ටිරාන් අලස්‌ගේ පෙත්සම 30 දා විභාගයට
බොරු නඩුවකට පටලවා මා අත්අඩංගුවට ගැනීම වළක්‌වන්නැයි නියෝග කරන්න

සරත් ධර්මසේන

කුමක්‌ හෝ බොරු නඩුවකට පටලවා පොලිසිය තමා අත්අඩංගුවට ගැනීමට සූදානමක්‌ ඇති බැවින් එය වළක්‌වාලන නියෝගයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය මාර්තු 30 ට කල් තැබුවේය.

අලස්‌ මහතා මෙම පෙත්සම ගොනු කළේ ඉකුත් වර්ෂය මුලදීය. පෙත්සම සලකා බැලූ මුල් දවසේම ඔහු අත්අඩංගුවට ගැනීම වළක්‌වන නියෝගයක්‌ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලදී. එම නියෝගය කවදා හෝ පෙත්සම විභාග කර අවසන් වන තෙක්‌ බල පැවැත්වේ.

මාධ්‍ය ආයතන හිමියකු සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන අලස්‌ මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ තමා අත්අඩංගුවට ගෙන සිරකර තැබීමට තරම් බරපතළ වරදක්‌ කර නැති බවයි.

ජාතික හෙළ උරුමයේ නායකයකුව සිටි උදය ගම්මන්පිල මහතාට එම පක්‍ෂය එපා කළේ තමා යෑයි සිතාගෙන වත්මන් රජයේ අමාත්‍යවරයකු වන පාඨලී චම්පික මහතා තමා කෙරෙහි ද්වේශයෙන් යුතුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බැවින් තමා අත්අඩංගුවට ගැනීම ඔහුගේ වුවමනාවට සිදුවන්නක්‌ විය හැකි යෑයි පෙත්සමේ සඳහන් කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉතා සමීපව සිට ඔහුගේ දේශපාලන කටයුතුවලට ඉතා උනන්දුවෙන් සහාය දුන් නිසා ඒ තරහට දේශපාලන වශයෙන් පළි ගැනීමට තමා අත්අඩංගුවට ගන්නට යනවා විය හැකි බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු නීතිඥවරු පිරිසක්‌ අලස්‌ මහතා වෙනුවෙන් පෙනී සිටිති.

පොලිස්‌පති, විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ මෙවන් පෙරේරා, එහි ස්‌ථානාධිපති එම්. බී. ඩී. ගුණතිලක යන අයට එරෙහිව පෙත්සම ගොනු කර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.