බෞද්ධ පාසල්වල සිංහල සිසුන්ට හිමි
සීමාසහිත අසුන් ප්‍රමාණය අහිමි කරන්න එපා
එක්‌සත් එමීර් රාජ්‍යයේ සේවයේ නියුතු
ඕල්කට්‌ පාසල් ආදි ශිෂ්‍ය එකමුතුවෙන් හිටපු ජනපතිනියට සංදේශයක්‌


ඉතා තරගකාරීත්වයක්‌ පවතින සිංහල බෞද්ධ පාසල්වල සිංහල සිසුන්ට හිමි සීමාසහිත අසුන් ප්‍රමාණය අහිමි නොකරන ලෙස එක්‌සත් එමීර් රාජ්‍යයේ සේවය කරන ඕල්කට්‌ පාසල් ආදි ශිෂ්‍ය එකමුතුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙත සංදේශයක්‌ යවමින් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා බෞද්ධ පාසල්වලට සිසුන් බඳවා ගැනීමේ පදනම ගැන කුමාරතුංග මහත්මිය කළ ප්‍රකාශයක්‌ සම්බන්ධව කරුණු දක්‌වමින් එම ආදි ශිෂ්‍ය එකමුතුවේ සභාපති රවි ගුණරත්න සහ ලේකම් ප්‍රභාත් රණවක යන මහත්වරුන් විසින් එකී සංදේශය යවා තිබේ.

එහි මෙසේද සඳහන් කර ඇත.

එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ඕල්කොට්‌ විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන් වන අප උක්‌ත කරුණ සම්බන්ධව ඔබතුමිය විසින් මෑතකදී කරනු ලබන ප්‍රසිද්ධ ප්‍රකාශය පාදක කොට ඒ පිළිබඳව දැනුවත් කිරීම සහ අප දරණ මතය ඉදිරිපත් කිරීම යන කරුණු මූලික කොට මෙම ලිපිය යොමු කිරීමට කල්පනා කළෙමු.

ඔබතුමිය ඉතා හොඳින් දන්නේ යෑයි අප විශ්වාස කරන පරිදි වර්ෂ 1815 කාල වකවානුවෙන් පසු පැවැති මිෂනාරී ඉංගී්‍රසි පාලක ක්‍රමවේදයේ ශ්‍රී ලංකාව තුළ සිංහල සහ බෞද්ධ අධ්‍යාපනය දැඩි මර්දනයකට ලක්‌ව සීමාවන් සහිත පිරිවෙන් කිහිපයකට පමණක්‌ සීමාවිය. මෙම පසුබිම යටතේ පරම විඥනාර්ථ පදනම වැනි ආයතනයන්හි පුරෝගාමීත්වයෙන් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ පාසල් නිර්මාණය වන්නේ අවම පහසුකම් මධ්‍යයේය.

ඉතා කුඩා පන්ති සහිතව පැවැති මෙකී අධ්‍යාපන ආයතන එකල ප්‍රභූන්ගේත් දානපතියන්ගේත් මහා සංඝරත්නයේත් විශේෂයෙන්ම විදුහල්පතිවරුන්ගේත් ප්‍රයත්නයෙන් සිංහල බෞද්ධ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක විය. වර්ෂ 1885 දී සර් හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ මහතා ස්‌ථාපිත කළ ඕල්කට්‌ විද්‍යාලය වර්ෂ 1941 දී සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා ආරම්භ කළ මධ්‍ය මහා විද්‍යාල පද්ධතිය තුළ විශේෂයෙන්ම සිංහල බෞද්ධ අධ්‍යාපනය ඉලක්‌ක කොට බිහිවූ පාඨමාලා බව මතක්‌ කරන්නෙමු. එකී ඓතිහාසික පදනමක්‌ මත බිහිවූ රටෙහි අල්පයක්‌ තරම් අඩු පහසුකම් සහිත පාසල් කිහිපය තුළ වෙනත් ආගමික හා වෙනත් භාෂාවන් කතා කරන සිසුන් මිශ්‍ර කිරීම පවතින ක්‍රමය සංවර්ධනය කිරීමක්‌ ලෙස ඔබ අනුමාන කරන්නේ කෙසේද යන්න ගැටලුවකි. තවද එය පදනම් විරහිත ක්‍රියාවක්‌ ලෙස අප අවධාරණය කරමු.

මේ වන විටත් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විවිධ භාෂා සහ ආගම් පදනම් මත දිවයිනම ආවරණය වන පරිදි පාසල් පිහිටුවා ඇති බව ඔබතුමිය හොඳින් දන්නා කරුණක්‌ යෑයි අප විශ්වාස කරමු. සත්‍ය තත්ත්වය නම් එකී කිසිදු පාසලකට සිංහල බෞද්ධ දරුවෙකුට ඇතුළුවීම විවිධ හේතු ඉදිරිපත් කරමින් වාරණයවී තිබීමයි. එකී අවහිරතා පිළිබඳ සියලු කරුණු දැනුවත්ව ඉතා තරගකාරීත්වයක්‌ පවතින සිංහල බෞද්ධ පාසල් තුළ සිංහල සිසුන්ට හිමි සීමාසහිත අසුන් ප්‍රමාණය අහිමි නොකරන ලෙස එම පාසල්වල අධ්‍යාපනය ලැබූ ආදි සිසුන් වශයෙන් අපි ඉල්ලා සිටිමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.