පස්‌හැවිරිදි වියේදී අතවරයට ලක්‌වූවායෑයි විවාහක කතකගෙන් පැමිණිල්ලක්‌

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

තම පියාද සහෝදරයාද මස්‌සිනාද, මස්‌සිනාගේ සහෝදරයාද තමන්ව දූෂණය කළ බවත් සිය පියා විසින් තමන්ව වයස අවුරුදු 5 කාලයක සිට ලිංගික අතවර කළ බවට 23 හැවිරිදි විවාහක කතක්‌ ඉකුත්දා (10දා) පයාගල පොලිසියට පැමිණ පොලිස්‌ පොතේ පිටු 16 1/2 ක පැමිණිල්ලක්‌ සටහන් කළේය.

පයාගල පොලිසියට පැමිණ ඇති පොලිස්‌ කාන්තා කොස්‌තාපල්වරියකගේ අත්දෙක අල්ලාගෙන තමන්ට සිදුවූ ලිංගික අතවර පිළිබඳව කඳුළු සලමින් හඬා වැළපෙමින් සිය දුක්‌ ගැනවිල්ල ඉදිරිපත් කළ අතර එම සිද්ධිය දුටු පයාගල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක කුමාර සිල්වා මහතා ඇයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇයගේ පියාද සහෝදරයාද මස්‌සිනාද මස්‌සිනාගේ සහෝදරයාද අත්අඩංගුවට ගත්තේය.

තම විවාහක සැමියා තමන්ගෙන් මේ පිළිබඳව නිතරම විමසන බවද ඇය පොලිසිය හමුවේ ප්‍රකාශ කළ අතර ඇයව වෛද්‍ය පරීක්‌ෂණයට හා මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීම සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පවසයි.

සැකපිට අත්අඩංගුවට ගත් පස්‌දෙනා ඊයේ 11 දා සවස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් භාරති විඡේරත්න මහත්මිය වෙත ඉදිරිපත් කළ අතර පැමිණිලිකාර කාන්තාවගේ වෛද්‍ය පරීක්‌ෂණ වාර්තා ලැබුණු පසු ඉදිරි පියවර ගන්නා බවද පොලිසිය පවසයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.