වෛද්‍ය සංගමයේ පොත ගැන රහස්‌ පොලිස්‌ පරීක්‍ෂණ
දිගටම මෙහෙම නම් නොදන්වා වෛද්‍ය වර්ජනයක්‌

- වෛද්‍ය සංගමයේ සහකාර ලේකම්


අජිත් අලහකෝන්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාමාවලියක්‌ සැකසීම හා විදෙස්‌ වෛද්‍යවරුන්ගේ සුදුසුකම් ඇගයීම පිළිබඳ ක්‍රමවේදයක්‌ නමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළකර තිබෙන ග්‍රන්ථයකට අදාළව පොලිස්‌ අපරාධ විමර්ශන කොට්‌ඨාසය මගින් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

අපරාධ විමර්ශන කොට්‌ඨාසය මෙම ග්‍රන්ථය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතාගෙන් පසුගිය 12 වැනිදා පැයකට අධික කාලයක්‌ ප්‍රශ්න කර ඇති අතර ඉදිරියේදී සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාගෙන් ද ප්‍රශ්න කිරීමට සූදානම් වන බව එම සංගමය ප්‍රකාශ කර සිටී.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස දිගින් දිගට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හිරිහැර කරන්නේ නම් පෙර දැනුම්දීමකින් තොරව රට පුරා රෝහල්වල අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ දියත් කරන බවට එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා 'දිවයින' ට කීවේය.

වෛද්‍ය පනතේ සංශෝධනය නොකළ කොටසක්‌ නීතිපති දෙපාර්තමේන්තුවේ ද අනුමැතියකින් තොරව මෙම ග්‍රන්ථයට ඇතුළත් කළේ කෙසේද යන්න අපරාධ විමර්ශන කොට්‌ඨාසය මෙසේ ප්‍රශ්න කරමින් සිටින බව ද වෛද්‍ය නවීන් සොයිසා මහතා කීවේය.

මෙම පොලිස්‌ ප්‍රශ්න කිරීම් පිටුපස රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ දේශපාලන ආධාරකරුවකු සිටින බව ද ඔහුගේ මැදිහත්වීම මත මෙම විමර්ශන කඩිනම් කරන ලෙසට අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අපරාධ විමර්ශන කොට්‌ඨාසයට බලපෑම් එල්ල වෙමින් තිබෙන බව ද වෛද්‍ය නවීන් සොයිසා මහතා කීවේය.

සුදුසුකම් නොලත් ඉන්දීය වෛද්‍යවරුන් මෙරට පුද්ගලික රෝහල් තුළ විශේෂඥ වෛද්‍යවරුන් ලෙස සේවයේ යෙදී සිටීමෙන් රෝගී ජීවිත අවදානමකට ලක්‌වී ඇති අයුරු තම සංගමය විසින් වසර කීපයක සිට පෙන්වා දෙන බව ද වෛද්‍ය සොයිසා මහතා කීවේය. රෝගීන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෙම ග්‍රන්ථය නිකුත් කළ බව ද හෙතෙම කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව විශේෂඥ වෛද්‍ය විද්‍යායතනවල ද සහභාගිත්වයෙන් ගෙන ගිය වැඩපිළිවෙළක්‌ මත නීතිපති දෙපාර්තමේන්තුවේ ද උපදෙස්‌ ලබාගෙන මෙම ග්‍රන්ථය සකස්‌ කළ බව කී වෛද්‍ය නවීන් සොයිසා මහතා එහි පාරදෘෂ්‍යභාවය පවත්වාගෙන යැම සඳහා Establishment of Specialist vedistry and introduction of an evaluation procedure for foreign medical specialists නමින් පොත පළ කළ බව ද ප්‍රකාශ කළේය.

මෙහි මුද්‍රණ දෝෂයක්‌ පදනම් කර ගනිමින් මෙම පොලිස්‌ පරීක්‍ෂණය පවත්වන බව කී වෛද්‍ය නවීන් සොයිසා මහතා විද්වත් මතයක්‌ දැරීම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිතියක්‌ මර්දනය කිරීමට රජය දරන නින්දිත ප්‍රයත්නය හෙළාදකින බව ද කීය.

මීට හේතුව වී ඇත්තේ ඉන්දු ලංකා වෙළෙඳ හා සේවා ගිවිසුමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය දැක්‌වීම බව පැහැදිලි යෑයි කී වෛද්‍ය නවීන් සොයිසා මහතා, තම සංගමයට එරෙහි නාටකයේ ප්‍රථම ජවනිකාව වූයේ "වකුගඩු ජාවාරම්" චෝදනාව යෑයි ද කීය.

එහි විමර්ශන වාර්තාවට සිදු වූ දෙයක්‌ නැතැයි පැවසූ වෛද්‍ය සොයිසා මහතා නාටකයේ දෙවැනි ජවනිකාව "මුද්‍රණ දෝෂ" චෝදනාව දැන් දිගහැරෙමින් තිබෙන බව ද කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.