අවුරුදු ඉවරයි

අවුරුදු අවසන්ය. රැකී රක්‍ෂා සඳහා පිටත්ව යැමට නැකත යෙදී තිබුණේද අද උදැසනය. එහෙත් රජයේ මෙන්ම පෞද්ගලික ආයතන බොහෝමයකද තවමත් වැඩි දෙනෙක්‌ සේවයට වාර්තා කර ඇති බවක්‌ පෙනෙන්නට නැත. සිංහල අලුත් අවුරුද්ද සමරන්නට ඇති තරම් නිවාඩු පසුගිය සතිය තුළ යෙදී තිබිණි. පසුගිය 13 වැනි බදාදා ආරම්භ වූ නිවාඩුව 17 වැනි ඉරිදා එනම් ඊයේ දින දක්‌වා දිගු එකකි. බොහෝ දෙනෙක්‌ සිංහල අලුත් අවුරුදු දිනට පෙර දිනයේ සිටම නිවාඩු ලබාගෙන තිබෙන බවක්‌ ප්‍රවාහන සේවාවන්වල ගමන් ගන්නා අයට දකින්නට ලැබී ඇති බව නිසැකය. අලුත් අවුරුද්ද එළඹීමත්, අවුරුදු සැමරීමත් යනු තම වැඩකටයුතු පමා කිරීමටත්, උදාසීනව වැඩ කිරීමටත් අවුරුදු කුමාරයා දුන් තෑග්ගක්‌ ලෙස වරදවා වටහා ගත යුතු නැත. එයින් පෙනෙන්නේ බොහෝ දෙනෙක්‌ අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවල අර්ථය හෝ හරි හැටි තේරුම් ගෙන නැති බවය. පුද්ගල සෞඛ්‍ය, ආර්ථිකය, යහපත් දිවි පෙවෙත, අධ්‍යාත්මික දියුණුව සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සමඟ බැඳී ඇති වටිනා සංස්‌කෘතික ගුණාංගයන්ය.

ඒ සියල්ලෙන් අර්ථ දැක්‌වෙන්නේ අපේ ජීවිතය හැඩගස්‌වා ගත යුතු ආකාරයයි. නොනගතය කාල සීමාවේ වැඩ අතහැර සිටීම යනු දිගින් දිගටම නිවාඩු ගැනීම නොවේ. ඉන් පසුව කාබී ගනුදෙනු හා වැඩ ඇල්ලීම යනු අප විසින් ජීවිතය කළමනාකරණය කරගත යුත්තේ කෙලෙසද යන්න අවබෝධ කරවන න්‍යාය පත්‍රයකි. පෙර යුගයේ වැඩ අල්ලන මොහොතේ කැත්ත උදැල්ල ගෙන හේනට, කුඹුරට ගිය ගොවීන් මෙරට අටුකොටු පිරවූයේ අවුරුදු ගෙවුණු පසු දිගින් දිගටම නිවාඩු ගත් නිසා නොවේ. ඉදිරි වසර සාර්ථක කර ගැනීම සඳහා නැකැත් චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරමින් විශාල ධෛර්යයක්‌ ශක්‌තියක්‌ උපදවා ගත් නිසාය. සිංහල අලුත් අවුරුද්දට නියමිත නැකැත් චාරිත්‍ර වාරිත්‍ර පිළිවෙලින් සලකා බැලූවිට අපට නිශ්චිතවම පැහැදිළිවන කාරණයක්‌ තිබේ. ඒ එමගින් ඉදිරි වර්ෂය සඳහා ජවයෙන් පිරි මිනිසකු සූදානම් කරන බවය. මේ වන විට අවුරුද්දට පෙරත් නැකැත් චාරිත්‍ර අතරතුරත් අවුරුදු උත්සව පැවැත්වුණද බොහෝ කලකට පෙර අවුරුදු උත්සව පැවැත්වුණේ නැකැත් චාරිත්‍ර වාරිත්‍රවලින් අනතුරුවය. තෙල් කෑම, පැණි රස කෑම කා අලසව සිටින ඕනෑම කෙනෙකුට ගමේ අවුරුදු උත්සවයට සහභාගි වී ඇඟපත වෙහෙසවන ජන ක්‍රීඩාවකට සහභාගි වී ශරීරයේ තැන්පත් වූ වැඩිපුර කැලරි දහනය කර ගැනීමේ හැකියාව තිබිණි.

ඒ නිසාම අලස බව තුරන් වී ප්‍රාණවත් මිනිසකු ලෙස හෙට දවසට මුහුණ දීමේ හැකියාව ඉබේම ගොඩනැඟේ. කන්නට ඇති හැම දේම කා බොන්නට ඇති හැම දේම බී, පදමට මත්වී රාත්‍රිය පුරා ගොරොද්දේ අදිමින් නිදා සිට උදේ පාන්දර "ජිම්" එකට දිවයන ජීවිතයකට මේ කාරණා අදාළ වන්නේ නැත. මෙවැනි බොහෝ දෙනකුට මේ සතියද නිවාඩු ගැනීමට හිතෙන අවස්‌ථා වැඩිය. දූ දරුවන් සමඟ විනෝද සවාරියක්‌ යැමට, වෙනත් අත්‍යවශ්‍ය හේතු නිසා නිවාඩු ගැනීම අප හෙළා දකින්නේ නැත. එහෙත් "නිවාඩු තිබෙන" නිසා නිවාඩු ගෙන තවත් දින කීපයක්‌ ගෙන අවුරුදු කෑම සැබෑ සිංහලයාගේ සිරිත නොවන බව කිව යුතුය. සැබෑ සිංහලයා ජවය ශක්‌තිය පිරී කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා අලුත් අවුරුද්ද ගැන හැබෑම හැඟීමක්‌ ඇති මිනිසෙකි. ඔබත් එවැන්නකු යෑයි අපි විශ්වාස කරමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.