ප්‍රවෘත්ති පත්තර නවත්වමු
චිත්‍ර කතා පත්තර පටන් ගනිමු

ආණ්‌ඩුව ඉතා ෂෝක්‌ පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. තොරතුරු දැනගැනීමේ පනත ලෙස ආණ්‌ඩුව විසින්ම මෙය හඳුන්වන ලද නමුදු පනත් කෙටුම්පත හොඳින් කියවා බැලූ විට පෙනී යන්නේ මෙය තොරතුරු ලබාගැනීම වැළැක්‌වීමට ගෙනා පනතක්‌ බවය. මේ පනත බලාත්මක වූ පසු තවදුරටත් ප්‍රවෘත්ති පත්තර අච්චු ගැසීමට නොහැකි වන අතර චිත්‍ර කතා පත්තර හා ළමා පත්තර පමණක්‌ම අච්චු ගැසීමට සිදුවන බව සියලු දෙනා මතක තබා ගත යුතුය. රූපවාහිනී චැනල සියල්ල වසා දමා මැදමුලන කාල්ටන් ස්‌පෝර්ට්‌ස්‌ නෙට්‌වර්ක්‌ වැනි ක්‍රීඩා චැනල පටන් ගැනීමට සිදුවන බව සියලු දෙනා මතක තබාගත යුතුය. තොරතුරු දැනගැනීමේ පනත ලෙස ආණ්‌ඩුව හඳුන්වන්නේ තොරතුරු දැනගැනීම සඳහා ජනතාවට ඇති අයිතිය සුරක්‍ෂිත කරන පනතක්‌ කියා අපි ජනතාවත් සමඟ 'මැදගෙන' බලා සිටියෙමු. එහෙත් අන්තිමට එහෙම දෙයක්‌ ලොවෙත් නැතá කතාවට කියන පරිදි ලොවි ගහෙත් නැත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට අනුව රහසිගත ජාත්‍යන්තර බැඳීම් සහ ගිවිසුම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම තහනම්ය. කෙනකුගේ පුද්ගලික තොරතුරු හෙළිදරව් කිරීම තහනම්ය. විනිමය අනුප්‍රමාණ හෝ විදේශ හුවමාරු ගනුදෙනු පාලනයට අදාළ තොරතුරු හෙළිකිරීම තහනම්ය. අධිකරණයට අපහාස වන තොරතුරු හෙළිකිරීම, පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වන තොරතුරු හෙළි කිරීම තහනම් ය. විභාගවලට අදාළ තොරතුරු රහසිගතව තබා ගැනීමට නියමිත අවස්‌ථාවක ඒවා හෙළි කිරීම තහනම්ය. මෙසේ තහනම් කෙරුණ තවත් කාරණා ගණනාවක්‌ ම මේ කෙටුම්පතෙහි තිබේ. එහෙත් වාසනාවකට මෙන් හුස්‌ම ගැනීම, කෑම කෑම සහ මළපහ කිරීම යන කටයුතුවලට අදාළ තොරතුරු හෙළි කිරීම තහනම් නැත.

මානව හිමිකම් ජාවාරමෙහි නියුතු එක්‌තරා නීතිඥයකු මෙයට කලකට පෙර සිය ගැබිනි බිරියට පයින් ගැසීය. බඩ දරු මවකට පයින් ගසන මේකා තිරිසනකුටත් වඩා අන්ත බව මාධ්‍යකරුවන්ගේ මතය විය. ඒ අනුව සිද්ධිය පුවත්පත්වල පළවිය. එවිට මානව හිමිකම් ජාවාරමා කළේ එම තොරතුරු සිය පෞද්ගලික කීර්ති නාමයට හානිකර බැවින් තවදුරටත් පුවත්පත්වල පළවනු වැළැක්‌වීම සඳහා උසාවි නියෝගයක්‌ ගැනීමය. වහා කරඇඹිය යුතු පට්‌ටි ගොනකු වන මේකාට සිය ගැබ්බර බිරියට පයින් ගැසීමේ නීච ක්‍රියාව කළ හැකි නම් ඒ බව පුවත්පත්වල පළවුණාම විය හැකි වරද කිම?

නීතිය සහ චාරිත්‍රය යනුවෙන් කොටස්‌ දෙකක්‌ තිබේ. මාධ්‍යයක්‌ කටයුතු කරන්නේ චාරිත්‍රයට අනුව ය. කුමක්‌ද ඒ චාරිත්‍රය? දූෂණයක්‌ හෙළි කිරීම චාරිත්‍රයකි. එවිට එය වැළැක්‌වීමට නීතියට පුළුවන. රහසිගත ජාත්‍යන්තර බැඳීමක්‌ හෝ ගිවිසුමක්‌ මගින් රටට අගතියක්‌ වන්නේ නම් ඒ බව හෙළි කිරීම චාරිත්‍රයකි. එවිට එයට එරෙහිව සංවිධානය වී නීත්‍යානුකූලව කටයුතු කරන්නට සිවිල් සමාජයට හැකිය. කෙනකුගේ පුද්ගලික ක්‍රියාකලාපය රටට හෝ ජනතාවට හානිකර වන්නේ නම් ඒ ගැන හෙළි කිරීම ජනමාධ්‍ය සතු චාරිත්‍රයකි. එවිට ඒ පුද්ගලයාගේ පාහර පුද්ගලිකත්වයට විරුද්ධව නීතිය ඉදිරියට යැමට සිවිල් සමාජයට අවකාශ ලැබෙන්නේය. මේ රට මේ තරමින්වත් රැකී ඇත්තේ ජනමාධ්‍ය මගින් කාලයෙන් කාලයට හෙළි කළ දූෂණ වංචා හේතුවෙනි. ටෙන්ඩර් වංචා, ඇමැතිවරුන්ගේ පගා ගැසීම්, රට පාවාදෙන හොර ගිවිසුම්, පෞද්ගලික කෲරත්වය වැනි දේවල් මේ රටේ ජනමාධ්‍ය මගින් කළ හෙළිදරව් නිසා නැවතුණ අවස්‌ථා තිබේ. යහපාලන ආණ්‌ඩුව කරන්නට හදන්නේ ඒ අයිතිය මිනී පෙට්‌ටියකට දමා ඇණ ගැසීමටය.

තොරතුරු දැනගැනීමේ පනත කඩන අයට වසර 2 ක සිර දඬුවමක්‌ හෝ රුපියල් පනස්‌දහසක දඩ නියම කරනු ලැබේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් මහත්මා ගාන්ධිගේ කාලයේදී ජනතාවද මර්දනය කිරීමට ඉතා දරුණු නීති පනවන ලද කල්හි මහත්මා ගාන්ධි ඇතුළු පිරිස සිවිල් නීති කඩා එයට විරෝධය දක්‌වන්නට වූහ. දැන් ජනමාධ්‍යකරුවන් ඉදිරිපිට ඇත්තේත් එවන් වකවානුවක්‌ද?
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.