නෝර්වේ සාම ක්‍රියාදාමයට සුදුහුණු ගෑමට පැමිණි මාර්ක්‌ සෝල්ටර්

*  2/3 වෙරළ ප්‍රදේශය සමග අන්තර් වාර පාලනයක්‌ කොටින්ට නොදීම වැරදි ක්‍රියාවක්‌
* සාම ක්‍රියාදාමය බිඳ දැමුවේ නෝර්වේ සහ කොටි නොවෙයි - ශ්‍රී ලංකා රජයයි

වන්නි මෙහෙයුමින් කොටි සංවිධානය පරාජය වී හත්වසරක්‌ සපිරීමට ආසන්න අවස්‌ථාවේ ස්‌විඩනයේ සිටි අංක එකේ බොරුකාරයෙක්‌ මෙරටට පැමිණ හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් හා කොටි සංවිධානයට සුදුහුණු ගෑමට ඉදිරිපත් විය. එරික්‌ සෝල්හයිම් තම කිළිටි වූ චරිතයට සුදුහුණු ගෑමට තෝරාගන්නේ හිටපු බී. බී. සී. වාර්තාකරුවකු වූ මාර්ක්‌ සෝල්ටර්ය. සෝල්ටර්ව මෙරටට ගෙන්නුවේ නෝර්වේ රජයෙන් අරමුදල් ලැබූ ජාතික සාම මණ්‌ඩලය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයයි. නෝර්වේ රජය 2002 පෙබරවාරි 21 සහ 22 දියත් කළ සාම ක්‍රියාදාමයේ වරදකරුවන් කව්දැයි සෝල්ටර් හෙලි කළේය. සාම ක්‍රියාදාමය බිඳ දැමුවේ එවකට පැවැති ශ්‍රී ලංකා රජය බව මාර්ක්‌ සෝල්ටර් කැකිල්ලේ තීන්දුවක්‌ දුන්නේය. මෙරට දැන් පවතින තත්ත්වය මත රාජ්‍ය නොවන සංවිධාන බලවත් වී ඇත.

මේ නිසා ඊනියා සාම ක්‍රියාදාමය පසුබිමේ සිදු වූ බිහිසුණු ක්‍රියා වසන් කරලීම සඳහා මාර්ක්‌ සෝල්ටර් වැන්නවුන් මෙරටට ගෙන්වා සත්‍යය වසන් කිරීමට එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් උත්සාහ කරති. එය වඩාත් පහසු වී ඇත්තේ 2002 මාධ්‍ය ක්‍ෂේත්‍රයට වඩා 2016 තුළ නවක මාධ්‍ය පාර්ශව ක්‍රියාත්මක වීමත් ඔවුන් අතීතය ගැන නොදැනීමත්ය.

2003 අප්‍රේල් 14 වැනිදා ආධාර කණ්‌ඩායමේ රටවල සාකච්ඡාවක්‌ ඇමරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වුණා. නමුත් රජය එම රැස්‌වීමට කොටින්ට යන්න දුන්නේ නැහැ. සාම ක්‍රියාදාමයේ මුල් අදියර එදා බිඳ වැටුණා යෑයි සෝල්ටර් කියා සිටියේය. 2003 නොවැම්බර් 1 දා කොටි අන්තර්වාර පාලන අධිකාරිය පිහිටුවීමේ යෝජනාව රජයට ඉදිරිපත් කළත් රජය ඊට එකඟ වුණේ නැහැ. නෝර්වේ සාම ක්‍රියාදාමය 2 වැනි වරටත් බි'ඳ වැටුණා යෑයි සෝල්ටර් පළ කළේය.

එහෙත් අන්තර්වාර පාලන අධිකාරිය යනු රටේ 2/3 ක මුහුදු කලාපය ලබා දෙන ලෙස කොටි කළ ඉල්ලීමයි. ඊළඟට සෝල්ටර් පැවසූවේ සුනාමි සහන මණ්‌ඩලය ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියා නොකළ බවයි.

එසේ වූවත් සත්‍යය නම් ජනතා විමුක්‌ති පෙරමුණ එකී සුනාමි සහන මණ්‌ඩලයට එරෙහිව අධිකරණ නියෝගයක්‌ ලබා ගැනීමයි.

මෙලෙස කොටි ඉල්ලීම් ඉටු කිරීමට රජය ක්‍රියා නොකිරීම නිසා සාම ක්‍රියාදාමය බිඳ වැටුණ බව දක්‌වමින් නෝවිජියානුවන් සහ කොටි අත වරදක්‌ නැති බව පෙන්නුම් කිරීමට මාර්ක්‌ සෝල්ටර් ක්‍රියා කළේය.

කොටි සංවිධානය නෝර්වේ සාම ක්‍රියාදාමය පවත්වාගෙන ගියේ රටේ යුද ශක්‌තිය තර කිරීමටයි. මම තායිලන්තයේ සාකච්ඡාවට යන විට ප්‍රභාකරන් ආයුධ වර්ග 400 ක ලැයිස්‌තුවක්‌ දී එය කේ. පී. ට ලබාදෙන ලෙස කියා සිටියා යෑයි විනයගමූර්ති කරුණා කියා සිටියේය.

එරික්‌ සෝල්හයිම් ශුද්ධවන්තයකු කිරීම සඳහා ඉහත කී සාවද්‍ය කරුණු පැවසූ මාර්ක්‌ සෝල්ටර් ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්ධන් හා නැගෙනහිර කොටි නායකයා වූ කරුණා අම්මාන්ගෙන් කරුණු විමසා නැත.

විදේශ ඇමැති ලක්‌ෂ්මන් කදිරගාමර් සහ දෙහිවල පොලිසියේ ත්‍රස්‌ත මර්දන ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂක තාබෲ ඝාතනය වුයෙත් සාම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන අවස්‌ථාවේය.

කොළඹ කින්සි පාරේ වාර්ගික අධ්‍යයන ආයතනයේදී දේශනයක්‌ පැවැත්වූ මාර්ක්‌ සෝල්ටර් ඉංග්‍රීසි කතා කරන කොළඹ එන්. ජී. ඕ. කල්ලිය හා ඔවුන්ගේ යාවජීව ක්‍රියාකාරීන් අමතා නෝර්වේ සාම ක්‍රියාදාමයට සම්බන්ධ වූ තොරතුරු වසන් කර නෝවිජියානුවන් බේරා ගැනීමට උත්සාහ කළත් මෙරට බහුතරයට අතීතය අමතක වේ යෑයි කිව හැකිද? සෝල්ටර් මෙරටට පැමිණියේ එරික්‌ සෝල්හයිම් කළ ප්‍රකාශ ඇතුළත් ග්‍රන්ථය එළිදැක්‌වීමටය.

කොටි සමග යුද කරන්න බැහැ. ශ්‍රී ලංකා හමුදාව පරාජය වන බව පැවසූවේ එරික්‌ සෝල්හයිම්ය. එවැනි ප්‍රකාශයක්‌ කළ සෝල්හයිම් වැන්නකු මාර්ක්‌ සෝල්ටර් ලවා ග්‍රන්ථයක්‌ නිර්මාණය කළේ සිය අතීත පව්වලින් අතසෝදා ගැනීමට නොවේද?

සාම ගිවිසුමට මුවාවී කොටි ප්ලොට්‌ සාමාජිකයන් මරනවා. මම මේ බව සෝල්හයිම්ට පැවසූවත් ඔහු තැකීමක්‌ කළේ නැහැ යෑයි ප්ලොට්‌ නායක සිද්ධාර්ථන් වරක්‌ කියා සිටියේය.

සෝල්හයිම් විසින් මාර්ක්‌ සෝල්ටර් වැන්නකු ලවා මෙවන් ග්‍රන්ථයක්‌ නිර්මාණය කළේ ශ්‍රී ලංකාවේ සටන් විරාම සමයේ සිදු වූ බිහිසුණු සිදුවීම් වසන් කිරීමේ අරමුණෙනි. ඒ එකී බිහිසුණු ක්‍රියාදාමයන්ට මාර්ක්‌ සෝල්ටර්ද වගකිව යුතු නිසාය. 2012 වසරේදී හිටපු නෝවිජියානු නිලධාරියකු වූ විදාර් හෙල්ඡේසන් නෝර්වේ සාම ක්‍රියාදාමය පිළිබඳ විමර්ශනයක්‌ කිරීමේ යෝජනාවක්‌ නෝර්වේ රජයට ඉදිරිපත් කර තිබුණි. ඊට එරික්‌ සෝල්හයිම්ද සම්බන්ධ විය. පසුව විදාර් හෙල්ඡේසන් අයි. සී. ඊ. ඒ. නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ මහාලේකම් විය. මේ රාජ්‍ය නොවන සංවිධානයේ සංහිදියාව පිළිබඳව කටයුතු කිරීමේ නිලධාරියකු වූයේ මාර්ක්‌ සෝල්ටර්ය. ශ්‍රී ලංකාව සම්බන්ධව නිරීක්‍ෂණය කිරීමද සෝල්ටර්ගේ කාර්ය පටිපාටියට අයත් විය.

මාර්ක්‌ සෝල්ටර් සහ එරික්‌ සෝල්හයිම් තමිල්නාඩුවේ චෙන්නායි නුවරට පැමිණ නෝර්වේ රජයට එල්ල වී ඇති චෝදනාවලින්a බේරීමට උත්සාහ කරනු ලැබීය.

එහෙත් තමිල්නාඩුවේ හින්දු පත්‍රයේ හිටපු කර්තෘ රාම් විසින් සෝල්හයිම් හා සෝල්ටර් හමුවේ ප්‍රකාශයක්‌ කරමින් රජිව් ගාන්ධි ඝාතනයෙන් පසු ප්‍රභාකරන්ගේ ක්‍රියාදාමයන් තේරුම් ගැනීමට නෝර්වේ රජය ක්‍රියා කළේ නැතැයි කීවේය.

එම තත්ත්වය මත නෝර්වේ රජය විසින් ප්‍රභාකරන් හා ශ්‍රී ලංකා රජය සම තත්ත්වයට පත් නොකිරීමට ක්‍රියා කළ යුතුව තිබූ බවද රාම් පළ කළේය.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.