මහාවංශයේ ඇත්ත යළිත් ඔප්පු කළ
දෙමළ මහා සෑය

ජානක ලියනආරච්චි

කටුකොහොල් හරින ලද දෙමළ මහා සෑය

දෙමළ මහා සෑය පොළොන්නරු යුගය පුදුමයක්‌ බවට පත්කළ ඓතිහාසික මහා දාගැබය. මේ දාගැබ ගැන මහාවංශය කියන කතාවක්‌ ඇත්තේය. එහි 78 වැනි පරිච්ඡේදයේ 79 - 81 ගාථා මහා පැරකුම්බාවන් මේ උත්තුංග සෑය හදපු හැටි ගැන සඳහන් වන්නේය. ඒ ස`දහන මෙසේය.

''පඬි රජය ගෙණ ඒ රටින් ගෙනෙන ලද දෙමළුන් ලවා කරවූ බැවින් දෙමළ මහා සෑය නම්ලත් රියන් 1300 ක්‌ විශාල වූ, සියලු ස්‌ථූපයන්ට මහත්වූ, දෙවෙනි කෛලාශය ඒ සමාන වූ මහා සෑයක්‌ රහතුන්ගේ සෘද්ධියෙක්‌ද, දේව සෘද්ධියෙක්‌ද, නැතිව මහත් වූ රාජ සෘද්ධියෙන්ම කරවූයේය.''

පරාක්‍රමබාහු රජතුමා සංග්‍රාමාවලියක්‌ කළ රජ කෙනෙකි. ඒ සංග්‍රාම වික්‍රමයන් ආසන්න විදේශයන් වෙතද ගලා ගියේය. වංශ කතා අනුව පැරකුම්බාවන්ගේ අණින් ඉන්දීය පාණ්‌ඩ්‍යයන්ට සහාය පිණිස සිංහල සේනා මෙහෙයවූ ලංකාපුර නමැති සෙනවියා සංග්‍රාම දික්‌විජය කර චෝල ජාතිකයන් 12,000 ක්‌ ලංකාවට රැගෙන ආවේය. මධ්‍යකාලීන ලෝකයේ ප්‍රධානම ශක්‌ති ප්‍රභවය වූයේ මිනිස්‌ ශ්‍රමයය. ඒ වකවානුවේ යුද සිරකරුවන්ගේ ශ්‍රමය විවිධ සංවර්ධන ඉලක්‌ක ස`දහා යොදවා ගැනීම ලෝක සම්මතය වී තිබිණි. මහා වංශය ප්‍රකාරව ද්‍රවිඩ ආක්‍රමණිකයන් අතින් ශතවර්ෂාධික කාලයක්‌ තිස්‌සේ වැනසී ගිය මහාසෑය ප්‍රමුඛ පුරාණ අනුරාධපුර රාජධානිය පැරකුම්බාවන් විසින් ප්‍රතිසංස්‌කරණය කරන්නේ මේ යුද සිරකරුවන්ගේ ශ්‍රමයෙනි. දෙමළ මහා සෑයත් ඔවුන්ගේ ශ්‍රමයෙන් ගොඩනැගුනකි. මහාවංශ කියන්නේ මේ සෑය සියලු ස්‌ථූපයන්ට වඩා මහත් වූ බවය. එය දෙවැනි කෛලාස කූඨය වූ බවය. සාහිත්‍යයේ කියෑවෙන පරිදි කෛලාස කූඨය හෙවත් කෙලෙස්‌ පව්ව පිහිටා ඇත්තේ හිමාලය කඳුවැටියේය. ශිව දෙවියන් මෙන්ම කුව්රයා වැඩ ඉන්නේත් මේ පවුවේය. දෙමළ මහාසෑය ඒ තරම් මනරම්, ප්‍රෙෘඪ එකක්‌ වූ බව මහාවංශකරුවා කියන්නේය.

ඒ කෙසේ වෙතත් මෑතක්‌ වනතුරුම තිබුණේ තේරුම්ගන්නට බැරි අණ්‌ඩර දෙමළයක්‌ ලෙසය. මහාවංශය කිසිම තැනක දෙමළ මහා සෑය අඩක්‌ නිමකළ දාගැබක්‌ බව කියන්නේ නැත. වංශකතා කරුවා කියන්නේ කෙලෙස්‌ පව්ව තරම් අපූරු පිළිවෙලකට එය තිබුණු බවය. මේ වාස්‌තුවිද්‍යා විචිත්‍රත්වය වටහා නොගන්න ඇත්තන් කියමින් සිටියේ දෙමළ මහා සෑය පොළොන්නරුවේ තිබුණු වැඩ අවසන් නොකළ මහා දාගැබ බවය.

මේ දැවැන්ත දාගැබ සංරක්‌ෂණය කිරිම මධ්‍යම සංස්‌කෘතික අරමුදල විසින් මීට අවුරුඳු තිස්‌ හතරකට පෙර ආරම්භ කළේය. ඒ වර්ෂ 1982 දීය. ඒ සංරක්‌ෂණ කටයුත්ත නොබෝ කලකින්ම නැවතුණේය. දෙමළ මහා සෑය සල්ලාලයන්ගේ ද, මිනී මරුවන්ගේද, මස්‌ වැද්දන්ගේද, ගංජා කාරයන්ගේද ගුබ්බෑයමක්‌ වූ කඳු ගැටයක්‌ සහිත වනාන්තරයක්‌ වූයේය. මේ නටබුන් දාගැබ අඩි 1950 ක වට ප්‍රමාණයකින් යුක්‌ත විය. සෑයේ උස අඩි 625 ක්‌ සේ සැලකිනි. මෙම දාගැබ නැවත සංරක්‌ෂණය ඇරඹුණේ වර්ෂ 2014 මාර්තු 06 වැනිදාය. රාජපක්‌ෂ ආණ්‌ඩුව කාලයේය. සෑයෙන් හතරෙන් එක්‌ක සංරක්‌ෂණය කිරීම මෙහි මුල් අදියර විය.

දාගැබ සංරක්‌ෂණය කිරීම ස`දහා දත්ත පාදා ගැනීමට පර්යේෂණ කැණීමක්‌ ආරම්භ විය. කැණීම් භාර උපදේශකවරයා වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්‌ෂවරයා වූ ආචාර්ය නිමල් පෙරේරාය. මේ කැණීමත් සමග දෙමළ මහා සෑයේ සැඟවී තිබූ විචිත්‍ර අතීතය හෙළිදරව් විය. ආචාර්ය නිමල් පෙරේරා මෙතැන් සිට අපට කියන්නේ දෙමළ මහා සෑයේ වාස්‌තු විද්‍යා විශ්මය ය.

''දෙමළ මහා සෑය ජාතික වශයෙන්a ඉතා වැදගත් පුරාවිද්‍යා ස්‌මාරකයක්‌. වර්ෂ 1982 දී මේ ස්‌ථූප සංරක්‌ෂණය සඳහා සීමිත කැණීම් කළත් දාගැබේ ස්‌වරූපය මොකක්‌ද කියලා හරියට වැටහීමක්‌ ඇතිකරගන්න පර්යේක්‌ෂකයන්ට බැරිවෙලා තිබුණා.

මා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයෙන් විශ්‍රාම ගිය පසු විධිමත් පරීක්‌ෂණ කැණීමක්‌ කරන්න කැමැත්තෙන් හිටියෙ. ඒ අතර තමයි මේ වගකීම පැවරුණේ. අපි මුලින්ම පරීක්‌ෂණ කැණීමකට සැලසුම් කළා. දාගැබ කොටස්‌ 4 ට බෙදුවා. නටබුන් ස්‌වරූප අනුව අප මේ දාගැබේ හැඩය ගැන යම් අවබෝධයක්‌ ඇතිකරගෙන හිටියෙ. අපි දැක්‌කා දාගැබේ ගර්භය මදක්‌ දුරට බැඳගෙන ගිහින් ගර්භය සමතල කර නිර්මාණය කළ පීඨිකාවක්‌. ඒ පීඨිකාව මත පුංචි දාගැබක්‌ හදලා තිබුණා. අපි ඒ කුඩා දාගැබේ සිට මීටර් 3 ක්‌ පළල 3 ක්‌ ගැඹුර පරීක්‌ෂණ අගලක කැණීමක්‌ කරන්න පටන් ගත්තා. මේ පර්යේෂණය කරනු ලැබුවේ පහුගිය පර්යේෂණයන්හි දත්ත සියල්ල අමතක කරලා.

අප හමුවෙ තිබුණෙ අතිශය දැවැන්ත දාගැබක්‌. දාගැබේ වපසරිය ගත්තොත් අක්‌කර 5 ආසන්න ප්‍රමාණයක්‌ පැතිරිලා තියනවා. පර්යේෂණ කැණීම කරනකොට අපට වැටහෙන්න ගත්තා මේක නම් අපි හිතන විදිහේ දාගැබක්‌ නොවෙයි කියලා. මේ ඉදිකිරීමේ එතරම්ම විචිත්‍ර සංකීර්ණ ස්‌වරූපයක්‌ තිබුණා.

මේ කැණීමෙදී අපේ වාසනාවකට අපට හමුවුණා පරණ පර්යේෂණ කැණීමක්‌. ඒක කරලා තිබුණෙ වර්ෂ 1988 දී විතර. ඒ පර්යේෂණ කරපු තැන හාරගෙන යනකොට තුන්වෙනි අදියරේදී හමුවුණා පර්යේෂකයන් තැන්පත් කරපු සලකුණු සහිත ගලක්‌. කැණීමක පිහිටි පොළොව හමුවුණාම එවැනි සලකුණු සහිත සිමෙන්ති ගලක්‌ වැළලීම පර්යේෂණ නියමයක්‌.

මෙතැනදී අපට සැකයක්‌ ඇතිවුණා. කලින් පර්යේaෂකයන් පිහිටි පොළොව සේ උපකල්පනය කරපු භූමියෙ තිබුණෙ බොරලු තට්‌ටුවක්‌. පරිසර පුරාවිද්‍යා දැනුමක්‌ තියන කෙනෙක්‌ දන්නවා වර්ෂා ජලයෙන් සේදී යන බොරළු පහළ තැනක තමයි තැන්පත් වෙන්නෙ කියලා. අපට තේරුණා මේ තියෙන්නෙ පිහිටි පොළොව නෙමෙයි කියලා. අපි සිමෙන්ති ගල හමුවූ තැනේ සිට මීටරයක්‌ යටට කැණීම් කළා. මේ මතුවෙමින් තිබුණෙ බොරලු තට්‌ටු තමයි. නමුත් ඒවා මිනිස්‌සු විසින් දාපු බොරලු. මඩත් එක්‌ක බොරලු දාලා අඩිය අ`ගලට තලලපු බොරලු. එක බොරලු තට්‌ටුවක බොරලු සෙමී 7 ක්‌ උසයි. ඊට පස්‌සෙ තියෙන්නෙ වැව් මඩ. ඒ බොරළු මඩ ඇත්තු දාලා තලලා. පරාක්‍රමබාහු රඡ්ජුරුවො වැවෙන් ඉවත් කරන පස්‌ පිඩක්‌වත් අහක දාලා නෑ. එදා පර්යේෂණ කැණීම කරපු අය මේක බොරළු කන්දක්‌ කියලා කිවුවෙ මේ සාධකය හරියට වටහා ගන්නෙ නැතිව.

අපට කන්ද මුදුනෙන් ලැබුණා ස්‌වභාවික තිරුවාණ ගලක්‌. මේ තියෙන්නෙ ස්‌වභාවික තිරිවානා කන්දක්‌. හරියට තිරුවාන කන්ද මුදුනෙ කුඩා දාගැබ හදලා. එහෙමනම් තිරුවාන කන්දෙ පහළ මට්‌ටම තිබෙන්න ඕන පේසා වළලු පිහිටලා. කන්දෙ පහළ මට්‌ටමේ කළ පර්යේණ කැණීමෙන් ඉතාම පැහැදිලිsව පෙණුනා තිරිවානා සහිත පිහිටි පොළොව.

දාගැබ නිර්මාණය වෙලා තියෙන්නේ මෙහෙමයි. මෙතන තිබිලා තියනවා ස්‌වභාවික තිරිවානා කන්දක්‌. එක සාමාන්‍ය උස කන්දක්‌. පරාක්‍රමබාහු රඡ්ජුරුවො කන්ද සුද්ද කරලා තියනවා. ඊට පස්‌සේ මේ තිරිවානා කන්ද වටකරලා වට ප්‍රාකාරයක්‌ බැ`දලා. ඒ ස`දහා දැවැන්ත පාදමක්‌ නිර්මාණය කරලා තියනවා. ඒ පාදම දාලා තියෙන්නෙ බොරලු තට්‌ටු දාල මැනවින් තලලා. ඒ මත ප්‍රාකාරය බැ`දලා තියනවා හෙල් මලු ක්‍රමයට. ඒ උඩ මනාව පිළිස්‌සූ ගලින් වට ප්‍රාකාරයක්‌ බැ`දලා තියනවා. තිරිවානා කන්ද සහ වට ප්‍රාකාරය අතර මැද අවකාශය සම්පූර්ණයෙන්ම ගොඩ කරලා තියෙන්නෙ. ඒ අවකාශය හතරැස්‌ කුටීර වලට වෙන් කරන විදිහට ගල් බැමි බැ`දලා තියනවා. ඒ කුටීර මඩ සහ බොරලුවලින් පුරවලා තලලා තියනවා. පස්‌සෙ ඉතාම ක්‍රමිකව ගර්භයේ වක්‍රය කන්දේ මුදුන මට්‌ටමට අරන් ඇවිත්. ඒ කියන්නෙ මීටර විස්‌සක්‌ උසට. ගර්භ ප්‍රාකාරය මුදුන මට්‌ටමේදී කිරිවෙහෙරට වඩා උසයි. ඒ මට්‌ටමේදී විශාල සමතල මලුවක්‌ හදලා තියනවා. ඒ සමතල මලුව හරි මැද තමයි කුඩා දාගැබ පිහිටුවන්නෙ. මහා වංශයෙ තියනවා ඉතාම පැහැදිලිව දෙමළ සිරකරුවන් 12000 ක්‌ මේ ඉදිකිරීමට යෙදවු වග. පරාක්‍රමබාහු රජතුමා රාජ අනුහසින් මේ ඉදිකිරීම කළ වග. වරායක්‌ ගොඩ කරන්න යනවා වගේ ඔවුන් මේ කර්මාන්තයක කළ ආකාරය ගැන ස`දහන් වෙනවා..

මේ පර්යේෂණ වලින් අපට පැහැදිලි වෙනවා දෙමළ මහා සෑය කියන්නෙ වෙනස්‌ වාස්‌තු සම්ප්‍රදායක්‌ සහිත සම්පූර්ණ දාගැබක්‌ බව. යුදගනාව, දැදිගම කොට වෙහෙර නිර්මාණය වෙලා තියෙන්නෙ මේ ආකාරයට. කෙසේ වෙතත් ඉතාම අවාසනාවන්ත සිදුවීමක්‌ අප මේ කැණීමේදී දුටුවා. ඒ තමයි ඓතිහාසික කාල පරිච්ඡේදය තුළදීම, බොහෝ විට පැරකුම්බාවන්ගෙ ඇවෑමෙන් පොලොන්නරු කාලෙදිම මේ දාගැබේ ගඩොල් විශාල ප්‍රමාණයෙන් ඉවත් කරලා තිබීම. විශේෂයෙන් පාදම හරියෙ ප්‍රාකාර බැම්මෙ බැමි කොටස්‌ මුළුමනින්ම වාගේ ගලවගෙන ගිහින් තියනවා. ඒ ගල් ගලවා ගැනීම දාගැබේ සෑම දිශාවකින්ම සිදුකරලා. ඒ ගඩොල් ශේෂ දැනුත් දකින්න පුළුවන්.

මේ පර්යේෂණ කැණීමේදී අපි තවත් දෙයක්‌ දුටුවා. දාගැබේ බොරලු තට්‌ටුවෙ මූල ඓතිහාසික යුගයට අයිති වළං කටු, ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් ආයුධ දක්‌නට ලැබුණා. ඒ කියන්නෙ ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉ`දලා මුල් ඓතිහාසික යුගයට අයත්වෙන බොරලු තට්‌ටු දාගැබ් ගර්භය පුරවන්න අරන් ඇවිත් තියෙන්නෙ මේ අවට තිබුණු පුරාණ ජනාවාස බිමකින්.

අතිශයින්ම වැදගත් තොරතුරු අපට ලැබෙන්නෙ දාගැබ සම්බන්ධව කළ විද්‍යාත්මක කාල නිර්ණයේදී. අප දන්නවා අපේ ජනශ්‍රැතිය හා ලේඛන මුලාශ්‍ර අනුව දෙමළ මහා සෑය ඉදිකරන්නේ පැරකුම්බාවන් බව. අපට ඒ පිළිබ`ද කිසිම සැකයක්‌ නෑ. එහෙත් විද්‍යාත්මක ක්‍රමය අනුව එය පිළිගත් තාක්‌ෂණික ක්‍රම වලින් තහවුරු කරගැනීම අපේ ඉතිහාසයට වැදගත්. අපේ ලේඛන මුලාශ්‍රවල නිවැරදිතාව තහවුරු කරගැනීමටත් වැදගත්. අප මේ කැණීමේදී හමුවන අ`ගුරු කැබලි කාබන් කාලනිර්ණය කළා. ඇමරිකාවේ බීටා ඇනලසීස්‌ ආයතනය තමයි ඒ දත්ත විශ්ලේෂණය කළේ. ඉන් කාලනිර්ණයන් තුනක්‌ ලැබුණා. ඉන් එක්‌ කාලයක්‌ පැරකුම්බාවන්ගේ පස්‌වැනි රාජ්‍ය වර්ෂයට ඒ කියන්නෙ ක්‍රිස්‌තු වර්ෂ 1155 ට අයත්වග දක්‌වලා තිබුණා. යළිත් මහාවංශයේ නිවැරදි බව විද්‍යාත්මකව තහවුරු වුණා.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.