අනුරපුර යුගයේදී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ඉඩම් භුක්‌ති ක්‍රමය

ජයලත් මුණසිංහ

munasinghejayalath@yahoo.com

අනුරපුර යුගයේ ආරම්භයේ සිටම ජනතාවට ඉඩම් මිලදී ගැනීමට, ප්‍රදානය කිරීමට හා විකිණීමට අයිතියක්‌ තිබී ඇත. සාමාන්‍ය පුද්ගලයන් අතර ඉඩම් විකිණීම් මිලදී ගැනීම් වැනි ගනුදෙනු සිදුවූ අවස්‌ථා කිසිවකදී රජුගේ අවසරය ඒ සඳහා අවශ්‍ය වී නැත. (සිරිවීර,2002(256) පෞද්ගලික ඉඩම් හිමියන් ගැන මෙන්ම පෞද්ගලික වැව් හිමියන් ගැනද වංශ කථාවල මෙන්ම සමකාලීන සෙල් ලිපි වලද සඳහන් වී තිෙ€. (රණවැල්ල,2003(162)ක්‍රි.ව. නම වන ශත වර්ෂය වන විsට අනුරපුර වාරි ශිෂ්ටාචාරයේ උපරිම දියුණුq මට්‌ටමට පැමිණ තිබුණු අතර මෙම කාලයේ සෙල් ලිපි හා වංශකථා පරීක්‌ෂා කිරීමේදී පෞද්ගලික දේපළ අයිතිය පිළිබඳ පැහැදිලි සාක්‌ෂි දැකිය හැක. (සිල්වා,2008(53) අනුරපුර යුගයේ ආරම්භයේ සිට ප්‍රභූ පංතියට මෙසේ පෞද්ගලික ඉඩකඩම් අයිතිව තිබුණු බව පෙනේ. මහාචාර්ය ගයිගර්ගේ මතය අනුව මේ ප්‍රභු පංතියේ ආරම්භය ඇති වූයේ මෙරට ආර්ය ජනාවාස ඇති වීමෙන් සියවස්‌ කීපයකට පසුය . ලෙන් ලිපිවල පරුමක යනුවෙන් හඳුන්වනු ලැබ ඇති පුද්ගලයන් එකල සිටි ඉඩම් හිමි ප්‍රභූ පංතියේ අය විය හැකි යෑයි ආචාර්ය පරණවිතාන මහතා අදහස්‌ කරයි. (රණවැල්ල,2003:164)

පුරාතන ශ්‍රී ලංකාවේ ඉඩම් භුක්‌ති ක්‍රමය පිළිබඳ තොරතුරු හැදෑරීමට පෙර අයිතිය යන පදය පිළිබඳව පැහැදිලි කරගත යුතුය. ඊට හේතුව වන්නේ රෝමානු ලන්දේසි නීතියේ අයිතිය පිළිබඳ අර්ථ නිරූපණ වර්තමානයේ ක්‍රියාත්මක වීමයි. මෙම අයිතිය පිළිබඳ අර්ථ නිරූපණ වරින් වර ව්‍යවස්‌ථාදායක සභාවේ සහ පාර්ලිමේන්තුවේ නීති රීති කෙටුම්පත් මගින් සංශෝධනය වී ඇති බවද අමතක නොකළ යුතුය. එම නිසා වර්තමානයේ පවතින අයිතිය හෝ හිමිකම පිළිබඳව එබඳු අදහස්‌ ක්‍රියාත්මක නොවූ පූර්ව යටත් විsජිත සමාජයේ පැවති තත්ත්වයන් එබඳු නීති මගින් විග්‍රහ කිරීමට යැම එතරම් ශාස්‌ත්‍රීය නොවේ. සරල උදාහරණයක්‌ ගතහොත් වර්තමානයේ විකිණරීම මගරීන් හෝ ප්‍රදානයක්‌ මගින් හෝ ඉඩමක්‌ අතින් අතට මාරුවූ විට එම ඉඩම පිළිබඳ සියලුම අයිතීන් මිලදී ගනු ලැබූ හෝ ප්‍රදානය ලැබූ හෝ අයට හිමි වෙයි. ඇතැම් ඉඩම් පවරා ගැනීමට රජයට අයිතිය තිබුණද එමෙන්ම ඉතා දීර්ඝ කාලයක්‌ අන් අයකු භුක්‌ති විඳීම නිසා එම අයිතිය සීමා වුවද ඉහත කී හිමිකම හා අයිතිය බොහෝ දුරකට පූර්ණ හිමිකම හා අයිතියක්‌ වෙයි. එහෙත් පුරාතණ හා මධ්‍යකාලීන ලංකාවේ අයිතිය හා හිමිකම මෙයට වඩා බෙහෙවින්ම සංකීර්ණ විය. (සිරිවීර,2002(255) වර්තමානයේ පවතින ඉඩම් භුක්‌ති ක්‍රමය කළමනාකරණය කිරීම සඳහා රජය විවිධ ආකාරයෙන් සම්බන්ධ වී තිබේ. දැනට පවතින ඉඩම් භුක්‌ති ක්‍රමය හා සම්බන්ධ කටයුතු කිරීමට දෙපාර්තමේන්තු මට්‌ටමේ රාජ්‍ය ආයතන කීපයක්‌ම තිබෙන අතර අමාත්‍යවරයෙක්‌ යටතේ වෙනම අමාත්‍යාංශයක්‌ ද (ඉඩම් අමාත්‍යාංශය) තිබේ. එහෙත් පුරාතනයේ පැවති තත්ත්වය මීට වඩා වෙනස්‌ විය. එදා පැවැති ඉඩම් භුක්‌ති ක්‍රමය මනාව පවත්වාගෙන යැම සඳහා විධිමත් ක්‍රමයක්‌ තිබුණි. මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීsර මහතා සඳහන් කරන පරිදි පූර්ව යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ ඉඩම් භුක්‌ති ක්‍රමය අතිශය සංකීර්ණ වූත් එහෙත් විධිමත් වූත් ක්‍රමයකි. අනුරපුර යුගයේ ආරම්භයේ සිට ක්‍රමවත්ව සකස්‌ වූ මෙම භුක්‌ති රටාවේ ඇතැම් අංශ පිළිබඳව නිශ්චිත සාක්‌ෂි ඇත්තේ ක්‍රි.ව. නමවන ශත වර්ෂයෙන් පසුවයි. (ibid:273) මෙම ලිපියේ අරමුණ වන්නේ අනුරපුර යුගයේ සිට අප රට ඉංගි්‍රසින්ට යටත් වන තුරු පැවති ඉඩම් භුක්‌ති ක්‍රමය පිළිබඳව කෙටියෙන් විමසා බැලීමයි .

රටේ සියලු ඉඩම් රජුට හිමිවිය

පුරාතනයේ රජුට සියලු ඉඩම් හිමිවිය යන අදහස පිළිබඳව ද මෙහිදී විමසා බැලිය යුතුය. මෙම අදහස ඉදිරිපත් වීමට මූලික හේතූන් දෙකක්‌ ඇති බව පැවසේ. ඉන් පළමුවැන්න වන්නේ සාහිත්‍ය කෘති , වංශ කථා සහ ඇතැම් සෙල් ලිපිවල රජු හැඳින්චීම සඳහා භුපති, මහිපති, වත්හිමි සහ පෘථුවීශ්වර වැනි කාව්‍යමය යෙදුම් සඳහන් කොට ති‚sමයි. දෙවැන්න වන්නේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ පෘතුගීසින්ට හා ලන්දේසින්ටත්, 1815 න් පසු මෙම දිවයිනේ බලය ලබාගත් ඉංග්‍රිසීන්ටන් පුරාතනයේ රජුට සියලු ඉඩම් හිමිවිය යන අදහස උපයෝගි කොටගෙන තමන්ට වාසි වන ඉඩම් ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට අවස්‌ථාව ලැ‚මයි. යළි ඉතිහාසය ලිsවීමේදි බටහිර ජාතින් මෙම දිවයිනේ කළ ක්‍රියාවන් සාධාරණීකරණය කිරීsමට ඇතැම් බටහිර විද්aවතුන් ඉහත කී අදහස මුලින්ම ඉදිරිපත් කොට ඇති බවද මෙහිදී සඳහන් කළ යුතුය. එහෙත් සෙල් ලිපි හා වංශ කතා ප්‍රවේශමෙන් පරීක්‌ෂා කර බලන විට ඉහත කී අදහසෙහි සත්‍යතාවක්‌ නොමැති බව පෙනි යයි .(ibid:256)

සාමාන්‍ය ජනතාවට තිබුණු ඉඩම් අයිතිය

මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා ප්‍රකාශ කරන පරිදි පෞද්ගලික ඉඩම් හිමියන් ගැන මෙන්ම පෞද්ගලික වැව්හිමියන්a ගැනද වංශකථාවල මෙන්ම සමකාලින සෙල් ලිපි වලද සඳහන්වී තිබේ . ක්‍රි.පූ. දෙවන හා පළමු වන සියවස්‌ වල කිරිය (අමුණු හතරක වපසරිය) සිය ගණනක්‌ විශාල ඉඩම් කීපයකට අයිතිවාසිකම් කියූ පෞද්ගලික ඉඩම් හිමියන් කීප දෙනකු ගැන සීහලවත්ථුප්පකරණයෙහි සහ සහස්‌සවත්ථුප්පකරණයෙහි ඇති කථා වස්‌තු කීපයක සඳහන් වේ. ක්‍රි.ව. දෙවන සියවසේදී පළමුවන ගජබාහු රජතුමා (ක්‍රි.ව.112-134) සහ රජුගේ මව කහවණු ලක්‌ෂය බැගින් වෙන වෙනම මිල ගෙවා ඉඩම් දෙකක්‌ ලබාගෙන එම ඉඩම් මිරිසවැටි විහාරයට හා මහා විහාරයට පූජා කළ බව මහාවංශයේ සඳහන් වේ . එසේම අනුරාධපුරයේ රජකළ වසභ රජතුමා (ක්‍රි.ව.65-109) උපලදෝණික නම් වැවක්‌ එම වැව් හිමියාගෙන් කහවණු පන්සීයකට මිලදී ගෙන රජතුමා විසින් කරන ලද එකදොරික වෙහෙරට පූජා කළ බව එම රජුගේ කාලයට අයත් විහාරේගල පර්වත ලිපියෙන් හෙළි වේ. වංශ කථාවන්හි දැක්‌වෙන පරිදි පළමුවන කස්‌සප රජතුමා (ක්‍රි.ව.477-495) විසින් අනුරාධපුරයෙහි ඉසුරුමුණි විහාරයට පූජා කරන ලද එක්‌ ඉඩමක්‌ ලබා ගන්නා ලද්දේ ඒ ඉඩම කලින් අයත් කරගෙන සිටි ඉඩම් හිමියාට මුදල් ගෙවීමෙනි. දෙවන උදය රජතුමාගේ (ක්‍රි.ව.887-898) කාලයේදී අනුරාධපුරයේ විසූ විදුරග්බෝනා නම් වූ ප්‍රභුවරයකු සතුව තිබූ විශාල ඉඩම් කිපයක්‌ ගැන ඒ රජුගේ සෙල් ලිපි කිපයකින් හෙළි වේ . මෙම සාක්‌ෂිවලින් පැහැදිලි වන්නේ අනුරාධපුර යුගයේ ආරම්භයේ සිට එහි අවසානය දක්‌වාම රජුට පමණක්‌ නොව සාමාන්‍ය වැසියාටද ඉඩම්වලට හිමිකම් කීමට හැකි වූ බවය. (රණවැල්ල,2003(163)

රජු සතුව පැවති ඉඩම් බලතල

රාජ්‍යයේ සියලු ඉඩම් අයිතිය රජුට නොතිබුනද, රජුට ඉඩම් පිළිබඳ යම් යම් අයිතිවාසිකම් හා බලතල තිබුණි. වගා කරනු ලැබු සියලු ඉඩම්වලින් බද්දක්‌ එකතු කිරීමේ අයිතිය රජු සතු විය. මේ අයිතිය පදනම් වූයේ ඔහුට තිබූ ඉඩම් හිමිකමක්‌ මත නොව රාජ්‍යයත් ජනතාවත් ඔහු විසින් ආරක්‌ෂා කරනු ලැබූ නිසාය. මීට අමතරව කැලෑ ඉඩම් සහ කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබු ඉඩම් ද රජු සතු විය. අලුත් ජනාවාස පිහිටුවීම වැනි අවස්‌ථාවලදිත්, අලුතින් ඉඩම් වගා කිරීමට අවශ්‍ය වු විටදිත් මෙම ඉඩම් රජුට අතිශයින් ප්‍රයෝජනවත් විය. පසු කාලයේදි පැවතුණු ආකාරයටම රක්‌ෂිත වන ප්‍රදේශ අභයභූමි ආදිය ද රජු යටතේ පැවතිණැයි අනුමාන කළ හැක. රජුට ස්‌වකිය අධිකාරි බලය උපයෝගි කොට රාජෙද්‍රdaහිකම් සහ වෙනත් අපරාධ කළ අයගේ ඉඩම් රාජසන්තක කිරීමට ද හැකි විය. ධාතුසේන රජු (ක්‍රි.ව.455-473) ඔහුට පෙර බලයේ සිටි ද්‍රවිඩ රජුන් පරදවා රාජ්‍යය ලබාගත් පසු ද්‍රවිඩ රජුන්ට සහයෝගය දැක්‌වූ සිංහල ප්‍රභූන්ගේ ඉඩම් රාජසන්තක කළ බව චූලවංශයේ දැක්‌වේ.(සිරිවීර,2002(258) එදා රජවරු ඉහත සඳහන් පරිදි ඉඩම්වල අයිතිකරු වශයෙන් නොව භාරකරු වශයෙන් කටයුතු කිරීමට බුදු දහමේ මග පෙන්වීමද හේතු වන්නට ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේවානම් පියතිස්‌ස මහ රජතුමාට (ක්‍රි.පූ.250-210) මෙසේ දේශනා කර ඇත. අහස්‌ කුස පියාසර කරන පක්‌ෂීන්ටද වන ලැහැ€වල ඔබ නොබ සැරිසරන සතුන්ටද මෙරට තුළ ජීවත්වීමට ඕනෑම තැනක සැරිසැරීමට ඔබට මෙන්ම අයිතියක්‌ ඇත. භූමිය මිනිසාට සහ අනෙකුත් සියලුම සතුන්ට අයිති වේ. ඔබ එහි භාරකරු පමණි.

පමුණු භුක්‌ති ක්‍රමය

අද ප්‍රවේණි ඉඩම් ලෙස හඳුන්වන ඉඩම් භුක්‌ති ක්‍රමය එදා පමුණු ඉඩම් ලෙස හඳුන්වා තිබේ. ක්‍රි.ව. නම වන ශත වර්ෂයට අයත් සෙල් ලිපිවල පමුණු ඉඩම් භුක්‌ති ක්‍රමය පිළිබඳව මුලින්ම සඳහන් වේ . ඉතාමත් පුළුල් අයිතිවාසිකම් ඇති පමුණු භුක්‌ති ක්‍රමය යටතේ පරම්පරාවෙන් පරම්පරාවට ඉඩම් භුක්‌තිය හිමි වේ . පමුණු ඉඩම් භුක්‌තිය පිළිබඳ නිශ්චිත තොරතුරු දක්‌නට ලැබෙන්නේ නම වන ශත වර්ෂයේ සිට වුවත් පරම්පරාවෙන් පරම්පරාවට ඉඩම් භුක්‌තිය හිමිවීමේ ක්‍රමය අනුරපුර යුගයේ මුල සිටම තිබී ඇත. පමුණු ඉඩම් භුක්‌තිය ලැබෙන ආකාර කීපයකි. ඉඩම් මිලදි ගැනීමෙන් පමුණු භුක්‌තිය ලැබෙන අතර පරම්පරාවෙන් ද පමුqණු භුක්‌තිය ලැබේ. රජවරුන් සහ ප්‍රභූවරුන් විහාරාරාමවලට ඉඩම් පූජා කිරීමෙන්ද එම විහාරාරාමවලට පමුණු ඉඩම් භුක්‌තිය ලැබේ. රජවරුන් විසින් පුද්ගලයන්ට කරන ඉඩම් ප්‍රදාන මගින්ද එම පුද්ගලයන්ට පමුණු ඉඩම් අයිතිය ලැෙ.ඉතාමත් පුළුල් අයිතිවාසිකම් පමුණු ඉඩම් භුක්‌තිය යටතේ ලැබෙන නිසා එම ඉඩම් වෙනුවෙන් කිසිsදු සේවාවක්‌ කිරීමට එම ඉඩම් ලැබූ අය බැඳී සිටියේ නැත. එහෙත් ඇතැම් අවස්‌ථාවලදී විහාරාරාමයකට හෝ මහජන ආයතනයකට හෝ කිසියම් ගෙවීමක්‌ කිරීමට නියම කළ අවස්‌ථා තිබුණි. මෙයින් පැහැදිලි වන්නේ ඉතාමත් පුළුල් අයිතිවාසිකම් ඇති පමුණු භුක්‌ති ක්‍රමය ඉඩම් ලැබූ අය පවා යම් යම් කොන්දේසිවලට යටත් වූ බවයි. පමුණු ඉඩම් විහාරාරාමවලට පූජා කළවිට අඛණ්‌ඩවම එම ඉඩම් විහාරාරාම සතු වූ සාංඝික දේපල විය. (ibid:263)

අඳ සහ උගස්‌ භුක්‌ති ක්‍රම

අඳ භුක්‌ති ක්‍රමයේදී සිදුවන්නේ අස්‌වැන්නෙන් භාගයක්‌ දෙන ක්‍රමයකට ස්‌වකීය ඉඩම් වගා කරවා ගැනීමයි . අඳ යන පදය සංස්‌කෘත අර්ධ පාලි අඩ්ඪ යන පද වලින් බිඳී ආ පදයකි. මෙම අඳ භුක්‌ති ක්‍රමය පිළිබඳව දහතුන්වන ශත වර්ෂයට අයත් සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වේ. එසේම මෙම ක්‍රමය දහතුන්වන ශත වර්ෂයට පෙර සිටම පැවතියේද යන්න නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි බව සඳහන් වේ. දහතුන්වන ශත වර්ෂයට පසුව වෙළඳාම පුළුල් වීම වැනි ආර්ථිකයේ ඇති වූ තත්ත්වයන් මෙම අඳ ක්‍රමය ප්‍රචලිත වන්නට හේතු වන්නට ඇත . වෙළඳාමේ නිරත වු අයට මෙන්ම ගොවිතැන හැර වෙනත් රැකියාවක නිරත වූ අයටද මෙම අඳ ක්‍රමය යටතේ තම ඉඩම්වගා කරවා ගැනිමට හැකි විය. පූජාවලියේ තුනෙන් අඳේ යන පදය යෙදී ඇති අතර ඉන් අදහස්‌ වන්නේ වගා කළ අයට අස්‌වැන්නෙන් තුනෙන් දෙකක්‌ හා ඉඩම් හිමියාට තුනෙන් එක්‌ කොටසක්‌ ලැබීම බව සඳහන් වේ. මෙම ක්‍රමය පෙර සිටම තරමක්‌ දුරකට පැවති දහතුන්වන සියවසේදි ස්‌ථාවර වූවා යෑයි සැලකේ.(ibid:265)

ඉඩම් උගස්‌ කර මුදල් ලබාගෙන පසු කාලයක පොලිය සමග මුල් මුදල ආපසු ගෙවා උගස්‌ කළ ඉඩම බේරා ගැනීම වර්තමාන භුක්‌ති ක්‍රමය යටතේ දැකිය හැක. ඉඩම් උගස්‌ කිරීමේ ක්‍රමය නමවන හා දහවන සිය වස්‌ වල පැවැති බවට සෙල් ලිපි ඉඟිs කර ඇත. එහෙත් චංචල දේපල උගස්‌ කළ බව බුත්සරණ සද්ධර්මාලංකාරය වැනි සාහිත්‍ය කෘතිවල සඳහන් වුවද ඉඩම් උගස්‌ කිරීම පිළිබඳ කිසිවක්‌ සඳහන් නොවේ. කෙසේ වුවද මෙහිදී වඩාත් නිවැරදි වන්නේ නමවන හා දහවන සියවස්‌වල සිටම භුක්‌ති ක්‍රමයේ අංගයක්‌ වශයෙන් මෙම ඉඩම් උගස්‌ කිරීමේ ක්‍රමයද පැවති බවට නිගමනය කිරීම වඩාත් නිවැරදි බවයි. (ibid:266)

දිවෙල් භුක්‌ති ක්‍රමය

පුරාතන ශ්‍රි ලංකා ආර්ථිකයේ මුදල් භාවිතය තිබුණ ද රාජ්‍ය සේවයේ යෙදී සිටි නිලධාරීන්ට ගෙවීම් කරන ලද්දේ ඉඩම් පැවරීමෙනි. අනුරපුර යුගයේ මුල් කාලයේ සිටම එම ඉඩම් පැවරීමේ ක්‍රමය පැවත එන්නට ඇති නමුත් ඒ පිළිබඳ නිශ්චිත සාක්‌ෂි දක්‌නට ලැබෙන්නේ ක්‍රි.ව. නමවන ශත වර්ෂයෙන් පසුව බව පෙනේ. සංස්‌කෘත ජීවිsත සහ පාලි ජීවන යන පදවලට සමාන දිවෙල් යන පදයේ තේරුම වන්නේ ජිවිතය, පැවත්ම,නඩත්තුව යන්නයි. මෙම දිවෙල් ඉඩම් භුක්‌ති විඳීමේ අවසරය එම ඉඩම් ප්‍රදානය ලැබූ පුද්ගලයා සතු වූයේ ඔහු රජයේ නිලධාරියකු වී සිටින තාක්‌ කල් පමණි. එහෙත් ඔහුගේ පරපුරේ අනුප්‍රාප්තිකයන් එම සේවාවන් අඛණ්‌ඩව ඉටු කරන්නේ නම් ඔවුන්ටද එම භුක්‌තිය ලැෙ€ . දිවෙල් ඉඩම් පවරා දී ඇත්තේ රජයේ නිලධාරීන්ට පමණක්‌ නොවේ. රජ මාලිගාවට විවිධ භාණ්‌ඩ හා නිත්‍ය සේවාවන් සපයන පුද්ගලයන්ටද දිවෙල් ඉඩම් පවරා දී ඇත.(සඉසා)

දිවෙල් ඉඩම් ප්‍රදානය කරන අවස්‌ථා දෙකක්‌ ගැන සඳහන් වේ. පළමු ක්‍රමය යටතේ රජු විසින් වගා කරන ලද හෝ රජුට අයිති වෙනත් ඉඩම් හෝ දිවෙල් ඉඩම් ලෙස ප්‍රදානය නරනු ලැෙ€. මෙබඳු ඉඩම් ලැබුණු අයට එම ඉඩම් වගාකර භුක්‌ති විඳිය හැක. එහෙත් එම ඉඩම්වල අයිතිය රජු සතුවේ. දෙවෙනි ක්‍රමය වන්නේ සාමාන්‍ය ජනතාව සතු ඉඩම් රජු විසින් දිවෙල් ඉඩම් ලෙස ප්‍රදානය කිරීමයි. දෙවන ක්‍රමය යටතේ සිදු වන්නේ එතෙක්‌ කල් රජතුමා වෙත ලැබුණු බද්ද, දිවෙල් ලද්දාට ලැබීමයි. ඒ අනුව එම බද්ද, දිවෙල් ලද්දාගේ ආදායම වෙයි .එම කවර ක්‍රමයට දිවෙල් ඉඩම් ලැබුණ ද එම ඉඩම් දිවෙල් ලද්දාට භුක්‌ති දිය හැක්‌කේ ඔහු රජයේ සේවයේ සිටින තාක්‌ කල් පමණි. දිවෙල් ඉඩම්වල ප්‍රමාණය ඒ ඒ නිලධාරියාගේ තරාතිරම අනුව තීරණය වන අතර ප්‍රධාන නිලතල දරණ අයට විශාල ඉඩම් ප්‍රමාණයක්‌ ලැබුණි . එම නිසා ඉහළ තනතුරු දරන අයට පදිංචිකරුවන් හෝ වගාකරුවන් කෙරෙහි වැඩි බලපෑමක්‌ කිරීමට හැකි විය . (ibid:267)

ඉඩම් භුක්‌තිය පැවරිමේ ක්‍රියා පිළිවෙත්

පුද්ගලයන් දෙදෙනකු අතර වු ඉඩම් ගනුදෙනු පිළිබඳ දීර්ඝ වාර්තා අල්ප වුවත් රජුන් සහ ප්‍රභුන් විසින් ආගමික ආයතන වලට කරන ලද ප්‍රදාන පිළිබඳවත්, ඇතැම් විට රජුන් විසින් විශේෂ සේවාවන් කළ පුද්ගලයන්ට කරන ලද ඉඩම් ප්‍රදාන පිළිබඳවත් සෑහෙන තරම් තොරතුරු ඇත. විශේෂයෙන් මේවාට අදාළ සාක්‌ෂි සහ මූලාශ්‍ර පොලොන්නරු රාජධානි සමයේ ආරම්භයේ සිට දක්‌නට ලැෙ€. මෙම සාක්‌ෂි තල්පත්වල ලියා තබන ලද බව නිගමනය කිරීමට පිළිවන. ඉතා වැදගත් පැවරීම් රජවරු සහ ප්‍රභුන් විසින් තල්පත්වල පමණක්‌ නොව සෙල් ලිපිවලද දක්‌වා ඇත. කෙසේ වෙතත් අනුරපුර සමාජයද අක්‌ෂර භාවිතය දැන සිටීමෙන්ම උගතුන්ගෙන් සමන්විත වූද සමාජයක්‌ බව පෙන්නුම් කරයි . සීගිරි කුරුටු ගි තුළින්ද හෙළි වන්නේ රටේ විවිධ ප්‍රදේශයන්හි විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන් කාව්‍ය ප්‍රබන්ධයට තරම් හැකියාවක්‌ හා උගත්කමක්‌ සතුව සිටි බවයි. එබඳු සමාජ රටාවක ඉඩම් ගනුදෙනු ලියා තබන ලද ක්‍රමයක්‌ නො පැවතිණැයි සිතිය නොහැක . (ibid:260ල261)

රජුන් විසින් බොහෝ විට ප්‍රදානයන් සිදු කර ඇත්තේ රාජද සභාවේදි ආර්යාව කියවීමෙනි. පසුව අදාළ නිලධාරින් විසින් ලබන්නාගේ අත් මත පැන් වත්කර සහ ප්‍රදානය පිළිබඳ වාර්තා තැබිමෙන් අදාළ ප්‍රදානය ක්‍රියාත්මක කර තිබේ. අති විශේෂ ඉඩම් ප්‍රදානයන් හා වෙනත් වරප්‍රසාද පැවරීමේදි රජතුමා විසින්ම රාජසභාවේදී ප්‍රදානය ලබන්නාගේ අත මත පැන් වත්කර එම කාර්ය සිදු කර ඇත . ක්‍රි.ව. නම වන සියවසෙන් පසුව ඇති සෙල් ලිපිවල ඉඩම් පැවරූ අය, ඉඩම් පැවරීම ලැබු අය පමණක්‌ නොව සාක්‌ෂිකරුවන් ගැන පවා විස්‌තර ඇතුළත්ව තිබේ. ඇතැම් අවස්‌ථාවල නිශ්චිත මායිම් පවා සඳහන් කර ඇත. මෙම මායිම් සඳහන් කර ඇත්තේ වර්තමාන ඔප්පුවල දිසාවන් සඳහන් කරන පරිදි උතුර, නැගෙනහිර, දකුණ සහ බටහිර වශයෙන් නොව නැගෙනහිර ,දකුණ , බටහිර සහ උතුර යන අනුපිළිවෙලිsනි. (සඉසා) ඉර පායන දිසාව අනුව නැගෙනහිර පළමුවෙන් ලකුණු කිරීම අතීතයේදි සිදු වන්නට ඇත . දාහත්වන ශත වර්ෂයේදී උඩරට රාජධානියේ එදා පැවති ඉඩම් මිලදි ගැනීමේ විධි ක්‍රමය රොබට්‌ නොක්‌ස්‌ මෙසේ විස්‌තර කරයි . මෙම ඉඩම් මිලදි ගැනීමේ නියමය අවසාන වරටත් ස්‌ථිර කර ගැනීමෙන් පසු එරටේ සිරිත අනුව තල්පතක ඒ බව ලියා නගරයේ වැසි උසස්‌ම පංතියේ රටවැසියන් හත් අට දෙනකුගේ අත්සන් සාක්‌ෂි හැටියට තබා, එම තල්පත මට දෙන ලදි . එය භාර ගෙන නියමිත මුදල ගෙවා මම ඉඩමේ භුක්‌තිය භාර ගතිමි. මෙම ඉඩම කන්දඋඩ රාජධානිනේ සැතපුම් දහයක්‌ පමණ දකුණෙහි උඩුනුවර රටෙහි ඇලදැත්ත නම් ග්‍රාමයේ පිහිටියේය . (එදා හෙළදිව,පිටුව327)

උඩරට රාජධානියේ පැවති තත්ත්වය

දහසය වැනි සියවසේදී දිවයිනේ රාජධානි කීපයක්‌ බිහි වී තිබුණු අතර උඩරට රාජධානිය දිවයිනේ වැඩි භූමි ප්‍රදේශයක්‌ පාලනය කළේය. මෙහිදී පෘතුගීසීන් හා ලන්දේසීන් පාලනය කළ මුහුදුබඩ ප්‍රදේශ හැර උඩරට රාජධානියේ එදා පැවති ඉඩම් භුක්‌ති ක්‍රමය පමණක්‌ විමසා බලනු ලැෙ€. කන්ද උඩරට රාජ්‍යය තුළ පිහිටි ප්‍රයෝජනයට ගන්නා ලද ඉඩම් ප්‍රධාන වශයෙන් කොටස්‌ තුනකට බෙදිය හැකි බව මහාචාර්ය උක්‌කුබණ්‌ඩා කරුණානන්ද මහතා සඳහන් කරයි . ගබඩාගම් නමින් හැඳින්වූ රජතුමාගේ ප්‍රයෝජනය සඳහා වෙන් කළ ඉඩම් පළමු කොටසට අයත් වූ අතර දෙවන කොටසට , නිලධාරීන්ට ප්‍රදානය කළ නින්දගම් , විහාර සඳහා පූජා කළ විහාරගම් හා දේවාලගම් ඇතුළත් විය. තුන්වෙනි කොටසට අයත් වූයේ ගැමියන් විසින් නිදහසේ භුක්‌ති විඳින ලද ඉඩම්ය. ගබඩාගමක රජවාසල ප්‍රයෝජනය සඳහා වෙන් වූ ඉඩම් කොටස්‌ මුත්තෙට්‌ටුව නමින්ද මුත්තෙට්‌ටුව වගා කළ අය භුක්‌ති විඳි ඉඩම්කොටස්‌ නිලපංගු නමින් ද හඳුන්වන ලදී. එමෙන්ම නින්දගම්, විහාරගම් , දේවාලගම් සහ දළදා මාලිගාව ආදියෙහි සේවය සඳහා වෙන් වුණු කොටස්‌ද නිලපංගු වශයෙන් හැඳින්වුණු අතර ඒ සේවය ඉටු කළ අය නිලකාරයන් ලෙස හැඳින්වුණි. (කරුණානන්ද,2007(265)

පූර්ව යටත් විජිත යුගයේදී ශ්‍රී ලංකාවේ ඉඩම් භුක්‌ති ක්‍රමය සංකීර්ණ වූත් එහෙත් විධිමත් වූත් ක්‍රමයක්‌ බව අපි සඳහන් කළෙමු. ප්‍රශස්‌ථ හා තිරසාර ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක්‌ මත එදා අනුරපුර යුගයේ ඉඩම් භුක්‌ති ක්‍රමය ක්‍රියාත්මක වී තිබේ. සීමිත වර්ෂාපතනයක්‌ සහිත වියළි කලාපයේ කුඹුරු දෙකන්නම අස්‌වැද්දන ආකාරයට එල්ලංගා පද්ධතිය හා බැඳුනු වාරිමාර්ග ශිෂ්ටාචාරය ප්‍රශස්‌ථ හා තිරසාර ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක ප්‍රතිඵලය බවද මෙහිදි සඳහන් කළ හැක. මෙම ප්‍රශස්‌ථ හා තිරසාර එවගේම විද්‍යානුකූල ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියට සමස්‌ත භුමියම සැලකිල්ලට ගනිමින් පිළියෙල වූවකි. වසර පුරා ජලය තිබුණේ මධ්‍ය කඳුකරයෙන් ගලා බසින ගංගාවල පමණි. එම නිසා මධ්‍ය කඳුකරයේ පරිසරය රැක ගැනීමද එදා පැවති ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියේ කොටසක්‌ විය. මේ අනුව එදා අනුරපුර යුගයේ සිට පැවත ආ ඉඩම් භුක්‌ති ක්‍රමය පරිසරය රැක ගැනීමද ඇතුළත් වූ ප්‍රශස්‌ථ හා තිරසාර ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක්‌ තුළ ක්‍රියාත්මක වී ඇති බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

ආශ්‍රිත ග්‍රන්ථ

1. මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීsර,රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි, දෙවන මුද්‍රණය .

(දයාවංශ ජයකොඩි සහ සමාගම,2002)

2. මහාචාර්ය කේ.එම්.ඩි.සිල්වා "A History of Sri Lanka, Srcond Edition' (Vjitha Yapa Publication,2008)

3. මහාචාර්ය සිරිමල් රණවැල්ල, ශ්‍රී ලංකාවේ ඉතිහාසය (පළමු වන කොටස) තෙවන මුද්‍රණය

(අධ්‍යාපන දෙපාර්තමේන්තුවල 2003)

4. මහාචාර්ය උක්‌කුබණ්‌ඩා කරුණානන්ද, ශ්‍රි ලංකාවේ ඉතිහාසය (තුන් වන කොටස) තෙවන මුද්‍රණය

(අධ්‍යාපන දෙපාර්තමේන්තුවල 2007)

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.