කාලගුණය උණුසුම් වුවත් පාසල් කාලසටහන එලෙසමයි

උණුසුම් කාලගුණ තත්ත්වයන් පැවැතියද පාසල් කාලසටහනේ වෙනසක්‌ නැති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය පාසල් දරුවන්ට බලපාන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතාගේ උපදෙස්‌ මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යංශය හා ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ඇතුළු ආයතන රැසකින් නිර්දේශ ලබා ගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව පෙ. ව. 11.30 ත් ප.ව. 1.30 ත් අතර උෂ්ණත්ව දර්ශකය ඉහළම අගයක්‌ ගන්නා බැවින් එම කාලය තුළ පාසල් දරුවන් පාසල්වලින් බැහැර කිරීම නොකළ යුතු බව නිර්දේශ වී තිබේ.

මීට අමතරව එළිමහන් ක්‍රියාකාරකම්වලින් සිසුන් වළක්‌වා ගැනීම, අවශ්‍ය තරම් ජලය පානය කිරීම සඳහා සිසුන් යොමු කිරීම, පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීමට දොර ජනෙල් විවෘතව තැබීමට පියවර ගැනීම, පාසලේ ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති නම් ඒ සඳහා විකල්ප ක්‍රම යොදා ගැනීම ආදී නිර්දේශ කිහිපයක්‌ ද ඊට ඇතුළත්ය.

එමෙන්ම සිසුන් සඳහා පුද්ගලිකව අනුගමනය කළයුතු නිර්දේශයන් කිහිපයක්‌ද ඉදිරිපත් කර තිබේ. ඒ අතරට ටයි පටි පැළඳීමෙන් වැළකීම, අධික හිරු එළිය සහිත පරිසරයේදී හිස්‌ ආවරණ සහ කුඩ භාවිතය, සීනි අධික පැණි බීම භාවිතයේ වැළකීම, සෑමවිටම පිරිසිදු වතුර බෝතලයක්‌ රැගෙන යැම, දෛනික ජල පරිභෝජනය වෙනදාට වඩා වැඩි කිරීම ආදිය ද ඇතුළත් වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.