ඉංග්‍රීසින් සිංහලයන්ට බාරදීපු දෙමළ රාජ්‍යයයි අපි ඉල්ලන්නේ
විපක්‍ෂ නායක සම්බන්ධන් කියයි

සාකච්ඡා කළේ - එරික්‌ ගාමිණී ජිනප්‍රිය

* විදේශීය විනිසුරු යාන්ත්‍රණයක්‌ අවශ්‍යයි
* අපි ඔක්‌කොම ලාංකිකයො. නමුත් අපි වෙන වෙන මිනිස්‌සු...

* ජාතික ගීය දෙමළෙන් ගැයීම, යුද අපරාධ චෝදනා සඳහා විදේශීය විනිසුරුවන් පත්කිරීම, අල් හුසේන්ගේ පැමිණීම මූලික කරගනිමින් "දිවයින ඉරිදා සංග්‍රහය" සමඟ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා කරන ලද සාකච්ඡාවයි මේ.

ප්‍රශ්නය - පසුගියදා මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපති සෙයිද් අල් හුසේන් හා ඔබ අතර සාකච්ඡාවක්‌ පැවැත්වුණා. එම අවස්‌ථාවේදී සාකච්ඡා කළේ මොනවාද?

පිළිතුර - වැඩියෙන්ම අපි සාකච්ඡා කළේ මානව හිමිකම් කොමිසම මගින් ශ්‍රී ලංකාව පිළිබඳව සම්මත කරන ලද යෝජනාව පිළිබඳව. එම යෝජනාවට ශ්‍රී ලංකාවත් එකඟ වී තිබෙනවා. කිසිදු රටක විරෝධයකින් තොරව රටවල් 47 ක්‌ එය අනුමත කර තිබෙනවා.

අපි සාකච්ඡා කළේ එම යෝජනාවේ තිබෙන කරුණු සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරන්න ඕනියි කියන එක පිළිබඳව. එම කරුණු සම්පූර්ණයෙන් ඉෂ්ට කරන එක මේ රටේ ජනතාවට බොහොම හොඳයි. එය පළිගන්න කරපු දෙයක්‌ නෙවෙයි. එය කළේ වසර 10 ක්‌ තුළ රට හුඟක්‌ පස්‌සට ගිය නිසා. අපේ රට ජාත්‍යන්තර ප්‍රජාව භාරගත්තේ නෑ. පැත්තකට දාල තිබුණේ. නමුත් දැන් එම තත්ත්වයෙන් ඉදිරියට ඇවිල්ල ජාත්‍යන්තර ප්‍රජාව තුළ රටට හිමි තැන ලබා ගැනීමට අවස්‌ථාවක්‌ උදාවී තිබෙනවා. එම අවස්‌ථාවේදී එම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම හොඳයි කියල අපි සිතනවා.

ප්‍රශ්නය - එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවේ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව විභාග කිරීම සඳහා විදේශීය විනිසුරුවන්ගෙන් සමන්විත අධිකරණයක්‌ පිහිටුවිය යුතු බව සඳහන් වනවා.

එහෙත් පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යුද අපරාධ විභාග කරන අධිකරණයට විදේශීය විනිසුරුවන් පත් නොකරන බව සඳහන් කළා. ඒ පිළිබඳව ඔබගේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර - ඒ පිළිබඳව ජනාධිපතිවරයා තීරණයක්‌ ගත යුතුයි. සම්මත වූ යෝජනාවේ තිබෙනවා පොදුරාජ්‍ය මණ්‌ඩලයීය රටවල නීතිඥයන්ට එන්න පුළුවන් කියල. ඒ වගේම එහි තිබෙනවා නිරීක්‍ෂකයන්ට සහ නීතිඥයන්ට එන්න පුළුවන් කියලත්. ඒ නිසා ජනාධිපතිතුමා ඒ පිළිබඳව කල්පනා කරල තීරණයක්‌ ගත යුතුයි. අපි බලාපොරොත්තු වනවා හොඳ තීරණයක්‌ ගනීවි කියල. අපි ඉල්ලන්නේ නෑ එම අධිකරණය සම්පූර්ණයෙන්ම විදේශීය විනිසුරුවන්ගෙන් සමන්විත විය යුතු බව.

ඒ උසාවිය දෙන තීන්දුව අපේ රටේ සියලු දෙනාම භාරගන්න ඕනි. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවත් බාරගන්න ඕනි. ඒ අරමුණ ඉටු කරගන්න පුළුවන් යාන්ත්‍රණයක්‌ ආණ්‌ඩුව ඉදිරිපත් කළ යුතුයි. එය ආණ්‌ඩුවේ වගකීම, රාජකාරිය.

ප්‍රශ්නය - ජනාධිපතිවරයා යුද අපරාධ විභාග කිරීමේ අධිකරණයට දේශීය විනිසුරුවන් පමණක්‌ පත්කිරීමට තීරණය කළහොත්....

පිළිතුර - අපි ඒක ඒ වෙලාවට බලමු. ඒ පිළිබඳව දැන්ම කල්පනා කිරීමට වුවමනාවක්‌ නෑ. මං බලාපොරොත්තු වනවා රටේ සිටින සියලු දෙනාට එකතු වෙන්න පුළුවන් විසඳුමක්‌ ජනාධිපතිතුමා ගෙනේවි කියල.

ප්‍රශ්නය - එංගලන්තයට අයත් ස්‌කොට්‌ලන්තයේ පවතින පාලන ක්‍රමය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ඔබ ඇතුළු පිරිසක්‌ එරට සංචාරය කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ සඳහා බලපෑ හේතු මොනවාද?

පිළිතුර - හැම පක්‍ෂයකම අය ඊට සහභාගි වී තිබුණා. ස්‌කොට්‌ලන්තයේ හුඟක්‌ දේවල් වෙලා තියෙනවා. එහි ජනමත විචාරණයක්‌ පවත්වා තිබෙනවා 2014 දී. එම ජනමත විචාරණයෙන් විමසා තියෙන්නේ ස්‌කොට්‌ලන්තය බ්‍රිතාන්‍යයේ කොටසක්‌ ලෙස පැවතිය යුතුද නැද්ද යන්න පිළිබඳව. ස්‌කොට්‌ලන්තයේ ජනතාවගෙන් 55% ක්‌ වෙන් වෙන්න කැමැති වෙලා නෑ. 45% ක්‌ වෙන් වෙන්න කැමැති වී තිබෙනවා. ඒ ප්‍රශ්නයට විසඳුම් ගේන්න කටයුතු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි අවබෝධයක්‌ ලබා ගත්තා. ඒක හොඳයි.

ප්‍රශ්නය - ස්‌කොට්‌ලන්තය, එංගලන්තයේ යටත් විජිතයක්‌. එමනිසා ස්‌කොට්‌ලන්තයට වෙන්වීම පිළිබඳව කතා කරන්න අයිතියක්‌ තිබෙනවා. එහෙත් මෙරට උතුර සහ නැගෙනහිර භූමිය සිංහල ජනතාවගේ යටත් විජිතයක්‌ බව සිංහල ජනතාව පිළිගන්නේ නෑ. එමනිසා ස්‌කොට්‌ලන්තයේ පවතින තත්ත්වය මෙරටට අදාළ වන්නේ නැහැ නේද?

පිළිතුර - එහෙම කියන්න බෑ. උතුරේ තනි රාජ්‍යයක්‌ තිබුණා. එම රාජ්‍යය යටත් වුණේ පෘතුගීසීන්ට. ඊට පසුව එම රාජ්‍යය ලන්දේසීන් යටත් කරගත්තා. ඉන්පසුව ඉංග්‍රීසි අයට ගියා.

1815 දී ඉංග්‍රීසීන් ගිවිසුමකින් උඩරට භාර ගත්තා. ඉන්පසුව 1833 දී ඉංග්‍රීසීන් තමයි උඩරට, පහතරට සහ දෙමළ රට එකතු කළේ. ඒ දේවල් සම්බන්ධව දැන් කතා කිරීමට වුවමනාවක්‌ නෑ. අපි ඔක්‌කොම එකතුවෙලා රට බෙදන්නේ නැතිව බලය බෙදල එකතුවෙලා ජීවත් වෙන්න ඕනි. එය රටටත් ජනතාවටත් හොඳයි.

ප්‍රශ්නය - බලය බෙදන්න කියල කියන්නේ, අතීතයේදී පැවති බව ඔබ සඳහන් කළ රට පදනම් කරගෙන නේද?

පිළිතුර - වැඩියෙන්ම දෙමළ ජනතාව ජීවත් වූයේ උතුර සහ නැගෙනහිර. එම පළාත්වලට බලය බෙදල දෙන්න ඕනි කියල අපි ඉල්ලනවා. ඒ වෙලාවට ඒ විදියටම බලය බෙදල අනිත් පැත්තටත් දෙන්න පුළුවන්.

ප්‍රශ්නය - ඔබ සඳහන් කරන ප්‍රශ්නය අතීතයේදී දෙමළ ජනතාවට වෙනම රටක්‌ පැවති බව පදනම් කරගත් ප්‍රශ්නයක්‌ නේද?

පිළිතුර - ඒ විතරක්‌ නෙවෙයි. අපේ ජනතාව දෙමළ ජනතාව. අනෙක්‌ ජනතාව සිංහල සහ මරක්‌කල ජනතාව. නමුත් අපි ඔක්‌කොම ලාංකිකයො. නමුත් අපි වෙන වෙන මිනිස්‌සු.

එක්‌සත් රාජධානියේ ඉංග්‍රීසි, ස්‌කොට්‌ෂ්, අයිරිෂ්, වෙල්ස්‌ මිනිසුන් සිටිනවා. නමුත් ඔවුන් ඔක්‌කොම එක්‌සත් රාජධානියේ වැසියන්. නමුත් ඔවුන්ට බලය තිබෙනවා.

ප්‍රශ්නය - අතීතයේ දී උතුරේ දෙමළ රාජ්‍යයක්‌ පැවති බව සඳහන් කළත්, සිංහල ජනතාව එය පිළිගන්නේ නෑ.

පිළිතුර - සිංහල ජනතාව ඇත්ත දැනගත යුතුයි. සිංහල නායකයන් සිංහල ජනතාවට ඇත්ත කිව යුතුයි.

ප්‍රශ්නය - අතීතයේ දී දෙමළ රාජ්‍යයක්‌ නොතිබුණ බවට විශාල වශයෙන් පොත් සහ ලිපි ලියා තිබෙනවා. ඔබට පුළුවන්ද ඊට පිළිතුරු සපයන්න.

පිළිතුර - කේ. එම්. ද සිල්වා මහතාගේ ඉතිහාස පොත කියවල බැලුවොත් එය හොඳට බලාගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් වැඩිය කතා කරන්න මම කැමැති නෑ. දැන් අපි හොඳ විසඳුමක්‌ ගේන්න ඕනි. හැබැයි ඇත්ත සියලු දෙනාම දැනගන්න ඕනි.

ප්‍රශ්නය - මේ මොහොත වන විට නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා. පසුගිය දිනක ජනාධිපතිවරයා සඳහන් කළා දකුණේ ජනතාව පෙඩරල් යන වචනයටත්, උතුරේ ජනතාව ඒකීය යන වචනයටත් බය බව. කෙසේ වුවත් මේ වන විට සිංහල ජනතාව තුළ සැකයක්‌ ඇතිවී තිබෙනවා නව ව්‍යවස්‌ථාව නාමිකව ඒකීය ලෙස හැඳින්වුවත් එම ව්‍යවස්‌ථාවෙන් මෙරට පෙඩරල් රාජ්‍යයක්‌ බවට පත්කරන බවට. ඒ පිළිබඳව ඔබගේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර - සියලු ජනතාවට භාරගන්න පුළුවන් විදියට මේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලැබෙන විදියට, නැවත මතු නොවන විදියට විසඳුමක්‌ සොයා ගන්න ඕනෑ.

ප්‍රශ්නය - පසුගිය නිදහස්‌ දිනයේ දී ජාතික ගීය දෙමළ භාෂාවෙනුත් ගායනා කළා. එම තීරණය සමඟ එකඟ නොවන පුද්ගලයන් විමසා සිටිනවා ඉදිරියේ දී වැදි ජනතාව ඔවුන්ගේ භාෂාවෙනුත්, මුස්‌ලිම් ජනයාට අරාබි භාෂාවෙනුත් සෙසු ජනතාවන් ඔවුන්ගේ භාෂාවලිනුත් ජාතික ගීය ගායනා කරන ලෙස ඉල්ලා සිටියහොත් ගන්නා පියවර කුමක්‌ද කියල?

පිළිතුර - ලංකාවේ සිටින මුස්‌ලිම් ජනතාව කතා කරන්නේ දෙමළ. නැතිනම් සිංහල. ඔවුන් අරාබි භාෂාව කතා කරන්නේ නැහැනේ. ඒක නිකන් බොරු කතාවක්‌. එහෙම දෙයක්‌ වෙන්නේ නැහැනේ.

ප්‍රශ්නය - පසුගිය මැතිවරණයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක්‌ ආණ්‌ඩුව සමඟ එක්‌වූවත් සෙසු මන්ත්‍රීවරුන් කටයුතු කරන්නේ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ලෙසයි. එම මන්ත්‍රීවරුන් වෙනම කණ්‌ඩායමක්‌ ලෙස පිළිගන්න ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීම ප්‍රතික්‌ෂේප වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබගේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර - කථානායකතුමන් සමඟ සාකච්ඡා කරල තීරණයක්‌ ගත යුතුයි. නමුත් ඔවුන්ගේ කැමැත්ත අනුව වෙනස්‌ කිරීම් කරන්න බෑ. ඔවුන් සියලු දෙනා පත්වී තිබෙන්නේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන්. ඔවුන්ගෙන් කිහිප දෙනෙක්‌ විපක්‌ෂයේ සිටිනවා. නමුත් ඔවුන්ට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කළා කියන එකෙන් බේරෙන්න බෑ. ඒ අයට වෙනම පක්‌ෂයක්‌ වෙන්න බෑ. ඔවුන්ගේ පක්‌ෂය සන්ධානය. නමුත් ඔවුන්ට කතා කිරීමේ කාලය ලබාදීම පිළිබඳව තීරණයකට ඒමට අපිත් එකතු වෙනවා. එසේ වුවත් ඔවුන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ විධියට වඩා වෙනස්‌ විධියකට කටයුතු කරන්න ඕනියි කියා සිතනවා නම් අපිට ඒකට උදව් කරන්න බෑ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.