උතුරු පළාත තුළ මත්ද්‍රව්‍ය භාවිතය සීඝ්‍රයෙන් ඉහළට

දිනසේන රතුගමගේ

උතුරු පළාත තුළ මත්ද්‍රව්‍ය භාවිතය හා මත්ද්‍රව්‍ය සංසරණය වීම ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස්‌ ඇති බව පොලිස්‌ වාර්තාවල සඳහන් වී තිබේ.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය දිනක යාපනයට පැමිණි අවස්‌ථාවක කියා සිටියේද උතුරු පළාත තුළ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම ආයුධ භාවිතයට වඩා භයානක බවයි.

උතුරේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම පිණිස රජය විසින් ව්‍යාපෘති කිහිපයක්‌ දියත් කොට ඇති වගද ජනාධිපතිවරයා කියා සිටියේය.

උතුරු පළාත තුල මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස්‌ ඇති බවට උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන වලින්ද පෙනී යන බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී. සත්‍යලිංගම් පැවසුවේය.

ඊට හේතු වශයෙන් ඔහු ඉදිරිපත් කළේ යුද්ධය අවසන් වුවත් ජනතාවගේ ප්‍රශ්න විසදී නොමැති හෙයින් ඔවුන් මුහුණ පා සිටින මානසික ගැටලු මෙම මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම කෙරෙහි බලපා ඇති බවයි. තම ඥතීන් මියයාම, අතුරුදහන්වීම, බලාපොරොත්තු සුන්වීම, පවුල් ප්‍රශ්න හා ආර්ථික ගැටලු මේ කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ඔහු සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම පිණිස විවිධ සෞඛ්‍ය වැඩසටහන් රැසක්‌ උතුරු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට පළාත් සෞඛ්‍යය අමාත්‍යාංශය පියවර ගෙන ඇතත් එය ඔවුන්ට පමණක්‌ තනිවම කළ නොහැකි දෙයක්‌ බවද පී. සත්‍යලිංගම් අමාත්‍යවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගැනීම, නීති දැඩිකිරීම අනිවාර්ය වියයුතු අතර පොලිසිය, මහජන සංවිධාන ඇතුළු සෑම පාර්ශවයක්‌ම උතුරේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීමට එක්‌විය යුතු බවද ඔහු පැවසීය.

ඉන්දියාවට ආසන්නයේ උතුරු පළාත පිහිටා තිබීම නිසා ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර මත්ද්‍රව්‍ය හුqවමාරුවීම නිරන්තරයෙන් සිදුවන බවද උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.