කොයි පැත්තෙද... තීරණයක්‌ ගන්න
ශ්‍රීලනිපයෙන් ආණ්‌ඩුවට ගිය පිරිසට හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ කියයි

අනුර බාලසූරිය


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිලවශයෙන් රාජකාරි ආරම්භ කළ අයුරු.
ඡායාරූපය - සුජාතා ජයරත්න

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ආණ්‌ඩුවට ගිය පිරිසත් තමන් කොයි පැත්තෙද පිළිබඳ ඉක්‌මනින් තීන්දුවක්‌ ගනු ඇතැයි තමා විශ්වාස කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන සහ මහජන සම්බන්ධීකරණ කාර්යාලය බත්තරමුල්ල ජයන්තිපුර, නෙළුම් මාවතේ දී ඊයේ (12 දා) පෙරවරුවේ විවෘත කරමින් හෙතෙම මේ බව පැවසීය.

මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ ද කීවේය. අපි ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයෙන් පැරදුණු පසු ගමට ගියේ විශ්‍රාම සුවයෙන් ගත කිරීමටයි. මන්ත්‍රීවරු කිහිපදෙනකු සමඟ පැමිණ පක්‍ෂයේ සභාපතිකම මගෙන් ඉල්ලුවම මම ඒකත් දීලයි ගියේ. පක්‍ෂයේ සභාපතිකම දියයුතු නැහැ. පක්‍ෂයෙන් ගියපු කෙනකුට එයට අයිතියක්‌ නෑ. එනිසා දෙන්න එපා කියලා මට උපදෙස්‌ ලැබුණා. නමුත් නිදහස්‌ පාක්‌ෂිකයන්ට විඳින්න වන කරදර හිරිහැර මාරුකිරීම්, අත්අඩංගුවට ගැනීම් මේ සියල්ල සිදුවන විට ඒ අය බේරගැනීමට මම එදා ශ්‍රී.ල.නි.ප. පක්‍ෂයේ සභාපතිකම භාර දුන්නා.

මම ගමට ගියාට පසු ජනතාව ලක්‍ෂ ගණනක්‌ ආවා මාව හමුවීමට. මට ජනතාව මුණගැසීමට කොළඹ ස්‌ථානයක්‌ නැතිවෙන කොට නාරාහේන්පිට අභයාරාමයේ අපේ නායක හාමුදුරුවෝ මට කිව්වා එම ස්‌ථානයේදී මහජනයා මුණගැසෙන්න කියලා.

අභයාරාමයට මහා දේශපාලන ඉතිහාසයක්‌ තියෙනවා. සටන් ඉතිහාසයක්‌, වෘත්තීය සමිති ඉතිහාසයක්‌ තිබෙනවා. හැමදාම ප්‍රගතිශීලී පිලේ ඉඳගෙන මොන රජයක්‌ පැවතියත් අපේ ආණ්‌ඩු කාලේ වුණත් කියන්න තියෙන දේ බිය නොවී නායක හාමුදුරුවෝ ප්‍රකාශ කළා.

මේ කටයුතු ඉටුකරපු නිසා එම ස්‌ථානය අපි පාවිච්චි කළා. අන්තිමට සමහර නායකයෝ කියන්න පටන්ගත්තා මහින්දාරාමය කියලා. කොහොම නමුත් අපට ඒ ස්‌ථානය ලබාදීම පිළිබඳ නායක හාමුදුරුවන්ට ස්‌තුතිවන්ත විය යුතුයි.

මේ ස්‌ථානයේ කාර්යාලයක්‌ ආරම්භ කළත් ඉදිරියටත් අප එම විහාරස්‌ථානයට යනවා. එතනයි ප්‍රගතිශීලී ජන කොටස්‌ වල මධ්‍යස්‌ථානය. මේ කාර්යාලය අද සිට ජනතාව වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා.

ජනතාව එනවා මාව මුණගැසීමට අර කියපු කාමර දෙකකින් යුත් මාළිගාවට. ඒ වගේම මමත් බලන් ඉන්නවා අර කියපු ඩොලර් බිලියන 18 ලැබෙනකන්. මම ඒ අයට කියනවා එක ඩොලරයක්‌ පැන්සයක්‌ හොයලා දෙන්න. එදාට මම බෙල්ල කපා ගන්නවා.

මගේ එක පුතෙක්‌ අත්අඩංගුවේ සී. එස්‌. එන්. නාලිකාවේ සභාපති කියලා. ඔහු එම නාලිකාවේ සභාපති නම් මම දන්නවා සභාපතිකම කරවන හැටි අරයාට මෙයාට බිය නොවී.

මේක දැන් අධිකරණයේ තියෙන දෙයක්‌ නිසා ඒ ගැන මම වැඩිය කතා කරන්නේ නෑ. නමුත් මතක තියාගන්න ඉතිහාසයේ පළමු වරට අධිකරණයේ තියෙන නඩුවක්‌ ගැන දේශපාලන වශයෙන් අරලියගහ මන්දිරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම මම දකින්නේ නීතියට කළ සරදමක්‌ ලෙසයි.

ස්‌වාධීනත්වයක්‌ නෑ දේශපාලන අතකොලුවෙලා කියලා පසුගියදා ලංකාවට පැමිණි මානව හිමිකම් කොමසාරිස්‌ හුසේන් කුමාරයා අපේ අධිකරණ පද්ධතියට පහර දීලා ගියා. හුසේන් කුමාරයාගේ එම කියමන අපේ අධිකරණය සත්‍ය කියමනක්‌ කරගන්නේ නැති බවට මගේ ලොකු විශ්වාසයක්‌ තියෙනවා. එහෙම වුණොත් රටේ ජනතාවට දෙවියන්ගේම පිහිටයි.

හුසේන් කුමාරයා අධිකරණය සම්බන්ධයෙන් කළ ඒ ප්‍රකාශය නීතිඥයෙක්‌ වශයෙන් මම පැහැදිලිවම හෙළා දකිනවා.

ඇµaගනිස්‌ථානයටත් ඉල්ලනවා අපට ගෙනාව වගේ යුද අපරාධ යෝජනාවක්‌ ගේන්න කියලා. ඊට ඇමරිකාව සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා. ඒක ගේන්න බෑ කියලා. බලන්න ලංකාවට එක නීතියක්‌ තවත් රටකට තව නීතියක්‌. ඇµaගනිස්‌ථානයට එක නීතියක්‌ පලස්‌තීනයට තව නීතියක්‌.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේදී හැමදාම යෝජනාවක්‌ සම්මත වෙනවා මානව හිමිකම් පිළිබඳව. ඒවා පිළිබඳව අද වන තෙක්‌ පරීක්‍ෂණයක්‌ කරලා නෑ. නමුත් අපිට තමයි කියන්නේ ඉතා ඉක්‌මනින් පරීක්‍ෂණ කර ඉදිරිපත් කරන්න කියලා. අප රටේ ස්‌වාධීනත්වයටත් තර්ජනය කරමින් ව්‍යවස්‌ථාව පවා වෙනස්‌ කරන වැඩපිළිවෙළකට පවා උපදෙස්‌ ලැබී තිබෙනවා.

මේවා පිළිබඳව ජනතාවගේ අවධානය යොමුවිය යුතුයි. මේ ආණ්‌ඩුව මහ බැංකුවෙන් පටන්ගත්ත මංකොල්ලය එතනින් පහළටම ගෙනගිහින්. ගොවියාට පොහොර නෑ. වී මිල පහළට වැටිලා. වී රුපියල් 18 ට විකුණගන්න බැරි තත්ත්වයක්‌ ඇවිල්ලා. මේ තත්ත්වය වී ගොවිතැනට පමණක්‌ නොවෙයි අනෙකුත් තේ, රබර් ආදී සෑම කෘෂිකර්ම ක්‍ෂේත්‍රයකටම පහර වැදිලා. රාජ්‍ය සේවකයාට වෘත්තිකයන්ට පහර වදින ලෙස සීපා ගිවිසුමට සමාන ගිවිසුමක්‌ ඉන්දියාව සමඟ අත්සන් කිරීමට සූදානම් වෙනවා.

මේ සියල්ලටම සමහර දේශපාලන පක්‍ෂ කට පියාගෙන ඉන්නවා. විපක්‍ෂ නායක සිටියත් විපක්‍ෂයක්‌ නෑ වගේ. පාර්ලිමේන්තුවේ සැබෑ විපක්‍ෂය ඒකාබද්ධ විපක්‍ෂයයි. නමුත් ඒ විපක්‍ෂයේ මන්ත්‍රීවරු 50 දෙනාට පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙලාව දෙන්නේ නෑ.

ඉතිහාසයේ ප්‍රථම වරට මාධ්‍යවේදීන්ගේ නම් කියලා තර්ජනය කරනවා. ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ට තර්ජනය කරනවා. ඔවුන්ගේ නමුත් කියනවා.

මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අද දඩයමක්‌ පටන්ගෙන තියෙනවා.

මේ රටේ ජනතාව කොතනද ඒ ජනතාව ඉන්න තැන මහින්ද රාජපක්‍ෂ සිටින බව මම පැහැදිලිවම ප්‍රකාශ කරනවා.

ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා - ත්‍රස්‌තවාදයෙන් රට මුදාගත් නායකයා මහින්ද රාජපක්‍ෂ මහතායි. හිටපු ජනාධිපතිතුමාගේ මෙම සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීමෙන් ජනතාවට අලුත් පණිවුඩයක්‌ ජනිත කරනවා.

අභියෝග තර්ජන, ගර්ජන මැද නොසැලෙන ජනාධිපතිවරයා ලෙස මාතෘ භූමියේ නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් යළි ස්‌ථාපිත කිරීමට නායකත්වය දී ක්‍රියා කළා. ඊට ජනතාවගේ සදාකාලික ගෞරවය ස්‌තූතිය පුදකෙරෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා - මේ රට කඩන්නෙ නැතුව බෙදන්නේ නැතුව මේ රටේ සියලු ජාතීන්ට අභයදානය ලබාදීමේ ජීවත්වීමේ අයිතිය ලබාදීමේ පින්කම කළ ජාතික නිදහස්‌ අරගලයේ ජීවමාන සාක්‍ෂිකරු වන මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු රණවිරුවන්ට විරුද්ධව කෙරෙන අධිරාජ්‍යවාදී පාවාදීමට එරෙහිව පෙළගැසෙන ජනතා නායකත්වයට නායකත්වය දීමේ මූලස්‌ථානයක්‌ මේ ඓතිහාසික නගරයේ විවෘත වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා - ජනවාරි 8 වැනිදා අපි හරි තැනක හිටියා. රටේ බහුතරයක්‌ වැරදි තැන හිටිය නිසා අද අප රටට වැරදිලා කියලා අද හැමෝම පිළිගන්නවා. අද වැඩියෙන් දුක්‌වෙන්නේ හංසයාට කතිරය ගහපු අයයි. ඒ අය වෙනස්‌ කරන්න දැන් පෙළගැසෙමින් සිටිනවා.

මහින්ද රාජපක්‍ෂ මහතාට විවිධ අනතුරු ඇඟවීම් කළා. තර්ජන ගර්ජන කළත් එතුමා එතුමාගේ දරුවන්ටත් වඩා එතුමා උපන් මවුබිමට ආදරෙයි කියමින් මේ වෙනස වෙනස්‌ කරන වැඩපිළිවෙළට නායකත්වය දෙමින් මොන බාධක ආවත් මේ ආණ්‌ඩුව ගෙදර යවනතුරු සටන අත්හරින්නේ නෑ කියන පණිවුඩයයි අද ලබාදෙන්නේ.

මහාචාර්ය තිස්‌ස විතාරණ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා යන මහත්වරු ද මෙහිදී කතා කළහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.