාරි වන ආර්. එන්. විඡේරත්න නමැත්තෙකි. ඔහුගේ එම ක්‍රියාවට සහාය පළ කළ බවට චෝදනා ලැබ සිටින එම ජීප් රථයේ රියෑදුරු රත්නායක මුදියන්සේලාගේ සිරිවර්ධන යන අය රුපියල් ලක්‌ෂය බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදා හැරීමට ද මෙහිදී මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළාය.

මැයට මෙම අතවරය කිරීමට මෙම සැකකරු ක්‍රියාකර ඇත්තේ නාරාහේන්පිට පිහිටි ලංගම ප්‍රධාන කාර්යාලයට රාජකාරි ගමන් සඳහා යන මුවාවෙන් ඇය සිය නිල රථයට නංවාගෙන යන ගමන් අතර මග පාළු මාවතක රථය නතර කළ අවස්‌ථාවේදීය.

ඩිපෝ අධිකාරිවරයා තම අතවරයකට ලක්‌ කිරීමට උත්සාහ කළ බවට විවාහක මුදල් කළමනාකාරිනිය විසින් කරන ලද පැමිණිල්ලක්‌ මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් මුල්ලේරියාව පොලිසිය ඔවුන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

අතවරයට පත් කාන්තාවගේ සැමියා ද ලංකා ගමනා ගමන මණ්‌ඩලයට අයත් කොළඹ අගනුවරට ආසන්නයේ පිහිටි ඩිපෝවක කාර්මික ශිල්පියකු බවද අධිකරණයේදී අනාවරණය විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.