නාගදීපය බුදු පිළිමයට උතුරු පළාත් මන්ත්‍රීවරු ගොරවති...

* නාගදීප බුදුපිළිමය ස්‌ථානගත කිරීම ඊළාම් ද්‍රවිඩයන්ට තර්ජනයක්‌ලු
* යාපනයේ සිංහල විදුහල ආරම්භ කිරීමටද අකුල් හෙලති

ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ ජනතාව සංහාරය කළ බවට යෝජනාවක්‌ සම්මත කර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යෑව්වේ උතුරු පළාත් සභාවයි. උතුරින් හමුදාව ඉවත් කළ යුතු බවට පුන පුනා පවසන්නේද එකී පළාත් සභාවයි. එහෙත් උතුරු පළාත් සභාව හා එහි සිටින පළාත් සභා මන්ත්‍රීවරු ගෙන යන ක්‍රියාමාර්ග මෙරට බහුතරයෙන් වසන් වී ඇත. රජය සංහිඳියා ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී තිsබියදී උතුරු පළාත් සභාවේ සංහිඳියා විරෝධී ක්‍රමවේදය ගැන රජයේ යාන්ත්‍රණය නිහඬ වී සිටී.

සංහිඳියා යාන්ත්‍රණයේ අයිතිකරුවන් යෑයි හඳුන්වා ගත් හා හිටපු නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායමේ කටවල් පවා වැසී ඇත. මේ සතියේදී උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වූ බාලචන්ද්‍රන් ගජදීපන් හා වින්තන් කනගරත්නම් නාගදීපයට ගොස්‌ නිරීක්‍ෂණ චාරිකාවක යෙදී අඩි 61 ක්‌ උසැති බුද්ධපිළිමය ඉදිවන ස්‌ථානය නිරීක්‍ෂණයට ලක්‌කරනු ලැබීය.

ජනතාවගේ ඉල්ලීම මත තමන් නාගදීපයට ගිය බව ඔවුන් පවසා තිබුණි.

"නාගදීපයේ ද්‍රවිඩ පවුල් 980 ක්‌ සිටිනවා. ඔවුන් අතර ක්‍රිස්‌තියානි හා මුස්‌ලිම් පවුල් 85 ක්‌ ද සිටින අතර මෙම පවුල් සංස්‌කෘතික තර්ජනයකට මුහුණපා සිටිනවා. මේ බුදුපිළිමය ඉදිකිරීමට ද්‍රවිඩ ජනතාව විරෝධතා පළ කරනවා යෑයි පළාත් සභා මන්ත්‍රී කනගරත්නම් තවදුරටත් පවසා ඇත.

එසේම ශ්‍රී ලංකා නාවික හමුදාව නාගදීපය තුළ සිංහලකරණය හා බෞද්ධකරණයට සහය දක්‌වන බවටද එකී පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනා සඳහන් කර ඇත.

මේ පසුබිම මැද හෙළිවන සැබෑ යථාර්ථය කුමක්‌ද? ඒ උතුර තමන්ට අයත් වෙනම රටක්‌ යෑයි සිතා පළාත් සභාව මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන් කටයුතු කරන බවයි. බුදුපිළිමය ඉදිකිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභාව හමුවට යෝජනාවක්‌ ගෙන එන බවද කනගරත්නම් හා ගජදීපන් යන පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනා සඳහන් කර ඇත.

මෙයට පෙර නාගදීපය නයිනතිව් යනුවෙන් වෙනස්‌ කිරීමටද උතුරු පළාත් සභාව උත්සාහ කළේය. නාගදීපයේ බුදුපිළිමය ඉදිකිරීම සම්බන්ධයෙන් ඉහත කී මන්ත්‍රීවරු දෙදෙනා නාගදීපයට පැමිණියේ නෝර්වේ සිට ක්‍රියාත්මක වන කොටි ක්‍රියාකාරිකයකු වූ තෙදියවන්ගේ කොටි වෙබ් අඩවියේ ඡායාරූප ශිල්පියකු සමගය.

ඔහු බුදුපිළිමය ස්‌ථානගත කරන ස්‌ථානය ඡායාරූප ගත කර තිබේ. මේ තත්ත්වය මත නැගෙන ප්‍රශ්නය නම් නාගදීප විහාරයේ සිදුවන කටයුතු ගැන විමර්ශනය කිරීමට මේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඇති හිමිකම කුමක්‌ද යන්නයි. මොවුන් නාගදීපයට ගියේ පොලිස්‌ භටයකු ගේ ආරක්‍ෂාව මත බවද නාවික ආරංචි මාර්ග පළ කළේය.

ගජදීපන් හා කනගරත්නම් තවදුරටත් පවසා ඇත්තේ අඩි 61 ක බුදුපිළිමය ද්‍රවිඩ නිජබිමේ සිටින ද්‍රවිඩ ජනතාවට තර්ජනයක්‌ බවයි. එහෙත් සිංහල ප්‍රදේශවල ඇති හින්දු කෝවිල් සිංහල ජනතාවට තර්ජනයක්‌ යෑයි සිංහල ජනතාව කිසිදිනෙක ප්‍රකාශ කර නැත.

මෙම පසුබිම මැද උතුරු පළාත් සභාව සිය විෂයන්ට අදාළ බලතල ඉක්‌මවා කටයුතු කරන බව පැහැදිලි වී ඇත.

උතුර යනු මධ්‍යම රජය පාලනය කරන ප්‍රදේශයක්‌ මිස වෙනත් රටක්‌ නොවේ. එහෙත් උතුරේ දේශපාලකයන්ගේ ක්‍රියාදාමයන් ඉදිරි අනතුරක පෙර නිමිත්තකි. ඔවුන් ජාතික ආරක්‍ෂාවට ද මැදිහත් වී ඇත. උතුරු මහ ඇමැති විග්නේශ්වරන් පසුගියදා ඉන්දීය පුවත්පතකට පවසා තිබුණේ ස්‌වයං අයිතිය පදනම් වූ පෙඩරල් පාලනයක්‌ අවශ්‍ය බවයි. එම පෙඩරල් පාලනය බන්දේසියක තබාලබා දෙන තුරු විග්නේශ්වරන්ලා බලා සිටී ස්‌වයං අයිතිය සමඟ පෙඩරල් පාලනය දුන්නේ නම් අඩි 61 ක බුදුපිළිමය ඉදි කළ හැකිද? මෙලෙස කනගරත්නම් හා ගජදීපන් වැන්නවුන් බුදුපිළිමය ඉදිකිරීමට එරෙහි වීම ජාතිවාදී ක්‍රියාවක්‌ නොවන්නේද? එසේම නාගදීපයේ අතීත ඉතිහාසය පවා වෙනස්‌ කිරීමට කොටි හිතවාදීන් උත්සාහ කර ඇත. සංහිඳියාවට මුවාවී ඊළාම්වාදීන් උතුරේ ගෙන යන අබිරහස්‌ මෙහෙයුම් දැන් එකින් එක අනාවරණය වී තිබේ. උතුරට පොලිස්‌ බලතල දුන්නා නම් චාවාකච්ෙච්රි බෝම්බ කබාය සහ පුපුරන ද්‍රව්‍ය සහිත නිවස වැටලීමට නොහැකි වනු ඇත. මෙලෙස උතුරට බලතල ලැබී නැති අවස්‌ථාවක පළාත් සභා මන්ත්‍රීවරු නාගදීපයේ බුදුපිළිමය ස්‌ථානගත කිරීම නතර කිරීමට උත්සාහ කරනවා නම් බලතල ලබා දුන්නොත් ඇතිවන තත්ත්වය වටහා ගැනීම අපහසු නැත. උතුරේ සිංහල විදුහල පවා මෙතෙක්‌ ආරම්භ කිරීමට හැකි වී නැත. මීට එරෙහිව ඇත්තේ උතුරේ දේශපාලකයන්ය.

Ö කීර්ති වර්ණකුලසූරිය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.